Quantcast
Channel: නමෝ බුද්ධාය – MAHAMEGHA
Viewing all 101 articles
Browse latest View live

ලොවට උතුම් පින්කෙත නිසා සැපවත් වූ ජීවිත…

$
0
0

එක අවස්ථාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරියේ පෙරේතියක් පෙනී සිටියා. පෙනී සිටලා කිව්වා “ස්වාමීනී, මං මීට ආත්මභාව පහකට කලින් ඔබවහන්සේගේ අම්මා වෙලා හිටියා. අනේ ස්වාමීනී, මට එදා ඉඳලා (පෙරේත ආත්මයේ උපන්න දවසේ ඉඳලා) තාම කන්නත් නෑ, බොන්නත් නෑ, අඳින්නත් නෑ. ඒ නිසා මං වාසය කරන්නේ අන්තිම දුක සේ.”

පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කාරණය කොසොල් රජ්ජුරුවන්ට කිව්වා. ඊට පස්සේ රජතුමා දුන්න සිවුරු පිරිකර අරගෙන ගිහිල්ලා සංඝයාට පූජා කරලා, පිණ්ඩපාතය පූජා කරලා ඒ පින් මෑණියන්ට අනුමෝදන් කළා ම තමයි ඇය දිව්‍ය සැප උදාකර ගත්තේ. හැබැයි ඒ සිද්ධියෙන් තව එකක් පේනවා. ඒ තමයි පෙරේත ආත්මයේ උපන් කෙනාට කන්න බොන්න දෙන්න තියෙන්නේ ගොට්ට දීලා නෙවෙයි. ගොට්ට දුන්නට කන්න පුළුවන් කියලා හිතන්න අමාරුයිනේ. ගොට්ටෙන් කන්නේ කොහොමද?

එක තැනක තව සිද්ධියක් තියෙනවා. එය මහාකච්චාන මහරහතන් වහන්සේ වාසය කරපු වනාන්තරයේ කිට්ටුව සිදුවුණු සිද්ධියක්. දවසක් පෙරේතයෙක් රජකෙනෙකුගෙන් වස්ත්‍ර නෑ කියලා වස්ත්‍ර ඉල්ලනවා. ඉතින් මේ රජතුමා වස්ත්‍ර අටක් දෙන්න හදනවා. එතකොට මේ පෙරේතයා කියනවා, “අනේ, මට දෙන්න එපා! මට මේක ගන්න බෑ. මට වස්ත්‍ර අඳින්න නම් මේ වස්ත්‍ර සංඝයාට පූජා කරලා මට ඒ පින දෙන්න. මේ ළඟ මහානුභාව සම්පන්න භික්ෂූන් වහන්සේනමක් වැඩඉන්නවා. ඔය වස්ත්‍ර උන්වහන්සේට පූජාකරලා මට පින් දෙන්න.” ඒ විදිහට කළාට පස්සේ ඒ ප්‍රේතයා සුවපත් භාවයට පත්වෙනවා.

අපි කියමු, ඔන්න ප්‍රේතයෙකුට කන්නත් නෑ, බොන්නත් නෑ, ඇඳුනුත් නෑ. අපි කන්න බොන්න පුළුවන් කියලා හිතාගෙන කෑම බීම තියනවා කියමු. නමුත් ඒ විදිහට ඇඳුම් දෙන්නේ කොහොමද? ඇඳුම් දෙන්න බෑනේ. එහෙම නම් අනිවාර්යයෙන් ම ඇඳුම සංඝයාට පූජා කරලනේ ඒ පින අනුමෝදන් කරන්න තියෙන්නේ.

එතකොට අපට පැහැදිලිව පේනවනේ, පෙරේත ගොටුවලින් ඒක කරන්න බෑ. මං හිතන්නේ පෙරේත ගොටු ක්‍රමයේ දී වෙන්නේ මෙහෙමයි. එතැන දී මතුරනවානේ. මතුරනකොට විවිධ තරාතිරමේ භූතයෝ, පෙරේතයෝ, නොයෙක් ආකාරයේ අමනුස්සයෝ ඉන්නවානේ මේවායින් යැපෙන. ඒක ඒගොල්ලන්ට කැපකරනවානේ. කැපකළාට පස්සේ ඒගොල්ලෝ ගිහිල්ලා ඒක උරාගන්නවා. නීච භූත කොටස් තමයි ඒක කරන්නේ. මම නම් හිතන්නේ එතැන තියෙන්නේ එහෙම එකක් කියලයි.

පෙරේතයන්ගේ ශරීරයට නිශ්චිත හැඩයක් නෑ…

ඒ වගේ තව එක සිද්ධියක් ගැන මට කෙනෙක් කිව්වා. ඒගොල්ලන්ගේ මල්ලි මැරෙන්න ඉස්සර වෙලා තාප්පය උඩට අමනුස්සයෙක් ඇවිල්ලා තියෙනවා. ඒ අමනුස්සයා ව මල්ලිට පේනවා. කොස් කොළයක් විතර උස ඇතිලු. තාප්පේ උඩට ඇවිල්ලා කිව්වලු “උඹට තව දවස් හතයි ඉන්න පුළුවන්” කියලා. ඉතින් මෙයා ගෙදරට ගිහිල්ලා කියලා තියෙනවා “අම්මේ, මං දැක්කා කොස් කොළයක් විතර උස අමනුස්සයෙක්… එයා කිව්වා මට දවස් හතයි ඉන්න පුළුවන් කියලා.” ගෙදර ඔක්කොම විහිළු කරලා “ඔයාට පිස්සු… මොකක්ද මේ විහිළු කතා කියන්නේ?” කියලා. නමුත් දවස් හතෙන් මැරුණා.

ඊට පස්සේ එයාගේ නංගිට ආයෙමත් ඒක පේනවා. කොස් කොළය තරම් කෙනා ආයෙමත් ඇවිල්ලා නංගිට කියනවා “ආ… ඔයාට දවස් හතයි ඉන්න පුළුවන්” කියලා. අපි හිතන්නේ භූත ලෝකයේ ඉන්න අය අපට වගේ ම අඟපසඟ තියෙනවා කියලානේ. නමුත් එහෙම නෑ. සමහරු කියන විස්තර අනුව සමහර අය තහඩුවලින් හදපු යකඩ කෑලි වගේ, ඉරටු වගේ, නූල් වගේ. මෙහෙම තමයි ගොඩක් පෙරේතයෝ ඉන්නේ. ඒගොල්ලෝ එක එක ක්‍රමයට මිනිස්සුන්ට පෙන්නුම් කරනවා. ඉතින් ඒ නිසා මේක හරි අවාසනාවන්ත ලෝකයක්. අපි අකමැති වෙන්න ඕන නැවතත් මේ වගේ ලෝකයකට යන්න.

මේ විදිහට ප්‍රේත ලෝකයේ ඉපදෙන්නේ සතුන් මරපු අය. බොරු කියපු අය. වෛර කරපු අය. පළිගත්තු අය. සිල්වතුන්ට ගුණවතුන්ට නින්දා කරපු අය. ආර්ය උපවාද කළොත් නම් ඉතින් නිරයේ ගිහින් තමයි නවතින්නේ. මං හිතන්නේ ගොඩක් අය එහෙම නිරයේ ගිහිල්ලත් පෙරේත ලෝකයට එනවා ඇති. සමහරු නිරයේ ගිහිල්ලා නිරයේ විඳවලා ඉතුරු ටික විඳවන්න පෙරේත ලෝකයට එනවා. සමහරු පොඞ්ඩක් පින තිබ්බොත් පෙරේත ලෝකයට ඇවිල්ලා ඉඳලා ආයෙමත් නිරයේ යනවා. එහෙමයි ගොඩක් විට වෙන්නේ.

බණ හා පිරිත් සමිබන්ධ මිථ්‍යා විශ්වාස…

මම හිතන්නේ මෙහෙම එකක්. ඇත්ත වශයෙන් ම මළ ගෙදරක දී බණ කියන්නේ මැරුණු කෙනාට නෙවෙයි. බණ කියන්නේ ගෙදර පණපිටින් ඉන්න අයට. බොහෝ අය හිතන් ඉන්නේ බණ කියන්නෙත් මැරුණු කෙනාට කියලනේ. අනික මං හිතන්නේ නෑ, පණපිටින් ඉන්දැද්දී අහපු නැති බණ මැරුණට පස්සේ අහයි කියලා. ඉතින් ඒ නිසා ඒ බණ කියන්නේ ජීවත් වෙලා ඉන්න අයට. ‘මෙයා මැරුණා… මාස තුනක් ගියා… මෙහෙම තමයි ජීවිතේ ස්වභාවය… ඒ නිසා මේ පින් කර ගන්න’ කියන කාරණාව කියන්නනේ බණ කියන්නේ. ඊට පස්සේ සංඝයා උදෙසා දානෙ පූජා කරනවා. සංඝයා උදෙසා දානෙ පූජා කරලා මැරුණු කෙනාට පින් දෙනවා.

බොහෝ විට ගෙදරක පිරිතක් කියන්නේ ගෙදරට ආශීර්වාද පිණිසනේ. ඒ වුණාට ගොඩක් අය පිරිත් කීමේ දී එක එක දෘෂ්ටි හදාගෙන තියෙනවා. ‘ගෙදර පිරිත් කියන්න හොඳ නෑ… භූතයෝ ඇවිස්සෙනවා… කරණීයමෙත්ත සූත්‍රය කියන්න හොඳ නෑ, ඒක අහලා පෙරේතයෝ ගෙට රිංගනවා… රතන සූත්‍රය කියන්න හොඳ නෑ…’ කියලා. මේ ඔක්කොම බොරු. ඒ ඔක්කොම බුද්ධ දේශනාවලට කරන අපහාස.

ඉතින් ඒ නිසා ඒකේ තියෙන්නේ එහෙම එකක් නොවෙයි. එකේ තියෙන්නේ ආශීර්වාදයක්. අනික පිරිතේ ආශීර්වාදය තියෙන්නේ ගණ පිහිටුවීම මත නෙවෙයි, සත්‍යය මත. ඒකේ තියෙන්නේ සත්‍යයනේ. අපි හැම පිරිතක් ම ඉවර කරන්නේ ‘මේකේ ගණ පිහිටීමේ අනුහසින් සුවපත් වේවා..!’ කියලා නෙවෙයිනේ. අපි පිරිත අවසන් කරන්නේ “(ඒතේන සච්චවජ්ජේන සොත්ථි තේ හෝතු සබ්බදා) මේ සත්‍යය වචනයෙන් ඔබ සුවපත් වේවා..! මේ සත්‍යය වචනයෙන් ඔබ නිදුක් නිරෝගි වේවා..!” කියලනේ. ඒකෙ තියෙන්නේ සත්‍යක්‍රියාවක්. ඒකට ගණත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ. එහෙම කිව්වොත් ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කරන අභූත චෝදනාවක්. ඒ ධර්මය විකෘති කිරීමක්.

අන්තරාභවය ධර්මානුකූල කතාවක් ද…?

අන්තරාභවයක් ගැන කතාවක් බුද්ධ දේශනාවේ නෑ. සත්‍යය වශයෙන් ම මෙහෙන් චුතවෙන කොට ඊ ළඟ උප්පත්තිය සිද්ධවෙනවා. එහෙම නැතුව එතැන සිද්ධ වෙන්නේ අන්තරාභවයේ කතාවක් නෙවෙයි. අන්තරාභව කතාව සත්‍යයක් නෙවෙයි, ඒක සංකල්පයක්. ඒක මහායාන මතයක්. ඒකේ සත්‍යයක් තියෙනවා කියලා හිතන්න බෑ.

කර්මය විපාක දීමේ ස්වභාවයේ දී තමන්ට වුවමනා විදිහට අවසන් තේරීමක් නෑ. මේක තියෙන්නේ ‘කම්මස්සකෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්ධු කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමී’ති කියලනේ. එහෙම පුළුවන් වුණා නම් ඔන්න මව්කුසකට යනවා. ඒක පරීක්ෂා කරලා බලනවා. ‘ආ… මේකෙ බෑ’ කියලා වෙන එකකට යනවා. නමුත් එහෙම කරන්න බෑ.

හැබැයි, මෙහෙම එකක් තියෙනවා. අපි ගත්තොත් සමහර කෙනෙක් තමන්ගේ දැනුම පාවිච්චි කරලා ගබ්සාවක් කරන්න පටන් ගන්නවා කියමු. ඔන්න අපි කියමු කෙනෙකුට අසම්මත සම්බන්ධයකින් දරුවෙක් ලැබෙන්න ඇවිල්ලා ඉන්නවා කියලා. එතකොට එයා මේක නැතිකරන්න කියලා කියනවා කියමු. එක්කෝ එයා “හා… මං කරන්නම්…” කියලා නැතිකරනවා කියමු. එතකොට දැන් එයා රැස්කරපු කර්මයක්. ඒ කියන්නේ බබා මව්කුසට ආවා. ඒත් කර්මානුරූපවනේ ආවේ. එතකොට මෙයා කර්මයකින් ඒක නැති කළා. මිනිස් ලෝකයට එන්න තිබුණු අවස්ථාව අහිමි කළානේ. ඉතින් එයා මැරිලා ගිහිල්ලා ආයෙමත් කර්මානුරූපව මව්කුසකට යන්න හදනකොට සමහර විට එයා මව්කුසකට නොයා භූත ආත්මයකට යන්න පුළුවන්. එතකොට එයා භූත ආත්මයකට ගිහින් මේ මනුස්සයා කෙරෙහි ‘මෙයා තමයි මට මනුස්ස ලෝකයේ ඉන්න දුන්නේ නැත්තේ… මෙයා තමයි මාව මැරුවේ…’ කියලා වෛර බැඳගන්න පුළුවන්.

එතකොට එයා මනුස්ස ලෝකයට ගිහිල්ලා මව්කුසක ඉපදුණොත් අර භූතයා රිංගලා කළලය මරනවා. එතකොට ඒකට විසඳුමක් නෑ. ඒ කියන්නේ ඒක පිරිත් කියලා, භාරවෙලා බේරන්න බෑ. මොකද, තමන් විසින් හදාපු කර්මය තමන් ම විඳවන්න ඕන. සමහර අම්මලාගේ බඩට බබා එනවා. සුමානයයි හොඳට ඉන්නේ. නිකම් ම, ඒ කියන්නේ උපක්‍රමයකින් තොරව ම බබා ගබ්සා වෙලා යනවා. සමහර විට ඒක කරන්නේ භූතයෙක්. මොකද, ඒ භූතයාට ඒක කරන්න කර්මානුරූපව හැකියාවක් තියෙනවා.

නමුත් ඊට පස්සේ ඒ භූතයාට ඒ පව අයිති වෙනවා. මේක බේරුමක් නෑ. චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරන තුරු මනුස්සයාට වෙන කිසිම විකල්පයක් නෑ. සසරේ භයානකකම තමයි මේ තියෙන්නේ. ඉතින් අපි මේක තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන. ඇත්ත වශයෙන්ම මම කිව්වේ ඒකයි අන්තරාභවය තියෙනවා ද නැද්ද කියන එක නෙවෙයි අපට මේකෙ දී වැදගත් වෙන්නේ. අපි අකුසල ක්‍රියාව කරන්න හොඳ නෑ. මොකද, ඒකේ විපාකත් ඒ විදිහට ම අනතුරුදායක නිසා. මේකයි අපට මේකේ ගන්න තියෙන පණිවිඩය.

සිල්වතුන්ට ගැරහීමේ විපාක භයානකයි…

තව එක ප්‍රේත කතාවක් තියෙනවා. ඒක හරි පුදුමයි. එක කාන්තාවක් පෙරේතියක් වෙලා ඉපදෙනවා. ඇය ඌරු කටක් තියෙන අසූචි කන කාන්තාවක්. ඉතින් රහතන් වහන්සේනමක් අහනවා “මේ මොකද?” කියලා. “අනේ මම පන්සලක හිටපු ප්‍රධාන දායිකාව…” “ඉතින් මොකද මේ වුණේ?” කියලා අහනවා. “හාමුදුරුවෝ මට සිල්වත් භික්‍ෂූන් වහන්සේලා එළවන්න මෙහෙම බැණපන්… මෙහෙම කරපන්… කියලා කිව්වා. මම ඒවා කළා” කිව්වා.

අදත් ඒ විදිහට සමහර ගිහි උදවිය හාමුදුරුවරුන්ගේ කීමට තවත් හාමුදුරුවරුන්ට අපහාස කරනවානේ. මේ තියෙන්නේ එහෙම අයට වෙන දේ පිළිබඳ විස්තරය තමයි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා වැසිකිළි වළේ උපදිනවා. අර කාන්තාව ගිහිල්ලා හාමුදුරුවන්ගේ කර උඩ උපදිනවා. මිනිස්සුන්ගේ අසූචි මේ පෙරේති කනවා. ඒ පෙරේතිගේ අසූචි පෙරේත වෙලා උපන්න හාමුදුරුවෝ කනවා. මේක ප්‍රේත වස්තුවේ තියෙන කතාවක්. එතකොට අපට මේකෙන් පේනවා, එහෙම නම් මේකෙන් මහණ වුණා කියලා බේරෙන්නත් බෑ. ගිහි වුණා කියලා බේරෙන්නත් බෑ. හේතුව තමයි මේක ක්‍රියාවක්. ක්‍රියාවෙන් තමයි මේක නිර්මාණය වෙන්නේ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post ලොවට උතුම් පින්කෙත නිසා සැපවත් වූ ජීවිත… appeared first on MAHAMEGHA.


අචින්ත්‍ය වූ කර්ම විපාක

$
0
0

ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන්නේ ක්‍රියාවෙන්…

බුද්ධ දේශනාවේ තියෙනවනේ, වසලයෙක් වෙන්නෙත්, බ්‍රාහ්මණයෙක් වෙන්නෙත් ක්‍රියාවෙන් කියලා. ක්‍රියාවෙන් තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. එහෙම නැතුව පොරවන වස්ත්‍රයෙන් පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ නෑ. පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ ක්‍රියාවෙන් ම විතරයි. ඒ වගේ ම දැනඋගත්කමින් පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ නෑ. බලයෙන් ශ්‍රේෂ්ඨ වෙන්නේ නෑ. ධනයෙන් ශ්‍රේෂ්ඨ වෙන්නෙත් නෑ. ඒ වගේ ම ශ්‍රේෂ්ඨ වෙන්නේ සමාජ තත්ත්වයෙන්, නම්බුනාමයෙන් නෙවෙයි. තමන් කරන ක්‍රියාවෙන්. එතකොට ක්‍රියාවෙන් නම් ශ්‍රේෂ්ඨ වෙන්නේ හීන වෙන්නෙත් ක්‍රියාවෙන්. ඔය විදිහට ප්‍රේත ලෝකයේ, නිරයේ ඉපදුණු අය ඔක්කෝටම වැරදිලා තියෙන්නේ ක්‍රියාවෙන්.

එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ගිජ්ඣකූට පර්වතයේ වැඩසිටිද්දී භික්‍ෂූන් වහන්සේලා දැකලා තියෙනවා පෙරේත කණ්ඩායමක් අහසින් යනවා. ඒ අය ශ්‍රමණ පෙරේතයෝ. මුළු ඇඟේ ම (වස්ත්‍ර, සිවුරු පාත්‍ර ඔක්කොම) ගිනි ජාලාවක්. මේගොල්ලෝ ගිනි ඇවිළි ඇවිළි කෑ ගහමින් යනවා. බුදුරජාණන් වහන්සේ ඒ අයගේ විස්තරය දේශනා කරනවා. ඒ අය කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේ දුස්සීලව ජීවිත ගෙවපු භික්‍ෂූන් වහන්සේලා පිරිසක්. ඒ නිසා ඒගොල්ලන්ට පෙරේත ලෝකයේ ඉපදිලා දුක්විඳින්න සිද්ධ වෙලා. එතකොට අපට පැහැදිලියි, මේ ඔක්කොම සිද්ධ වෙන්නේ ක්‍රියාවකින්.

ඒක නිසයි බුදුරජාණන් වහන්සේ “වෛර කරන්න එපා..! ඊර්ෂ්‍යා කරන්න එපා..! අනුන්ට නින්දා කරන්න එපා..! අනුන්ගේ දියුණුව වළක්වන්න එපා..! අනුන්ගේ දියුණුවට වළ කපන්න එපා..!” කියලා අවවාද කරන්නේ. මොකද, අනුන්ට කපන ඒ වළවල්වලට කවදා හරි තමන්ට වැටෙන්න සිද්ධ වෙනවා. මේකෙන් බේරෙන්න තියෙන්නේ ම කුසලයේ පිහිටලා විතරයි. ප්‍රධාන වශයෙන් ම එයා පින් පව් විශ්වාස කරන්න ඕන. ඒ කියන්නේ පව් විශ්වාස කරන්නේ නැත්නම් එයාට ඒක කරන්න බෑ. ඒ කියන්නේ මේකෙන් බේරෙන්න නම් එයා ‘අනිවාර්යයෙන් ම පවේ පවිටු විපාක තියෙනවා… පිනේ සැප විපාක තියෙනවා…’ කියලා විශ්වාස කරන්න ම ඕන. වෙන බේරෙන්න ක්‍රමයක් නෑ. මොකද, පින් පව් විශ්වාස කරනවා නම් අයහපත් දේවල් කරන්නේ නෑනේ.

එක තැනක දිව්‍ය ලෝක ගැන සිද්ධියක් තියෙනවා. ඇය මනුස්ස ලෝකයේ දී විවාහ වූ කාන්තාවක්. මේ කාන්තාව මනුස්ස ලෝකයේ ඉන්නැද්දී ස්වාමියාට හරි කීකරුයි. නමුත් නැන්දම්මාගෙන්, මාමාගෙන් හරියට නින්දා අපහාස හිරිහැර ආවා. හැබැයි මේ කාන්තාව කවදාවත් නින්දා කරන්න, බණින්න, හිරිහැර කරන්න ගියේ නෑ. සියල්ල ඉවසාගෙන මෛත්‍රියෙන් වාසය කළා. ප්‍රතිඵලය ලෙස මරණින් මත්තේ දෙවියන් අතරේ උපන්නා. එතකොට අපට පේනවා, ඊර්ෂ්‍යා නොකිරීමෙන්, හිංසා නොකිරීමෙන්, එකට එක නොකිරීමෙන් තමයි ඇයට ඒ ඔක්කොම ලැබුණේ. ඒ නිසා මේකෙන් බේරෙන්න තියෙන්නේ ඒ ක්‍රමයට විතරයි.

කර්මය විපාක දෙන ස්වභාවය අපට හොයන්න බෑ…

අපි අංගුලිමාල ගැන ගත්තොත් අංගුලිමාල අසංඛ්‍යෙය කල්ප ගණන් පෙරුම් පුරාගෙන ආපු කෙනානේ. අංගුලිමාල මහරහතන් වහන්සේට මොන කර්ම විපාකයකින් ද මේක වුණේ කියන පෙර විස්තරය නෑ. හැබැයි යම්කිසි පතාගෙන ආපු එකක් තියෙන්න ඕන. මොකද, එයා ඉපදුණු දවසෙ ම ආයුධ ඔක්කොම දිලිසිලා ගියානේ. කොසොල් රජ්ජුරුවන්ගේ ආයුධ ගබඩාවේ ආයුධ දිලිසුණා. රජ්ජුරුවන්ගේ රාජකීය කඩුව පවා දිලිසුණා. ඊ ළඟට නිමිති බලද්දී මෙයා අනාගතයේ හොරෙක් වෙනවා කියලත් කිව්වා.

ඒ වගේ ම අපි පටාචාරා ගැන ගත්තොත්, භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ විනයධර භික්‍ෂුණීන්ගෙන් අගතනතුරු ලබන්න පෙරුම් පුරාගෙන ආපු කෙනා, ඒ කියන්නේ විනයට පෙරුම් පුරාගෙන ආපු කෙනා බුදුරජාණන් වහන්සේ ළඟට දුවගෙන එනකොට මොන විනයක් ද තිබුණේ? ඇඟේ නූල්පටක්වත් නැතුව පිස්සියක් වගේනේ ආවේ. ඉතින් ඒ නිසා අපට ඒකේ කර්ම විපාකය මොකක්ද කියලා හොයාගන්න බෑනේ. හැබැයි මේකෙන් එකක් පේනවා. ඒ තමයි කර්ම විපාකයෙන් නම් හැංගෙන්න බෑ. කර්මය විපාක දෙනවා ම යි. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා “මහණෙනි, චේතනාව මුල්කරගෙන කරන්නා වූ කර්මය විපාක නො දී අවසන් වෙන්නේ නෑ” කියලා.

මේ නිසයි අපි කියන්නේ “චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්න මහන්සි ගන්න. ගෞතම බුද්ධ ශාසනයේ පිහිට ලබන්න මහන්සි ගන්න” කියලා. ඊ ළඟට බුද්ධ දේශනාවේ හොඳ ලස්සනට පැහැදිලි වෙනවා, බුදුරජාණන් වහන්සේ දෙවියන් අතරට යන්න ගිහි අයව හරියට උනන්දු කරවලා තියෙනවා. ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගැනීම, බුදුරජාණන් වහන්සේ සරණ යෑම, ධර්මය සරණ යෑම, ශ්‍රාවක සංඝයා සරණ යෑම, ඒ වගේ ම ස්ථූප වන්දනා කිරීම, මල් පහන් පූජා කිරීම, දානමාන දීම, ධර්මයට ගෞරව කිරීම මේ ආදි පින්කම් කරන්න කියලා තියෙන්නේ. ඒ පිනෙන් තමයි සුගතියට යන්නේ.

අපි මිනිසත්කමින් උපරිම ඵල නෙළනවා ද…?

අපි ගත්තොත්, අපි දැන් ඉන්නේ මනුස්ස ලෝකයේනේ. අපි මේ විදිහට මනුස්ස ලෝකයේ ඉන්නේ යම්කිසි පිනක් කරලා. එක්තරා අවස්ථාවක සඳහන් වෙනවා, මහාකාශ්‍යප මහරහතන් වහන්සේට දානයක් දෙන්න සක් දෙවිඳුයි, සුජා කියන දෙවඟනයි මිනිස් වෙස් අරගෙන මනුස්ස ලෝකයට ආවා. නමුත් බලන්න දැන් අපට නිරායාසයෙන් මිනිස් වෙස් තියෙනවා. නමුත් කෝ අපි ඒ විදිහට කර ගන්නවා?

නමුත් දෙවිවරු දානෙ දෙන්න මිනිස් ලෝකයට වෙස්වලාගෙන ඇවිල්ලා තියෙනවා. දැන් අපට වෙස්වලා ගන්න දෙයක් නෑනේ. දැන් අපි මනුස්සයෝ වෙලානේ ඉන්නේ. නමුත් අපි බොහෝ වෙලාවට කරන්නේ මනුස්සයෝ වෙලා ඉන්නේ යම් පිනකින් ද ඒ පින වනසා ගන්න හේතුවෙන දේවල්. සිල්වතුන්ට අපහාස කරනවා… නින්දා කරනවා… සත්පුරුෂයන්ට ගරහනවා… යහපත දකින්නේ නෑ, යහපතට ගරහනවා… සමහර විට දන් දෙන්න හදන කොට ඒක වළක්වනවා… ඊ ළඟට අනුන් දෙන එකටත් බණිනවා. මේ විදිහට කටයුතු කිරීමෙන් පින වේගයෙන් පිරිහෙනවා.

ඊ ළඟට ජාති වශයෙන්, කුල වශයෙන්, ගෝත්‍ර වශයෙන් බෙදිලා එකාට එකා නින්දා අපහාස ගැරහිලි කර ගන්නවා. මේ ඔක්කෝගෙන් ම හානිවෙන්නේ තමන්ගේ පිනට. තමන්ගේ පිනට හානිවෙලා පින් නැති වුණාට පස්සේ එයාට ඉතින් යන්න තියෙන්නේ අර කියාපු තැන්වලට තමයි. ඒ කියන්නේ එක්කෝ නිරයේ… එක්කෝ ප්‍රේත ලෝකයේ… එක්කෝ තිරිසන් අපායේ…

සාමාන්‍යයෙන් තිරිසන් ලෝකය අපිත් එක්ක ම යි ඉන්නේ. ඒ වගේ ම ඉඳහිට හෝ පෙරේත ලෝකයේ විස්තරයත් අහන්න, දකින්න ලැබෙනවා. සමහර විට ඡායාරූප පවා අරන් තියෙනවානේ. නමුත් අපි දන්නවා ද ඒ විදිහට අපේ වටේ කවුරු කවුරු ඉන්නවා ද කියලා? අපි දන්නේ නෑනේ කාගෙ කවුද කියලා. බුද්ධ දේශනාවේ තියෙනවා “බැරිවෙලාවත් කෙනෙක් නිරයේ හෝ තිරිසන් ලෝකයේ හෝ වැටුණොත් ආයෙමත් මනුස්ස ලෝකයට එනවා කියන එක ලේසි නෑ” කියලා.

නැවත මනුස්ස ලෝකයට එන්න සත්තුන්ටත් අමාරුයි. පෙරේතයන්ටත් අමාරුයි. නිරි සතුන්ටත් අමාරුයි. හැබැයි දේශනාවේ තියෙනවා එහෙම ආවට පස්සේ එයා ආයෙමත් කරන්නේ අර පුරුදු වූ දේ කියලා. ඒ කියන්නේ නිරයේ ගිහිල්ලා උපදින්න, තිරිසන් ලෝකයේ ගිහිල්ලා උපදින්න පුරුදු වූ යමක් ඇද්ද ඒක කියනවා එයා ආපහු කරන්නේ. ඒක ම ආපහු කරලා ආයෙමත් එතැනට ම යනවා.

කර්මයෙන් බේරීමට උපකාර වන කරුණු පහක්…

ඒ නිසා අපට මේ ලෝක ස්වභාවය හිතාගන්න බෑ. ඒ කියන්නේ මේ සත්ව විෂය සිද්ධවෙන රටාව හිතාගන්න බෑ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘(කම්ම විපාකෝ භික්ඛවේ අචින්තෙය්‍යෝ න චින්තේතබ්බෝ) කර්මය විපාක දෙන ස්වභාවය අචින්ත්‍යයි’ කියලා. ඒ කිව්වේ කර්මය විපාක දෙන විදිහ අපට හිතලා ඉවර කරන්න බෑ. සමහර විට කර්මය විපාක දෙන විදිහ හරිම අද්භූතජනකයි. ඉතින් ඒ නිසා තමයි අපි ඒ කර්මයෙන් බේරෙන්න යහපත් මාර්ගය දියුණු කර ගත යුත්තේ.

බුද්ධ දේශනාවේ හරි පැහැදිලිව විස්තර කරලා තියෙනවා, මේකෙන් බේරෙන්න නම් කරුණු පහක් ඇතිකර ගන්න කියලා. ඒ තමයි ශ්‍රද්ධාව, සීලය, ශ්‍රැතය, ත්‍යාගය, ප්‍රඥාව. ශ්‍රද්ධා කිව්වේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි තමන්ගේ සිතේ තියෙන විශ්වාසය.

‘උන්වහන්සේගේ අවබෝධය හරි… ඒ අවබෝධය නිවැරදියි… නිරවුල්…’ කියලා ඇතිකර ගන්න පැහැදීම. එහෙම නිවැරදි වූ එකක් අපට සංස්කරණය කරන්න දෙයක් නෑනේ. ඒක තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැත්නම් කරන්නේ ධර්මය නූතන සමාජයට ගළපනවා. නමුත් ශ්‍රද්ධාව තිබුණා නම් එහෙම කරන්නේ නෑ. ශ්‍රද්ධාව තිබුණා නම් බුදුරජාණන් වහන්සේ වදාළ දේ වදාළ විදිහට ම කරනවා.

අපි ගත්තොත් ‘නමෝ බුද්ධාය!’ කියන වචනය ගනිමු. මේ ‘නමෝ බුද්ධාය’ කියන වචනයෙන් කියන්නේ ‘බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා..!’ කියලනේ. අපි මේක නැවතත් මහමෙව්නාවෙන් ඉදිරිපත් කිරීම නිසා මිනිස්සු ආයෙමත් ‘නමෝ බුද්ධාය..!’ කියලා කියන්න පටන් අරගෙන තියෙනවා. එතකොට ඒ විදිහට ‘නමෝ බුද්ධාය’ කියලා මතක් කළා ම හැම තිස්සේ ම එයාට බුද්ධානුස්සතිය වැඩෙනවානේ. එතකොට ඒක ශ්‍රද්ධාවේ කොටසක්. නමුත් ශ්‍රද්ධාව නැති කෙනාට මේක දිරවන්නේ නැතිවෙන්න පුළුවන්. නමුත් ශ්‍රද්ධාව තියෙන කෙනාට මේක අයිති එකක්. ඊ ළඟට ‘සීල’ කියලා කියන්නේ කාය, වචී සංවරය. ඒ කියන්නේ එයා කය, වචනය සංවර කරගෙන වාසය කරනවා. ඊ ළඟට ශ්‍රැත. ඒ කියන්නේ දහම් දැනුම.

දෙදරා ගිය පවුල් ජීවිතවල කතාව…

සමහර අය ඉන්නවා, එයාට පිනක් උදෙසා තමන්ට මනුස්ස ජීවිතයක් ලැබුණා. නමුත් එයා හිතනවා තව කෙනෙකුට සතුටක් ලබාදෙන්න තමන්ගේ ශරීරය යෙදෙව්වොත් ඒකෙන් එයාට පිනක් තියෙයි ද කියලා. එහෙම හිතාගෙන ඉන්න අය ඉන්නවා. නමුත් එහෙම එකක් නෑ.

විමාන වත්ථුවක හොඳ සිද්ධියක් තියෙනවා. එක කාන්තාවක් හොඳින් සීලවන්ත ව ජීවත් වෙනවා. මෙහෙම ජීවත් වෙනකොට සල්ලාලයෝ කොටසක් මේකට ඔට්ටුවක් අල්ලනවා. ඒ තමයි එක සල්ලාලයෙක් කියනවා “බලාපල්ලා.. මං ඔය කාන්තාව මගේ වසඟයට ගන්නවා…” කියලා. ඉතින් අනිත් සල්ලාලයෝ “කහවණු දාහක් ඔට්ටුයි… උඹට මේක කරන්න බෑ!” කියනවා. ඉතින් කොහොම හරි ඒ සල්ලාලයා අර ගෑනු කෙනා ව වසඟයට ගන්නවා. අරගෙන ඒ ගෑනු කෙනාත් සමඟ අයථා විදිහට ජීවත් වෙනවා. ජීවත් වෙලා ඔට්ටුවෙන් දිනුවා.

එතකොට කලින් එයා හොඳින් පින් දහම් කරගෙන හිටපු කෙනෙක්. නමුත් පස්සේ සල්ලාලයෙකුට අහු වුණා. ඊට පස්සේ මේක මෙයාගේ ස්වාමියාට අහු වුණා. ස්වාමියා මෙයාගෙන් අහනවා “හැබෑ ද උඹ මෙහෙම කළා ද?” එහෙම අහන කොට මේ බිරිඳ කියනවා “අනේ මම නම් කළේ නෑ. එහෙම කළා නම් උපනූපන් ආත්මවල මාව බල්ලෝ හපන්න ඕන” කියලා. ඉතින් මෙයා මැරිලා ගිහිල්ලා විමාන ප්‍රේතියක් වෙලා උපදිනවා. ඔන්න දවල් කාලයේ දිව්‍ය සැප වගේ ලස්සනට ඉන්නවා. මොකද, පිනුත් කළානේ. රෑ වුණා ම මෙයා පොකුණකට බහිනවා. බහිනකොට ම දඩයම් බල්ලෝ ඇවිල්ලා මෙයාව කීතු වෙන්න කාලා කාලා ඇටසැකිල්ලක් කරලා දානවා. උදේට ආයෙමත් ඇහැරිලා විමානයට එනවා. බලන්න, කර්ම විපාකය සකස් වූ හැටි!

ඒ නිසා කවුරු තෘප්තිමත් කරන්න කළත් ඒ දේවල් කර්මානුරූප ව අරගෙන යන්න වෙනවා. කර්මානුරූප ව යන්න තියෙන කොට කර්මානුරූපව තමයි විඳින්න තියෙන්නෙත්. එතකොට එයාට උපනූපන් ආත්මවල දී කර්මානුරූප ව ගෙවන්න තියෙන්නේ. ඒ නිසා බොහෝ අවස්ථාවල දී තුන්වෙනි සිල්පදයට හානි කර ගත්තු අයගේ පවුල් ජීවිත උපනූපන් ආත්මවල අසාර්ථක වෙනවා. ඒ කියන්නේ ස්වාමියාගෙන් බිරිඳට ආදරය ලැබෙන්නේ නෑ. බිරිඳගෙන් ස්වාමියාට ආදරය ලැබෙන්නේ නෑ. ආදරය කියන එක එයාට හම්බවෙන්නේ නෑ. ඒ කියන්නේ එයා විවාහ වුණාට ආදරය හම්බවෙන්නේ නෑ.

අපි කියමු වැරැද්ද කරලා තියෙන්නේ ස්වාමියා කියලා. එතකොට එයාට බිරිඳගෙන් ආදරය හම්බවෙන්නේ නෑ. ඒ නිසා එයා විඳවනවා. ආදරය නෑ. කර්මානුරූප ව තුන්වන සිල්පදය කඩාගත්තු අය බැරිවෙලාවත් මනුස්ස ලෝකයට ආවොත් ඒ විදිහට විඳවන්න වෙනවා. සමහර විට අවුරුදු ගණන් ආදරය කරලා විවාහ වෙනවා. ඒ වුණාට වැඩක් නෑ. ටික දවසකින් සතුරෝ වගේ ඉන්නේ. තරහකාරයෝ වගේ එකට ජීවත්වෙන්නේ. ඒගොල්ලන්ට කවදාවත් ආදරය විඳින්න හම්බවෙන්නේ නෑ. ඒකට හේතුව සසරේ දුස්සීල වීමයි.

නමුත් දැන් ඔය මාධ්‍යවලින් කියන හැටියට හැමෝටම ආදරය කියන එක ලබන්න බෑ. ඒක ඒ විදිහට වෙන්නේ මේ නිසයි. ඒ කාරණය සිද්ධ වෙන්නේ අකුසල විපාකයකින්. සමහර විට ප්‍රේත ලෝකයේ ගියාම, නිරයේ ගියාම අවුරුදු දහස් ගණන් දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ චේතනාත්මක ව යමක් කළා ද ඒක විපාක දෙනවා. ඒක විපාක දෙන්නේ නෑ කියලා හිතීම මිථ්‍යා දෘෂ්ටියක්. මිථ්‍යා දෘෂ්ටියක් වුණා ම ඒකේ විපාකය බරපතළ වැඩියි.

හැම එළියක් ම දේවතා එළි නෙවෙයි…

දේවතා එළි ගැන කතා කිරීමේ දී හැම එකකට ම දේවතා එළි කියලා කියාගෙන යන එක නම් විහිළුවක්. සෝමාවතියේ තමයි දැනට මේ එළි විහිදෙන්නේ. කිරි වෙහෙරෙත් තියෙනවා. ඉස්සර සේරුවාවිලත් තිබිලා තියෙනවා. මම හිතන්නේ ධාතූන් වහන්සේලා වඳින්න එන දේවතාවුන් වහන්සේලාගේ එළි තමයි ඒ තියෙන්නේ. කාලිංග මාඝ සිද්ධස්ථාන ඔක්කොම ආක්‍රමණය කරලා විනාශ කරද්දී ඔය ඔක්කොම ආරක්‍ෂා කළේ මිනිස්සු නෙවෙයි, මේ ඔක්කොම ආරක්‍ෂා කළේ දෙවිවරු. අදටත් ඒවා ආරක්‍ෂා කරන්න දෙවිවරු සෑහෙන්න දුරට මැදිහත් වෙලා ඉන්නවා.

ඒ වගේ ම බුදුරැස් විහිදෙන එක ගැන ගත්තොත්, සෝමාවතියෙන් වගේ බුදුරැස් විහිදෙන්න පුළුවන්. ඒ කියන්නේ එහි තිබෙන්නේ ධාතූන් වහන්සේලාගේ බුද්ධානුභාවය යි. අපි නුවර වන්දනා කරන දළදා වහන්සේගේ ඉතිහාසයේ සඳහන් වෙනවා, කලිඟු රටේ රජ්ජුරුවෝ මේ දළදා වහන්සේ කම්මලේ යකඩ තලන කිණිහිරේ දාලා තලන්න සූදානම් වෙලා තියෙනවා. නමුත් ඒ විදිහට තලද්දී කිණිහිර යටට එබිලා. ඊට පස්සේ රජ්ජුරුවෝ භය වෙලා. මොකද, ඇට කැබැල්ලක් කියලනේ අපහාස කළේ. නමුත් යකඩය ගිලාබැස්සාම රජ්ජුරුවෝ මේකට වන්දනා කළා. ඊට පස්සේ දළදා වහන්සේ අහසට පැනනැගිලා රැස් විහිදිලා තියෙනවා.

ඉතින් මේ නිසා ධාතූන් වහන්සේලාගෙන් රැස් විහිදීම කියන එක වෙන්න පුළුවන්. ඒ වගේ ම ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙනුත් රැස් විහිදිලා තියෙනවා. බුදුරැස් විහිදෙනවා… ඒක සත්‍යයක්. ඒක විද්‍යාවට ගළපන්න ගියොත් තමයි අපි අමාරුවේ වැටෙන්නේ. ඊ ළඟට සමහර අය ඊර්ෂ්‍යා සහගතවත් කියනවානේ “ඕවා වෙන්නේ නෑ..! ඔය බොරු” කියලා.

මට මතකයි අපි සෝමාවතියේ පින්කම කරන අවස්ථාවෙ දී හරියට සෝමාවතී මහසෑයට අපහාස කළානේ. හිස් පැවිද්දොත් ඒක කළා. “කොහෙද බුදුරැස් විහිදෙන්නේ?” කියලා මහසෑයට අපහාස කළා. නමුත් සෝමාවතියෙන් බුදුරැස් විහිදෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් විහිදෙන්නේ නැත්නම් කාගෙන් විහිදෙන්න ද?

සෝමාවතී චෛත්‍යයේ එක ඡායාරූපයක මම දැක්කා, පිරිසක් ඇවිල්ලා වන්දනා කරද්දී පොඩි ළමයෙක් පස්සට පනිනවා. පනින කොට තාත්තා ෆොටෝ එකක් ගන්නවා. මට මතක හැටියට ඒකෙ තියෙන්නේ පුංචි ඇත් පැටියෙක් ඒ අයිනෙන් දුවනවා. මේ ළමයා ඒක දැක්කා. ඒ වගේ ම ඒක පින්තූරයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකෙ තේරුම තමයි දිව්‍ය ලෝකයෙත් තිරිසන් සත්තු වගේ එක එක සතුන් ඉන්න බව පේනවා. දිව්‍ය ලෝකයේ අශ්වයෝ, අලි, කුරුල්ලෝ ඒ වගේ සත්තු ඉන්න බව පේනවා.

ඒ වගේ ම එක එක සත්තු කර්මානුරූප ව පෙරේත ලෝකයෙත් ඉන්නවා. එක තැනක සඳහන් වෙනවා, ප්‍රේත ලෝකයේ ලොකු කොක්කු වගේ හොටවල් තියෙන සත්තු ඇවිල්ලා පෙරේතයන්ට කොට කොට ඔවුන්ගේ මස් කනවා කියලා. පෙරේත ලෝකයෙත් තිරිසන් සත්තු ඉන්නවා. මනුස්ස ලෝකයෙත් තිරිසන් සත්තු ඉන්නවානේ. දිව්‍ය ලෝකයෙත් තිරිසන් සත්තු ඉන්නවා.

ඒ වගේ ම අපේ එක කැලණි පූජාවක දී ලොකු හංසයෙක් පින්තූරයකට වැටිලා තිබ්බා. ඒකේ ඒ කුරුල්ලා හරි පැහැදිලියි. එළිය තියෙන පාට කුරුල්ලෙක්. ඒ වගේ තියෙනවා. ඒ වගේ අවස්ථාවල දී ඒ දෙවිවරු කියලා තේරුම් ගන්න පුළුවන්. එක අවස්ථාවක මම ඉන්දියාවේ දී මළමිනී දවන තැනක පින්තූරයක් ගත්තා. ඒකෙත් එළි පිරිලා. දහස් ගාණක් එළි තියෙනවා. එතකොට අපට හිතාගත හැකියි, භූතයොත් එහෙම වැටෙන්න පුළුවන්. මොකද, එවැනි තැන්වලට දෙවිවරු කිට්ටු වෙන්නේ නෑනේ. භූතයෝ ඉන්න තැනට දෙවිවරු එන්නේ නෑ. අපි ගත්තොත් හිඟන්නෝ ගොඩට අපි යන්නේ නෑනේ. හිඟන්නෝ ගොඩට යන්නේ හිඟන්නෝ විතරනේ. ඒ වගේ එකක් තමයි මෙතැන තියෙන්නෙත්.

ඉතින් මේ නිසා දෙවිවරු ගොඩක් චෛත්‍ය වඳින්න එනවා. ශ්‍රද්ධාවෙන් වඳින අයට දෙවිවරු හරි සතුටුයි. ඒවා දැකබලා සතුටු වෙන්න එනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. අපේ කුණ්ඩසාලේ චෛත්‍යයෙත් ඒ වගේ එළි තිබුණා. රුවන්වැලි මහසෑයටත් ඒ වගේ ලොකු එළි ඇවිල්ලා තිබුණා. ඒවා හරි පැහැදිලියි. මම නම් ඒ ගැන තේරුම් අරන් ඉන්නේ ඒ එළි ධාතූන් වහන්සේලා වඳින්න එන දෙවිවරු, බ්‍රහ්මයෝ කියලයි.

සාදු! සාදු!! සාදු!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post අචින්ත්‍ය වූ කර්ම විපාක appeared first on MAHAMEGHA.

බුදු සසුනක මූලික ඉලක්කය පිරිනිවන් පෑමයි…

$
0
0

බුද්ධ දේශනා දිහා බැලුවා ම අපට පේනවා, බුදුරජාණන් වහන්සේ හැමෝටම දිව්‍ය ලෝකයේ හිත පිහිටුවන්න කියලා දේශනා කරලා නෑ. එක්තරා තැනක බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා “මහණෙනි, ඔබට අන්‍යාගමික තීර්ථකයන් හම්බවෙනවා නේ ද? ඉතින් ඒගොල්ලෝ ඔබෙන් ඇහුවොත් දිව්‍ය ලෝකයේ උපදින්න ද ශ්‍රමණ ගෞතමයන් ළඟ ධර්මයේ හැසිරෙන්නේ කියලා එතකොට ඔබට ලැජ්ජාවක් ඇතිවෙනවා නේ ද?” එහෙම කියන්නේ යළි උපතක් ගැන කතා කරන නිසයි. බුදුරජාණන් වහන්සේ එයින් අදහස් කළේ ඉපදීම දුකයි කියන ධර්මයක් තුළ දිව්‍ය ලෝකයක උපතක් ගැන කතා කළොත් ඒකෙන් ලැජ්ජාවක්, පිළිකුලක් ඇතිවෙනවා නේ ද කියලයි. ඒ කියන්නේ තව තැනක උපදින්න නෙවෙයි නේ ද අපි ආවේ කියන අදහස ඇතිවෙනවා නේ ද කියලයි. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “මහණෙනි, පිරිනිවන් පෑම පිණිස නේ ද මේ ධර්මය තියෙන්නේ?” කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ මූලික ම ඉලක්කය වුණේ පිරිනිවන් පෑමයි. ඒ සඳහායි උන්වහන්සේ ධර්මය දේශනා කළේ.

එදා හිටපු ඉන්දීය සමාජය තුළ බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වූ පිරිස ගත්තොත් ඒ අය පැවිදි වුණේ ඒ ඉලක්කය සඳහායි. උන්වහන්සේ ‘කුල සූත්‍රය’ කියලා සංයුත්ත නිකායේ තියෙන දේශනාවක දේශනා කරනවා “මහණෙනි, අතීතයේ යමෙක් මනා කොට ගිහි ජීවිතය අත්හැර පැවිදි වුණා නම්, ඒ හැමෝ ම පැවිදි වුණේ ආර්ය සත්‍යය අවබෝධ කරන්නයි. වර්තමානයේ යමෙක් ගිහි ජීවිතය අත්හැර මනාකොට නෛර්යානික ශාසනයක පැවිදි වෙනවා නම්, ඒ චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්නයි. අනාගතයෙත් එහෙමයි.” කියනවා. එතකොට ඒ පිරිස තමයි බුදුරජාණන් වහන්සේ මූලික වශයෙන් ඉලක්ක කර ගත්තේ.

එක දේශනාවක සඳහන් වෙනවා, අනාගාමී භික්‍ෂූන් වහන්සේනමක් ධර්මයේ හැසිරීමට ප්‍රමාදීව වාසය කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා “භික්‍ෂුව, ඔබ වීරිය ගන්නවා මදි. ප්‍රමාදී ව වාසය කරනවා වගේ පේනවා. කාරණය මොකක්ද?” එතකොට කියනවා “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මම හිතාගෙන ඉන්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා ඉතුරු ටික කර ගන්නයි.” එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා “පින්වත් භික්ෂුව, අසූචි ටිකක් වුණත් ගඳයි නේ ද…? ලේ… සැරව චුට්ටක් වුණත් ගඳයි නේ ද…? පින්වත් භික්‍ෂුව, ඒ නිසා මම නම් ඇසිපිය හෙළන වෙලාවක්වත් නැවත ඉපදීමක් නම් වර්ණනා කරන්නේ නෑ.” කියලා. එතකොට එහෙම නම් අපට පේනවා, බුදුරජාණන් වහන්සේගේ ඍජු වැඩපිළිවෙළ වුණේ මේ ජීවිතයේදී ම පිරිනිවන් පාන වැඩපිළිවෙළයි. ඒ වැඩපිළිවෙළේ තමයි ශ්‍රාවක සංඝයා නියැලී වාසය කළේ.

සුගතියේ උපතත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමක්…

හැබැයි, අපගේ බුදුරජාණන් වහන්සේ පුද්ගලයන්ගේ විවිධත්වය මැනවින් සාක්‍ෂාත් කරපු ශාස්තෘන් වහන්සේනමක්. ඒ නිසා උන්වහන්සේ පුද්ගලයන්ගේ ඉන්ද්‍රියන්ගේ වැඩිවීම, අඩුවීම හොඳින් දකිනවා. එතකොට ඉන්ද්‍රියන් හොඳින් වැඩුණු අයට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කලින් කියාපු විදිහයි. ඒ වගේ ම උන්වහන්සේ දකිනවා ගෘහස්ත ජීවිතය ගතකරන සාමාන්‍ය අය ගැන. ඒ වගේ ම සාමාන්‍ය භික්‍ෂු ජීවිතයෙත් ප්‍රමාදී අය ඉන්නවා. එතකොට ඒගොල්ලන්ටත් මේ ගමනේ යම්කිසි ඉලක්කයක් ඕනනේ. ඒකට තමයි ඇතැම් විට බුදුරජාණන් වහන්සේ සුගතියේ උපත පිළිබඳව දේශනා කළේ. අපි දැකලා තියෙනවා මජ්ඣිම නිකායේ ‘සංඛාරුප්පත්ති සූත්‍රය’ වැනි දේශනාවල බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව විස්තර දේශනා කරලා තියෙනවා.

ඒ වගේ ම අංගුත්තර නිකායේ ‘සෝතානුධත සූත්‍රය’ කියලා දේශනාවක් තියෙනවා. ඒ සෝතානුධත සූත්‍රයේ තියෙනවා “මහණෙනි, ශ්‍රාවකයා ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා වඩයි.” මෙතැන කරුණු පහක් විස්තර වෙනවා. ශ්‍රද්ධාව කිව්වේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය කෙරෙහි සිත පහදවා ගැනීම. ඒ කියන්නේ බුද්ධ දේශනා ගැන හිත පහදවා ගැනීම. අපට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මොකක්ද කියලා හොයාගන්න තියෙන්නේ බුද්ධ දේශනාවෙන්. බුද්ධ දේශනාවෙන් බැහැරව බුදුකෙනෙකුගේ අවබෝධයක් හොයනවා කියන එක විහිළුවක්.

එතකොට පළමුවෙන් ම බුද්ධ දේශනා අනුව උන්වහන්සේගේ අවබෝධය ගැන හිත පහදවා ගන්නවා. ඒ විදිහට ශ්‍රද්ධාව ඇති වුණා ම, ඊ ළඟට එයා සීල සංවර වෙනවා. ඊ ළඟට සුත. සුත කියන්නේ එයා බුදුරජාණන් වහන්සේගේ දේශනාව හොඳට දරා ගන්නවා. ඒකේ සුතා, ධතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා කියලා ධර්මය අධ්‍යයනය කරන ක්‍රමය පවා උගන්වලා තියෙනවා. ‘සුතා’ කියන්නේ ධර්මය අහනවා, ‘ධතා’ කියන්නේ අහපු ධර්මය මතක තියාගන්නවා. ‘වචසා පරිචිතා’ කියන්නේ වචනයෙන් පුරුදු කරනවා. ‘මනසානුපෙක්ඛිතා’ කියන්නේ මනසෙන් මෙනෙහි කරනවා, ‘දිට්ඨියා සුප්පටිවිද්ධා’ කියන්නේ ඒක පැහැදිලිව තේරුම් ගන්නවා, අවබෝධ කරගන්නවා. මේ ලක්ෂණ ටික ධර්ම අධ්‍යයනයේදී ශ්‍රාවකයාට අවශ්‍යයි. නැත්නම් එයා මොකක් හරි තමන් හිතෙන් හදාගන්න සංකල්පයකට මුළා වෙලා ඉන්නවා.

ධර්මයේ නාමයෙන් තමන්ගේ මත ඉදිරිපත් කිරීම…

ඒකේ මම දකින්නේ මෙහෙම දෙයක්. අපි ගනිමු කවුරු හරි කෙනෙක් එහෙම මතයක් ඉදිරිපත් කරනවා කියලා. ඒ මතය සියයට සියයක් ම අධාර්මිකයි. ඒ මතයෙන් හානිවෙන්නේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපද්දවන කෙනාටයි. අපි මෙහෙම කියමු. ඔන්න කෙනෙක් ‘මම මේ ධර්මය හරි ද වැරදි ද කියලා හොයන්නේ මං භාවනා කරලා අත්දැකලා’ කියලා මතයකට එනවා. ඇවිත් සූත්‍ර කියවන්නේ නැතුව භාවනා කරගෙන යනවා. අපි කියමු එහෙම භාවනා කරලා එයාට මොකක් හරි අත්දැකීමක් ලැබෙනවා කියලා. එයා ඒ අත්දැකීමෙන් අවබෝධ වුණා කියලා හිතනවා කියමු. ඊට පස්සේ එයා සූත්‍රය කියවනවා. ඊට පස්සේ එයා “ආ… මම අවබෝධ කරපු එකනේ මේ සූත්‍රයේ තියෙන්නේ…” කියලා කියනවා.

එතකොට එයා ඒ සමාන වෙන්න උත්සාහ කරන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට. එහෙම නම් එයත් බුදුකෙනෙක්. එහෙම නම් එයත් ගුරු උපදේශ රහිතව අවබෝධ කරලා. ඒ අවබෝධ කරපු එක තමයි එයා සූත්‍රයත් සමඟ බලන්නේ. අපි දන්නවානේ, අපගේ භාග්‍යවතුන් වහන්සේ අසමයි කියලා. එහෙම නම් අසම වූ භාග්‍යවතුන් වහන්සේට එයා සම වුණා. ඒ නිසා අපි හිස් පුද්ගලයන්ගේ කතාවලට නොරැවටිය යුතුයි. ඒවා හිස් කතා බව අපි වේලාසනින් ම තේරුම් ගත යුතුයි. ඒකෙන් හානිවෙන්නේ ධර්මය කෙරෙහි හිත පහදවන කෙනාටයි.

එහෙම වෙන්න නම් අපි සරණ යන්න ඕන නෑනේ. ඔහොම ගිහිල්ලා ‘බුද්ධං සරණං ගච්ඡාමි’ කියන එකටත් මේ කියන්නේ තමන්ගේ දැනීම සරණ යන්න කියලා කියයි. ඒ වගේ ම එහෙම නම් ‘ධම්මං සරණං ගච්ඡාමි’ කියන්න ඕන නෑනේ. එහෙම නම් ‘සංඝං සරණං ගච්ඡාමි’ කියලා සරණ යන්නත් ඕන නෑ. ඒ නිසා මේ වගේ ඔළුව අවුල් වූ, ශ්‍රද්ධාවක් නැති, හිස් පුද්ගලයන්ගේ කතාවලට සවන් දුන්නොත් එහෙම සරණක් තියෙන්නේ මොකටද කියන කාරණයවත් අපට තෝරා බේරාගන්න බැරිවෙනවා. ඉතින් ඒ නිසා මේකෙ තියෙන වැදගත් ම කාරණය තමයි මම ඒ කිව්වේ. ඒ නිසා අපි බුද්ධ දේශනා කෙරෙහි ම හිත පහදවාගන්න ඕන.

බලන්න, මහාකස්සප මහරහතන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේලා ධර්ම සංගායනා කරලා ඊ ළඟට ඒ ධර්මය කටපාඩම් කරන්න රහතන් වහන්සේලාටනේ භාරදුන්නේ. එහිදී මහාකස්සප මහරහතන් වහන්සේ ම තමන් වහන්සේගේ ශිෂ්‍ය පරපුරට සංයුත්ත නිකාය කටපාඩම් කරගෙන එන්න භාරදුන්නා. අංගුත්තර නිකාය කටපාඩම් කරගෙන එන්න අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවට භාරදුන්නා. දීඝ නිකාය කටපාඩම් කරගෙන එන්න ආනන්ද මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවට භාරදුන්නා. මෙතැන තියෙන්නේ තමන්ගේ බුද්ධිය සරණ යෑමක් නම් රහතන් වහන්සේලා විසින් ඒ විදිහට තම තමන්ගේ සිසු පිරිසට භාර දෙන්නේ නෑනේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ ඔක්කොම හිස් පුද්ගලයන්ගේ කතා. අන්ධබාල පෘතග්ජනයන් තමයි මේ වගේ කතා කියන්නේ.

භාවනාවට හදිස්සි වීම නුවණැති ක්‍රියාවක් නෙවෙයි…

සතිය අසාමාන්‍ය ලෙස වේගවත් කරනවා නම් එයා ඉතින් උමතු වෙයි. ඔළුව අවුල් කර ගනියි- ඊට වඩා දෙයක් නම් කරන්න හම්බවෙන්නේ නෑ. බුද්ධ දේශනාවේ සමාධි ස්කන්ධයට තියෙන්නේ කරුණු තුනයි. ඒ තමයි සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. සම්මා වායාම කියන්නේ උපන් අකුසල් තියෙනවා ද ඒවා ප්‍රහාණය කරන්න වීරිය ගැනීම. නූපන් අකුසල් තියෙනවා ද ඒවා උපද්දවන්නේ නැතුව සිටීමට වීරිය ගැනීම. නූපන් කුසල් තියෙනවා ද ඒවා උපදවා ගන්න වීරිය ගැනීම. ඒ වගේ ම උපන්න කුසල් තියෙනවා ද ඒවා වර්ධනය කර ගන්න වීරිය ගැනීම. මේක වෙලාව වැඩිකිරීමෙන් කරන එකක් නෙවෙයි, ඒක කරන්න තියෙන්නේ ප්‍රඥාවෙන්. ඒක හරියට කළොත් එයාට සිහිය පිහිටනවා. සිහිය හොඳට වර්ධනය වුණොත් සිත සමාධිමත් වෙනවා. දේශනාවේ තියෙන්නේ (සමාහිතෝ භික්ඛවේ භික්ඛු, යථාභූතං පජානාති) මහණෙනි, සමාහිත සිත් ඇති භික්ෂුව තමයි මේ විදර්ශනා ප්‍රඥාවෙන් යථාර්ථය දකින්නේ” කියලයි. එතකොට සමාධිමත් සිතට ‘වේගය’ කියලා අපි අර්ථයක් දුන්නොත් ඒක අපි සමාධියට ලොකු අගෞරවයක් කළා වෙනවා. සමාධියටත් හානි කළා වෙනවා.

ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ දේශනා කළා “මහණෙනි, කරුණු පහක් නිසා බුද්ධ ශාසනය අතුරුදහන් වෙයි. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේට ගෞරව නොකිරීම, ධර්මයට ගෞරව නොකිරීම, සංඝයාට ගෞරව නොකිරීම, සමාධියට ගෞරව නොකිරීම, ශික්‍ෂාවට ගෞරව නොකිරීම. මේ කරුණු පහෙන් තමයි ශාසනය අතුරුදහන් වෙන්නේ.’

ඒ නිසා අපට වැදගත් වෙන්නේ පුද්ගලික විග්‍රහ නෙවෙයි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවයි. පුද්ගලික විග්‍රහය වැදගත් නොවෙන්න ප්‍රධාන හේතුව, අපි අපේ අත්දැකීමට පාදක කරගන්නේ අපේ ම දෘෂ්ටිය නම් ඒක අනතුරුදායකයි. මොකද, අපි අපේ දෘෂ්ටියකින් යම් අත්දැකීමක් ලබනවා කියමු. එහෙම අත්දැකීමක් ලබලා අපි කියනවා කියමු “මට හිතෙන්නේ මෙහෙමයි… මට අවබෝධ වෙන්නේ මෙහෙමයි… මට තේරුණේ මෙහෙමයි…” කියලා. ඔන්න හෙට දවසෙත් මට ආයෙමත් අලුත් අත්දැකීමක් ලබනවා. එතකොට ඊයේ අත්දැකීම පරණ එකක්. අද අත්දැකීම අලුත් එකක්. එතකොට මම කියනවා “ඊයේ මම හිතුවේ මෙහෙමයි… නමුත් අද හිතන්නේ මෙහෙමයි…” කියලා. ඊට පස්සේ අද අත්දැකීම හෙට වෙනස් වෙනවා. මොකද, පුද්ගලික රුචිකත්වය මත, ඒ වගේ ම ලබන අත්දැකීම මත පුද්ගලයා දන්නා හඳුනන ලෝකය වහා වෙනස් වෙන සුලුයි. ඒක අකාලික එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමයි අකාලික.

– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post බුදු සසුනක මූලික ඉලක්කය පිරිනිවන් පෑමයි… appeared first on MAHAMEGHA.

පාරමී පූරණය

$
0
0

ධර්මාවබෝධය සඳහා පාරමී පිරිය යුතුද?

කෙනෙක් කියන්න පුළුවන් මේ ධර්මය ඔහොම කතා කළාට, ඔහොම මගඵල ලබන්ට පුළුවන් ද? මේ සඳහා පාරමී සම්පූර්ණ වෙන්න ඕනනේ… පාරමී සම්පූර්ණ වූ අය තමයි මේක සම්පූර්ණ කරන්නේ…’ කියලා. නමුත් අපි දන්නව ද, කලින් ආත්මවල අපි ආත්ම භාව කීයක් පාරමී පුරල ද කියලා. අපට ඒ පිළිබඳ දැනීමක් නෑනේ. අපි ගත්තොත්, මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩිද්දී ලංකාවේ මිනිස්සු හිටියේ කොහොමද? නැකතට දඩයමේ ගිය මිනිස්සුනේ හිටියේ. එතකොට ඒ මිනිස්සු පාරමී පිරුවා කියලා කොහේවත් තියෙනව ද? ඒ අය පාරමී පිරුවා කියලා දැනගන්න පුළුවන් ආකාරයේ විස්තර මොකුත් නෑ. හැබැයි, ඒ යුගයේ මිනිස්සු තුළ අවබෝධ කරන්න පුළුවන් කුසලතාවය තිබුණා. ඒ වගේ ම රහතන් වහන්සේනමක් විසින් දේශනා කරපු ධර්මය ශ්‍රවණය කිරීමට ඒ අයට වාසනාව තිබුණා. ඒ නිසා ධර්මාවබෝධයට එයත් උපකාරී වුණා.

එහෙම නම් ප්‍රඥාව තියෙන අයනේ ඒ දවස්වල දඩයමේ ගියේ. පාරමී පිරුණු කොටසක්නේ කැලේ වැදිලා නැකතට දඩයම් කර කර හිටියේ. අද පාරමී ගැන බහුලව කතා කරනවා. අපි ගත්තොත් අසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරූ කෙනෙක් තමයි පටාචාරා. නමුත් පාරමී ධර්මයන් සම්පූර්ණ වූ පටාචාරා, විනයධර භික්ෂුණීන්ගෙන් අගතනතුරු ලබන්න පෙරුම්දම් පිරූ පටාචාරා භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවේ මොන විනයක්වත් නැතුවයි. ඇඟේ නූල් පොටක් නෑ, සිහියත් නෑ. බලන්න, පාරමී පුරපු සලකුණක්වත් ඒ වෙනකොට පෙනුණ ද? අවුරුදු දහසයේ දී වැඩකාර කොල්ලත් එක්ක පැනලා ගියා. ඤාණය අහලකවත් පේන්නවත් නෑනේ.

ඊ ළඟට අංගුලිමාලගේ ප්‍රශ්නය ගත්තොත් පාරමී ධර්ම පුරලා අරහත්වය පිණිස පෙරුම් පුරාගෙන ආපු කෙනෙක් බුදුරජාණන් වහන්සේටත් කඩුවක් උස්සන් පැන්නුවානේ. එතකොට බලන්න, කොහොමද ඒ දේවල් බාහිරින් හොයන්නේ? ඊ ළඟට චුල්ල පන්ථක කියලා ස්වාමීන් වහන්සේනමක් හිටියා. උන්වහන්සේට එක ගාථාවක්වත් පාඩම් හිටින්නේ නෑ. උන්වහන්සේගේ සහෝදරයාත් පැවිදි වෙලා හිටියේ.

සහෝදරයා කිව්වා “ගාථාවක්වත් පාඩම් කරන්න බැරි කෙනෙකුට මේක කරන්න බෑ. ඒ නිසා ගෙදර යන්න” කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තමයි ‘රජෝ හරණං’ කියලා උගන්වලා උන්වහන්සේට ධර්මයට එන්න උපකාර කළේ. අන්තිමට උන්වහන්සේ තමයි මේ බුද්ධ ශාසනයේ මනෝමය ඉර්ධිලාභීන්ගෙන් අග්‍ර වුණේ. බලන්න, ගාථාවක් මතක හිටියේ නෑ. ඉතින් කොහොමද පාරමී මනින්නේ?

ඒ නිසා අපට වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ අපට අවබෝධය පිණිස දේශනා කරපු දේවල්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් ඒ කාලයේ මිනිස්සුන්ට වලංගු වුණේ නැත්නම් ඒක අකාලික එකක් නෙවෙයිනේ. නමුත් ඒ කාලයේ මිනිස්සුන්ට ඒක වලංගු වුණා. ඊට පස්සේ අවුරුදු දෙසියතිස් ගණනකට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලා ඒ දේශනාව මෙහේ උපුටා දැක්වුවා. එහෙම නම් ඒක වලංගු වුණේ නැත්නම් මේ මිනිස්සු කවුරුවත් අවබෝධ කරන්නේ නෑනේ. නමුත් ඒ දේශනාව අවුරුදු දෙදහස් පන්සියයකට පස්සෙත් අපි තවමත් උපුටා දක්වනවා. ඒ නිසා මේක අකාලික ධර්මයක්. එතකොට ඒ අකාලික ධර්මය කෙරෙහි ‘මේක බුදු කෙනෙකුගේ ධර්මයක්’ කියලා අපි හිත පහදවා ගන්න ඕන.

පාරමී පුරන්න ඕන කියන දෘෂ්ටිය නිසා යම්කිසි අනතුරුදායක තත්වයක් ඇතිවෙලා තියෙනවද?

ඒ වගේ දෘෂ්ටි එනකොට අද කොච්චර නම් ශාසනයට අනතුරක් සිද්ධවෙලා ද කියලා අපට පේනවා. සිද්ධවෙලා තියෙන අනතුර තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්න බැරිකම. ධර්මය කෙරෙහි හිත පහදවා ගන්න බැරිකම. කොටින් ම කාලයක් තිස්සේ සිත පහදවා ගන්න බැරිකම කොච්චර අවාසනාවන්ත අඩියක ද තිබුණේ කියන්නේ අපි හිත පහදවගන්න දවස මෛත්‍රී බුද්ධ ශාසනයට කල් දැම්මා. එදාට තමයි අපි චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්න හිතාගත්තේ. කිසි දවසක ඒ අහලකටවත් යන්න බෑ. මොකද, දැන් ලෝකයේ චතුරාර්ය සත්‍යය ධර්මය කතා කරනවා. දැන් බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා. ඒ විදිහට තමන් ඉදිරිපිට තමන්ට ප්‍රත්‍යක්‍ෂව තියෙන දේකට හිත පහදවා ගන්නේ නැති කෙනෙක් කවදාවත් නොපෙනෙන අනාගතයක බුදුකෙනෙක් කෙරෙහි පහදියි ද? එහෙම නම් ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මය නෙවෙයි.

මෛත්‍රිය වැඩීම තුළින් රාගය වැඩෙනවා කියලා ඇතැම් අය කියනවා. එය සත්‍යයක් ද?

බුදුරජාණන් වහන්සේ එක තැනක ප්‍රජාපතී ගෞතමියට දේශනා කරනවා “ගෞතමිය, යම් ධර්මයක් තුළින් රාගය උපද්දවයි ද යම් ධර්මයක් තුළින් ද්වේෂය උපද්දවයි ද යම් ධර්මයක් තුළින් මෝහය උපද්දවයි ද හඳුනාගන්න ඒ තථාගතයන් වහන්සේගේ ධර්මය නෙවෙයි කියලා. නමුත් යම් ධර්මයක් තුළින් රාගය ප්‍රහාණය කරයි ද යම් ධර්මයක් තුළින් ද්වේෂය ප්‍රහාණය කරයි ද යම් ධර්මයක් තුළින් මෝහය ප්‍රහාණය කරයි ද ඒ තථාගත ධර්මයයි කියලා හඳුනාගන්න.” එතකොට යම්කිසි කෙනෙක් කියනවා නම් “අද මෛත්‍රිය තුළින් රාගය වැඩෙනවා, ඒ නිසා මෛත්‍රිය වඩන්න එපා” කියලා එහෙම නම් ඒක තථාගත ධර්මය නෙවෙයි. එතකොට බලන්න, එයා තමන්ගේ දෘෂ්ටියක් කියන්න ගිහිල්ලා කොහේටද වැදුණේ? වැදුණේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයට නේ ද?

උන්වහන්සේ දේශනා කරනවා “(මෙත්තා භාවේතබ්බා ව්‍යාපාදස්ස පහානාය) මහණෙනි, මෛත්‍රිය වැඩිය යුත්තේ පටිඝය (ගැටීම) ප්‍රහාණය කිරීම පිණිස යි.” ඊ ළඟට උන්වහන්සේ දේශනා කරනවා “(මෙත්තාය භික්ඛවේ චේතෝවිමුත්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය. ඒකාදසානිසංසා පාටිකංඛා) මහණෙනි, මේ මෛත්‍රී භාවනාව නිරන්තරයෙන් ම ප්‍රගුණ කළොත්, මැනවින් ප්‍රගුණ කළොත්, යානයක් පරිදි හැමතිස්සේ ම පවතින දෙයක් විදිහට ප්‍රගුණ කළොත් අනුසස් එකොළහක් කැමැති විය යුතුයි. ඒ තමයි (සුඛං සුපති) සුවසේ නිදයි. (සුඛං පටිබුජ්ඣති) සුවසේ අවදිවෙයි. (න පාපකං සුපිනං පස්සති) පවිටු සිහින නොදකියි. (මනුස්සානං පියෝ හෝති) මිනිස්සුන්ට ප්‍රියවෙයි. (අමනුස්සානං පියෝ හෝති) අමනුස්සයින්ට ප්‍රියවෙයි. (දේවතා රක්ඛන්ති) දෙවියන් රකියි. (නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති) ගිනි – වස විස – ආයුධ ආදියෙන් හානි නොවෙයි. (තුවටං චිත්තං සමාධියති) වහා සිත සමාධිමත් වෙයි. (මුඛවණ්ණෝ විප්පසීදති) තමන්ගේ මුහුණේ පැහැය වැඩිවෙයි. (උත්තරිං අප්පටිවිජ්ඣන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති) ඒ කෙනාට මෛත්‍රී ධ්‍යානය තුළ මාර්ග ඵල විශේෂයක් ඇතිකර ගන්න බැරි වුණොත් බඹලොව උපදියි.”

එතකොට යම් කෙනෙක් මෛති්‍රී භාවනාව කළොත් රාගය වැඩෙනවා කියලා අධර්මයක් කිව්වොත් මෛත්‍රී භාවනාවට හිත යොදාගෙන දියුණු කරන්න පුළුවන් වාසනා මහිමය තියෙන පින්වන්ත කෙනාගේ ඒ වාසනාවටත් අකුල් හෙලුවා වෙනවා. අපි කියමු අයෝනිසෝ මනසිකාරයෙන් මෛත්‍රිය වඩලා කෙනෙකුට රාගය උපදින්න ඉඩ තියෙනවා. ඒක එයාගේ පුද්ගලික ප්‍රශ්නයක්. අපි කියමු ඔන්න කෙනෙක් ඉන්නවා. එයාට තව කෙනෙක් ගැන සරාගී සිතක් ඇතිවෙනවා. එයා මෛත්‍රිය කියලා වැරදිලා ඒ සරාගී සිත පෝෂණය කරනවා. එතකොට එයා හිතනවා ‘මට මේ නැති රාගයක් හටගත්තේ මෙත් වැඩීම නිසා’ කියලා. නමුත් එයා හරියට මෛත්‍රිය වැඩුවා නම් කවදාවත් ඒක වෙන්නේ නෑ. මොකද, මේ ධර්මය රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කරන ධර්මයක්. ඒ නිසා මෛත්‍රිය හරියට වැඩුවා නම් එතැන රාගයක් හටගන්න විදිහක් නෑ. එහෙම නම් එයා මෛත්‍රිය වැරදි ක්‍රමයකට වඩලා.

වැරදි විදිහට භාවනා කරලා නොමග ගිය අය බුද්ධ කාලෙත් ඉඳලා තියෙනවද?

එක දවසක් ඒ වගේ දෙයක් වුණානේ. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට අසුභ භාවනාව වැරදි විදිහට වඩපු භික්ෂුවක් ආවා. ඒ ස්වාමීන් වහන්සේ අසුභ භාවනාව කොච්චර වැරදියට වැඩුවා ද කියන්නේ මෙයා වැසිකිළියට ගිහින් “ඊ කක්කා…” කියලා හෝදන්නේ නෑ. අත තියන්න අප්පිරියයි. ඔන්න පස්ස පැත්ත කුණු වුණා. බුදුරජාණන් වහන්සේට මේ සිදුවීම සැල වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ “මෝඩ භික්ෂුව, මම ඔය විදිහේ එකක් ද කියලා තියෙන්නේ?” කියලා ඇහුවා. ඉතින් එහෙම නම් බුද්ධ කාලයෙත් පටලවා ගත්තා. ඒ කියන්නේ ජරාව කියලා හෝදන්නේ නැතුව ඉන්නවා. වැඬේ සම්පූර්ණ වැරදියිනේ. ඉතින් ඒ වගේ “මට රාගය ඇති වුණා… ඒ නිසා ඔයගොල්ලොත් මෛත්‍රිය වඩන්න එපා, රාගය ඇතිවෙයි” කියලා කිව්වොත් ඒ පිස්සු කතාවක්නේ. ඒ නිසා ඒ වගේ දේවලින් හානිවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයටයි. ධර්මය උපුටා දැක්වුවා නම් හරිනේ.

ඔන්න මම “භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක..” කියලා ධර්මය කියනවා කියමු. මේක ගිහි කෙනෙක් අහගෙන ඉන්නවා කියමු. එයත් “භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක…” කියලා ඒක ම කියනවා නම් හානියක් නෑනේ. ඊට පස්සේ එයාගෙන් තව කෙනෙක් අහගෙන යනවා. එතකොට එහෙම සියදෙනෙක් දක්වා ගියත් ධර්මය වෙනස් වෙලා නෑ.

තමන් පුද්ගලිකව අත්දැකපු දෙයක් ධර්මය ලෙස පැවසීම වරදක් නේද?

අත්දැකීමෙන් දන්නවා කියලා මාන්නයෙන් කියන කාටවත් ම ශ්‍රද්ධාව නෑ. හරි අත්දැකීමක් ලැබුණා නම් කටයුතු කරන්නේ එහෙම නෙවෙයි. අපි ‘අත්දැකීම… අත්දැකීම…’ කියලා කියනවානේ. අපි අත්දැකීම ගැන ගනිමු. අත්දැකීම ගැන බුද්ධ දේශනාවේ විස්තර වෙනවා. “මහණෙනි, ශ්‍රද්ධාව කොහේ දැක්ක යුතු ද? (චතුසු සෝතාපත්ති අංගේසු) සෝවාන් අංග හතර තුළ ශ්‍රද්ධාව දැක්ක යුතුයි.’ සෝවාන් අංග හතර තමයි ‘(බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති) බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වේ. (ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති) ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වේ. (සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති) සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වේ. (අරියකන්තේහි සීලේන සමන්නාගතෝ හෝති) ආර්යකාන්ත සීලයෙන් යුක්ත වේ.

එතකොට අත්දැකීම ලබපු කෙනාට බුදුරජාණන් වහන්සේගේ කෙරෙහි පැහැදීම නැති වුණා නම්, ධර්මය කෙරෙහි තියෙන පැහැදීම නැති වෙලා තමන්ගේ අත්දැකීම ඔක්කොම අභිබවා ගියා නම්, තමන්ගේ අත්දැකීම ම ඉස්මතු වුණා නම් ඒ තුළ “මටයි අවබෝධ වුණේ… මගේ අවබෝධය තමයි හරි…” කියමින් ඒක ම කියනවා නම් ඒක එයාගේ අවබෝධය පිළිබඳව විශාල අර්බුදයක්. ඒ අත්දැකීම ධර්මයට අයිති නැති එකක්. ඒක ශ්‍රද්ධානුසාරී වූ අත්දැකීමකුත් නෙමෙයි. ධම්මානුසාරී අත්දැකීමකුත් නෙවෙයි. හරි අත්දැකීම් කියලා කියන්නේ එක්කෝ ශ්‍රද්ධානුසාරී වෙන්න ඕන. එක්කෝ ධම්මානුසාරී වෙන්න ඕන. එක්කෝ සෝවාන් ඵලයට පත්වෙන්න ඕන. එක්කො සකදාගාමී වෙන්න ඕන. එහෙම නැත්නම් අනාගාමී වෙන්න ඕන. මේ එකක්වත් නොවේ නම් එහෙම එකකට කොහොමද අත්දැකීම කියන්නේ?

– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post පාරමී පූරණය appeared first on MAHAMEGHA.

මමත්වය තියෙන්නේ ‘මම’ කියන වචනයේ නෙවෙයි

$
0
0

දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා බ්‍රාහ්මණයෙක් ආවා. ඇවිල්ලා කියනවා “ස්වාමීනී, තමා කියලා කරන්නෙක් නැත. අනුන් කියලා කරන්නෙක් නැත. භාග්‍යවතුන් වහන්ස, මම ඉන්නේ මේ දෘෂ්ටියේ” කියලා. ඒ මතයට එන්න තමයි අදත් හිස් පුද්ගලයෝ “තමා කියලා කරන්නෙකුත් නැත… අනුන් කියලා කරන්නෙකුත් නැත…” කියලා කියන්නේ.

අපි මෙහෙම ගනිමු. ඔන්න ඔබ තමන් තුළ ‘මම’ කියලා කෙනෙක් නෑ කියලා ‘මම’ කියන අදහස අත්හැරියා කියමු. ඒ වගේ ම මමත් ‘මම’ කියන අදහස අත්හැරියා කියමු. එතකොට තමා කියලා කෙනෙකුත් නෑ. එතකොට ඔබට අනුන් කියලා කෙනෙකුත් නෑනේ. නමුත් ඒ විදිහට සැලකුවා කියලා මමත්වය නැතිවෙන්නේ නෑ. එතැන දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා “මේ ජාතියේ දෘෂ්ටියක් තියෙන කෙනෙක් අනේ මට නම් නැවත පෙනෙන්නවත් නොලැබේවා..!” කියලා. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “තමන් ම හොඳට ඇවිදිමින් ම, තමන් ම ඉස්සරහට පස්සට යන ගමන්, තමන් ම අතපය ක්‍රියා කරමින් සිටිද්දී තමන් කියලා කෙනෙක් නෑ… අනුන් කියලා කෙනෙක් නෑ… කියලා කියනවනේ” කියලා. එතකොට බලන්න, විදර්ශනා ප්‍රඥාව කතාකරපු භාග්‍යවතුන් වහන්සේ කොච්චර පැහැදිලිව ව්‍යවහාරික ලෝකය හඳුනාගෙන හිටිය ද කියලා.

අපි සාමාන්‍ය සම්මුතිය තුළ ‘මම… අපි… ඔහු… ඇය..’ කියන මේ හැමදෙයක් ම කතා කරනවානේ. නමුත් පරමාර්ථය වශයෙන් අපි මේක විග්‍රහ කරමින් ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් බැලුවොත් මොකුත් නෑ. අපි බාහිර උදාහරණයක් ගත්තොත් (මම සාමාන්‍යයෙන් බාහිර උදාහරණ ගන්න කැමති නෑ…) අපි වාහන ගැන ගමු. අද විවිධ වාහන තියෙනවානේ. අපි ගත්තොත් ‘නිසාන්’ තියෙනවා, ඊ ළඟට ‘ටොයෝටා’ තියෙනවා, ‘ප්‍රාඩෝ’ තියෙනවා. අපි මේ ඔක්කොම නොයෙක් නම් කියමින් ගනුදෙනු කළාට මේවායේ තියෙන්නේ තහඩු, ලෙදර් සීට්, පොඩි පොඩි කෑලි, ග්ලාස් වගේ දේවල්නේ. හරි විදිහට විග්‍රහ කරමින් බැලුවොත් ඒවායේ තියෙන්නේ කෑලි ගොඩක් විතරයි. නමුත් අපි ඒක වෙන් කරමින් ගත්තොත් අපි ඒ වෙන්කරපු එකට ලොකු වටිනාකමක් දෙන්න පුළුවන් ද?

ඒ වගේ අපි ගත්තොත් පුද්ගලයෝ කිහිපදෙනෙක් ඉන්නවා කියමු. ඔන්න අනාගාමී ස්වාමීන් වහන්සේනමක් ඉන්නවා. සකදාගාමී ස්වාමීන් වහන්සේනමක් ඉන්නවා. සෝවාන් ස්වාමීන් වහන්සේනමක් ඉන්නවා. සාමාන්‍යයෙන් ධර්මයේ හැසිරෙන, සාමාන්‍යයෙන් ශ්‍රද්ධාවේ හිත පිහිටුවාගෙන ඉන්න ස්වාමීන් වහන්සේනමකුත් ඉන්නවා. තව අන්ධබාල පෘථග්ජන ස්වාමීන් වහන්සේනමකුත් ඉන්නවා. මේගොල්ලන්ගේ ආයතන ඔක්කෝගේම තියෙන්නේ පටිච්ච සමුප්පාද ක්‍රියාකාරීත්වයක්නේ. නමුත් රහතන් වහන්සේ පටිච්ච සමුප්පාදයෙන් නිදහස්. අනාගාමී උත්තමයාගේ පටිච්ච සමුප්පාදය තියෙනවා. නමුත් ඒක කාම ලෝකයට අයිති නෑ. ඒ වගේ ම සකදාගාමී ස්වාමීන් වහන්සේගේ පටිච්ච සමුප්පාදය තියෙනවා. ඒක සතර අපායට අයිති නෑ. ඒක දෙව්මිනිස් ලෝකයට විතරයි. සෝවාන් වූ කෙනාටත් එහෙමයි. අනිත් කෙනාට වෙනස් කර ගන්න පුළුවන්. නමුත් පෘථග්ජන කෙනාට සතර අපායට දොරටුව තියෙනවා.

එතකොට මේ පුද්ගලයන් තුළ තියෙන මේ පුද්ගල භේදය තුළ ඇස, කන, නාසය, දිව, කය, මනස හය දෙනාගේ ම අනිත්‍යයි. ඒ හැම එකක් ම තමාගේ වසඟයේ පවත්වන්න බෑ. නමුත් රහතන් වහන්සේත් ‘මම’ කියන වචනය පාවිච්චි කරනවා. අනිත් අයත් ‘මම’ කියලා පාවිච්චි කරනවා. නමුත් ‘මම’ කියන වචනය පාවිච්චි කිරීම තුළ නෙවෙයි පුද්ගලයා හොයාගන්න තියෙන්නේ, පුද්ගලයාගේ චේතනාව සකස් කරන ආකාරය තුළයි.
බුදුරජාණන් වහන්සේ පවා ‘මම’ කියන වචනය පාවිච්චි කළා…

බුදුරජාණන් වහන්සේත් “(අහං ච ඛෝ පන භික්ඛවේ ඒවං වදාමි) මහණෙනි, මම මෙන්න මෙහෙම කියනවා” කියලා දේශනා කරනවනේ. එතකොට උන්වහන්සේත් ‘මම’ කියලා පැහැදිලිව කතාකරනවා. ඒ ව්‍යවහාරය බුද්ධ කාලයේ මිනිස්සු අතර කිසි පටලැවිල්ලකට ලක්වුණේ නෑ. ඒ වගේ ම අපි ගත්තොත් මෛත්‍රී භාවනාව තුළ තියෙන්නෙත් ‘(අහං අවේරෝ හෝමි) මම වෛර නැත්තෙක් වෙම්වා… තරහා නැත්තෙක් වෙම්වා…’ කියලනේ. ඒ විදිහට ‘මම’ කියලා ‘අනුන්’ කියලා ව්‍යවහාරයක් නැත්නම් මෛත්‍රිය වඩන්නේ කොහොමද? එහෙම නම් කියන්න තියෙන්නේ ‘මේ රූප ස්කන්ධය නිදුක් වේවා… මේ වේදනා ස්කන්ධය නිදුක් වේවා…’ කියලා නේ ද? එහෙම වුණොත් ඒක විහිළුවක් නේ ද?
එතකොට ‘මම’ කියන වචනය ව්‍යවහාරයෙන් අයින් වුණා කියලා මමත්වය නැතිවෙන්නේ නෑ. අපි තිරිසන් ලෝකය ගැන ගත්තොත් අපි දන්නේ නෑනේ තිරිසන් සත්තු කල්පනා කරන විදිහ. සාමාන්‍යයෙන් බල්ලෙකුට තියෙන්නේ ගොරහැඩි ශබ්දයක්. ලේනෙකුගේ තියෙන්නේ වෙනත් ශබ්දයක්. කුරුල්ලෙකුට තවත් ශබ්දයක්. නමුත් ඒගොල්ලෝ ‘මම’ කියන ව්‍යවහාරය කරනවා ද නැද්ද කියලා අපි දන්නේ නෑ. නමුත් ඒගොල්ලො තුළ මමත්වය හොඳට මුල් බැසගෙන තියෙන්නේ. එහෙම නම් අපි ‘මම’ කියන වචනය කතා කළා කියලා ඒක ප්‍රශ්නයක් බවට පත්වෙන්නේ නෑ. ‘මම’ කියන හැඟීම අපි තුළ තියෙනවා නම් ඒ හැඟීමෙයි ප්‍රශ්නෙ තියෙන්නේ.

අපට කරන්න තියෙන්නේ ‘මෙතැන පටිච්ච සමුප්පාදයක් ක්‍රියාත්මක වෙනවා… මෙතැන පංච උපාදානස්කන්ධයක් ක්‍රියාත්මක වෙනවා… මෙතැන ආයතන හයක් ක්‍රියාත්මක වෙනවා… මේක අනාත්මයි…’ කියලා කල්පනා කිරීම යි. එහෙම නැතුව අපි අවබෝධයෙන් තොරව ගත්තොත් ගෙඩිය පිටින් ඔක්කොම ගන්නවා. නමුත් ඒක විග්‍රහ කරමින් බැලුවොත් එයාට ඒ විග්‍රහය වෙනම ගන්න පුළුවන්. නමුත් එයා ව්‍යවහාරය තුළ කතා කරනවා. බුදුරජාණන් වහන්සේත් හැමතැනම ඒ විදිහට කතා කරනවානේ. බලන්න, බුදුරජාණන් වහන්සේ ඉස්සර වෙලාම පස්වග භික්‍ෂූන් වහන්සේලාව මුණගැහිලා කියන්නෙත් “මහණෙනි, මට අවබෝධ වුණා (අමතමධිගතං) මම අමෘතය සාක්‍ෂාත් කළා” කියලනේ. එහෙම නැතුව උන්වහන්සේ “මහණෙනි, ‘මම’ නෑ…” කියලා කිව්වේ නෑනේ. නමුත් අද නේ මේ පටලවාගෙන තියෙන්නේ. අද නම් තියෙන්නේ අර්බුදයක්.

හිස් මුදුන පැලෙනවා කියන්නේ කුමක්ද…?

‘අජිත සූත්‍රය’ සඳහන් වෙන්නේ සුත්ත නිපාතයේ පාරායන වර්ගයේ. ඒකේ පසුබිම් කතාව හරිම ලස්සනයි. ‘ගෝධාවරී’ කියන නදිය අසබඩ කොසොල් රජ්ජුරුවන්ටයි, අස්සක කියන රජ්ජුරුවන්ටයි අයිති බිම් තීරයේ බාවරී කියන බ්‍රාහ්මණයෙකුට කොසොල් රජ්ජුරුවන්ගෙන් තෑග්ගක් විදිහට ලොකු ගම්වරයක් හම්බවුණා. මේ බාවරී කියන බ්‍රාහ්මණයා (ආකිඤ්චඤ්ඤං පත්ථයානෝ) ධ්‍යාන වඩමින් විමුක්තියක් සොයමින් හිටපු කෙනෙක්. එයාට අජිත, මෙත්තෙය්‍ය, ධෝතක… ආදී අති දක්‍ෂ ශිෂ්‍යවරු දහසය දෙනෙක් හිටියා. ඒ වගේ ම මේ බාවරී බ්‍රාහ්මණයා පන්සීයක් බ්‍රාහ්මණ ශිෂ්‍යයන්ට සමාධිය වඩන හැටි ඉගැන්නුවා. ඒ වගේ ම මෙයා බොහොම නොඇලුණු මනුස්සයෙක්.
ඉතින් මෙයා දවසක් තමන්ට හම්බවුණු සියලු වස්තූන් දන් දුන්නා. මෙහෙම දන් දීලා සතුටින් ඉන්න කොට මෙයා ගාවට වනාන්තරයක හිටියා වගේ පෙනුමැති, ඇඟේ දූවිලි තැවරුණු, නියපොතු වවාගත්තු, කෙස් රැවුල් වවාගත්තු තාපසයෙක් ආවා. ඇවිල්ලා “ඔබතුමා දානයක් දුන්නා කියලා ආරංචියි… මමත් මේ ආවේ ඔබතුමාගෙන් යමක් ඉල්ලන්න“ කිව්වා. “අනේ පින්වත් බ්‍රාහ්මණය, මම මට තිබුණු ඔක්කෝම දීලා ඉවරයි. ඔබතුමා මගෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?” “මං බලාපොරොත්තු වෙන්නේ කහවණු පන්සීයක්… මට ඒක දෙන්න” කිව්වා. ඉතින් මෙයා “අනේ මට නම් දැන් මොකුත් නෑ… මං සියලු ම දේවල් දීලා ඉවරයි” කිව්වා.

සාමාන්‍යයෙන් කැලෑ ගතියෙන් එනකොට මිනිස්සු භය වෙනවනේ. ඒ වගේ ම මෙයා “ඉල්ලන්නා වූ දෙයක් යමෙකුට නොදෙයි ද එය බලවත් වරදකි. ඒ නිසා මෙයින් සත්වෙනි දවසේ ඔබගේ හිස සත්කඩකට පැලේවා…!” කියලා ශාපයක් කරලා යන්න ගියා. දැන් අර අහිංසක බ්‍රාහ්මණයා හරි සංවේගයට පත් වුණා. ඒ නිසා දැන් මෙයාට භාවනා කර ගන්නත් බෑ. දැන් මෙයා හිතන්නේ ‘අනේ, මං දවස් හතෙන් මැරිලා යනවා. ඒ නිසා දැන් මට පිහිට පිණිස මොකක්ද තියෙන්නේ..?’ කියලයි. මෙහෙම ඉන්න කොට රාත්‍රියේ දෙව්දුවක් මෙයාට පෙනී හිටිනවා. පෙනී හිටලා කියනවා “පින්වත් බ්‍රාහ්මණය, ශෝක කරන්න එපා! ඒ පුද්ගලයා මේ සල්ලි ආසා කරන හිස් පුද්ගලයෙක්. ඒ පුද්ගලයා ඔය වගේ ශාප කළාට ඕවා හරියන්නේ නෑ. ඒ හිස් පුද්ගලයා හිස දන්නෙත් නෑ. හිස්මුදුන දන්නෙත් නෑ. මුදුන පැලෙන හැටි දන්නෙත් නෑ.”

එතකොට බලන්න, බුද්ධියේ තියෙන වෙනස? අපට ඒ වගේ දෙවිකෙනෙක් ඇවිල්ලා කිව්වොත් ඊට පස්සේ අපි නම් දෙවියන් ව ෆොටෝ ගනියි. ඒ දෙවියන්ගේ රූපය බලාගෙන අඳින්න කල්පනා කරයි. “මෙහෙමයි මං මෙයාව දැක්කේ…” කියලා කියාගෙන යයි. එහෙම නම් රටේ නැති විජ්ජුම්බරයක්නේ. නමුත් බාවරී එහෙම කෙනෙක් නෙවෙයි. බලන්න, එයාගේ බුද්ධිමත්කම. එයා අහනවා “අනේ දෙව්දුව, එතකොට හිස්මුදුන කියන්නේ මොකක්ද? හිස්මුදුන පැලෙනවා කියන්නේ මොකක්ද?” ඒ වෙලාවේ ඒ දෙව්දුව උත්තර දෙනවා, “අනේ බ්‍රාහ්මණය, මමත් ඒක දන්නේ නෑ. හිස් මුදුන පැලීම කියන ඔය කාරණය මුනිවරයන්ගේ දර්ශනයක්.” “අනේ එතකොට එහෙම අය මේ ලෝකයේ ඉන්නවා ද?” “ඔව්, අපි දන්න එක්කෙනෙක් ඉන්නවා. අන්න සැවැත්නුවර භාග්‍යවතුන් වහන්සේ වැඩඉන්නවා. උන්වහන්සේ නම් හිස්මුදුන පැලීමත්, ඒ පැලෙන ආකාරයත් දන්නවා.”

නුවණැත්තා ක්ෂණයෙන් ධර්මයට පහදිනවා…

‘බුද්ධ’ කියන වචනය ඇහෙනකොට ම සංතෝෂයට මෙයාගේ ඇඟේ හිරිගඬු පිපෙනවා. නමුත් අද ‘බුද්ධ’ කියන වචනය ඇහෙනකොට “ආ… ඕක කතා කරන්න එපා” කියනවා. එහෙම කියන්නේ බෞද්ධයෝ ම යි. බලන්න කොච්චර වෙනසක් ද කියලා? අද අපි බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කළොත් “ආ… ඔයා මොකද ඔච්චර ප්‍රශංසා කළේ..?” කියනවා. බලන්න, කොච්චර පිරිහිලා ද කියලා? ශ්‍රද්ධාදී ගුණධර්ම කොච්චර බාල ද දැන්. එදා ‘බුද්ධ’ කියන වචනය ඇහිලා බාවරීගේ ඇඟේ මවිල් කෙළින් වුණා.

ඊට පස්සේ මෙයා කියනවා “අනේ, මට ඒ විස්තර කියන්න. උන්වහන්සේ කොහේද ඉන්නේ..? මට මේක දැනගන්න යන්න ඕන.” ඉතින් මෙයා ඊට පහුවෙනිදාම අර ශිෂ්‍යයෝ දාසය දෙනාට කතා කළා. අජිත තමයි ඒ දහසය දෙනාගෙන් ම වැඩිමලා වූ ප්‍රධාන ශිෂ්‍යයා. ඉතින් මෙයා කියනවා “මෙන්න මෙහෙමයි බුදු කෙනෙක් කියලා උත්තමයෙක් පහළවෙලා ඉන්නවා. උන්වහන්සේ දන්නවාලු අර මට සාප කරපු බමුණා කියපු කතාවේ ඇත්ත. හිස්මුදුන මොකක්ද, හිස්මුදුන පැලෙනවා කියන්නේ මොකක්ද කියලා උන්වහන්සේ දන්නවාලු. අනේ ඒ නිසා ඔයගොල්ලෝ ගිහිල්ලා ඒ ගැන ඉක්මනට අහන්න.” එතකොට අජිත මානවක අහනවා “ආචාර්යපාදයනි, උන්වහන්සේ බුදු කෙනෙක් කියලා අපි හොයාගන්නේ කොහොමද? අපට ඒ උත්තමයාව හොයාගන්න ක්‍රමයක් තියෙනව ද?”

ඊට පස්සේ මෙයා කියනවා “මතකනේ මම ඔයගොල්ලන්ට ලක්ඛණ ශාස්ත්‍රය උගන්වලා තියෙනවා. ඒ ලක්ඛණ ශාස්ත්‍රය තුළ ශාරීරික අංග විද්‍යාව තුළ මහාපුරුෂ ලක්‍ෂණ තිස්දෙකක් ගැන අපි ඕගොල්ලන්ට උගන්වලා තියෙනවනේ. දැන් ගිහිල්ලා බලන්න, ඒ මහාපුරුෂ ලක්‍ෂණ තිස්දෙක උන්වහන්සේට තියෙනවා ද කියලා. පුරුෂ ලක්ෂණ තිස්දෙක තිබුණොත් උන්වහන්සේ බුදු කෙනෙක් තමයි. ඊට පස්සේ හිතෙන් ප්‍රශ්න අහන්න. උන්වහන්සේ බුදු කෙනෙක් නම් ඒ දේවලට උත්තර දේවි. උන්වහන්සේට (අනාවරණ දස්සාවී) යම් සේ අනාවරණ දර්ශනයක් ඒ කියන්නේ දැකීම ආවරණය වෙලා නැත්නම් ඔයා හිතෙන් හිතන දේට උන්වහන්සේ වචනයෙන් පිළිතුරු දෙයි.”

ඉතින් මේ පිරිස සැවැත්නුවරට යනවා. යනකොට බුදුරජාණන් වහන්සේ එතැන නෑ. හොයාගෙන යනකොට ‘පාසානක චෛත්‍ය’ කියන තැන ගල් කන්දක් උඩ භාග්‍යවතුන් වහන්සේ වැඩඉන්නවා. ඒ විස්තරය හරි ලස්සනයි. ඒ සූත්‍රයේ විස්තර කරනවා ‘මේ පිරිස ගියේ පිපාසිත කෙනෙකු පැන් සොයාගෙන යනවා වගේ බොහොම සන්තෝෂයෙන්’ කියලා. ඉතින් එහෙම ගිහිල්ලා මේගොල්ලෝ ඉස්සර වෙලාම මහාපුරුෂ ලක්‍ෂණ ගැන විපරම් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මහාපුරුෂ ලක්‍ෂණ සහ අප්‍රකට මහාපුරුෂ ලක්‍ෂණත් ඉර්ධිබලයෙන් පෙන්වනවා. දැන් මේ ගොල්ලෝ ‘හා.. දැන් හරි මහාපුරිස ලක්‍ෂණ තිස්දෙක දැක්කා…’ කියලා සෑහීමකට පත්වෙනවා.

බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා සේක…

ඊට පස්සේ හිතෙන් ප්‍රශ්න අහන්න ගන්නවා. ‘මාගේ ගුරුවරයාගේ නම මොකක්ද? මාගේ ගුරුවරයාට වයස කීය ද? මාගේ ගුරුවරයාගේ මහාපුරිස ලක්‍ෂණ කීයක් තියෙනව ද? මාගේ ගුරුවරයා ශිෂ්‍යයෝ කීයකට උගන්වනව ද?’

එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා “ඔබගේ ගුරුවරයා බාවරී. ඒ බාවරීට මහා පුරුෂ ලක්‍ෂණ තුනක් තිබේ. ඔහුට දිවෙන් නළල වහන්න පුළුවන්. නළලේ ඌර්ණ රෝම ධාතුව තියෙනවා. (කෝසෝහිත වත්ථ ගුයිහතා) ශරීරයේ පුරුෂ නිමිත්ත සැඟවී තියෙනවා. ඒ වගේ ම ඔබේ ගුරුවරයාට වයස අවුරුදු එකසිය විස්සයි. ඔබේ ගුරුවරයා ශිෂ්‍යයෝ පන්සියකට උගන්වනවා.” දැන් බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා, නමුත් අහන කෙනෙක් පේන්න නෑ. ඉතින් මෙයාට සතුටුයි. ඊට පස්සේ මෙයා ආයෙමත් අහනවා ‘භාග්‍යවතුන් වහන්ස, හිස්මුදුන කියන්නේ මොකක්ද? හිස් මුදුන පැලෙනවා කියන්නේ මොකක්ද?’

බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා “හිස් මුදුන කියන්නේ අවිද්‍යාවට. හිස් මුදුන පැලෙනවා කියන්නේ විදර්ශනා ප්‍රඥාවට.” (ඒකෙන් තමයි මේක ආරම්භ වෙන්නේ) ඊට පස්සේ මේ අජිත අහනවා ‘(කේනස්සු නිවුතෝ ලෝකෝ) මේ ලෝකය වැසිලා තියෙන්නේ කුමකින් ද? (කේනස්සු නප්පකාසති) වැහුණ බව දන්නේ නැත්තේ ඇයි? (කිස්සාභිලේපනං බ්‍රෑසි) මේ ලෝකය තවරාගෙන ඉන්නේ මොකක්ද? (කිංසු තස්ස මහබ්භයං) ඔහුට තියෙන භය මොකක්ද?’

මෙතැන ලෝකය කියලා කියන්නේ අපට. යම් තැනක ඇස, කන, නාසය, දිව, කය, මනස ඇද්ද ඒක තමයි ලෝකය. ඇස, කන, නාසය, දිව, කය, මනස නැත්නම් අපි මේ කිසිදෙයක් ගැන දන්නෙත් නෑ. එහෙම නම් ඒ මොකුත් නෑ. එහෙම නම් ලෝකය කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය හයට. ඉතින් අජිත අහපු ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු වශයෙන් වදාළා “(අවිජ්ජාය නිවුතෝ ලෝකෝ) ලෝකය වැසී තිබෙන්නේ අවිද්‍යාවෙන්. (වේවිච්ඡා පමාදා නප්පකාසති) මසුරුකමත්, ප්‍රමාදයත් නිසා මේක ඉස්මතු වෙන්නේ නෑ. (ජප්පාභිලේපනං බ්‍රෑමි) ලෝකය සරසාගෙන ඉන්නේ, තවරගෙන ඉන්නේ තෘෂ්ණාව. (දුක්ඛමස්ස මහබ්භයං) ඔහුට තියෙන ප්‍රධාන ම භය දුක.”

මොකද, ඉපදීම, ජරාව, මරණය, ශෝක වැළපීම මේක තමයි භය. ඒක කොච්චර පැහැදිලි ද කියන්නේ අපි දැක්කනේ සිංහල අවුරුද්දට ලස්සනට ලෑස්ති වෙනවා. සුනාමි ආවා කියපු ගමන් ඒ ලස්සන කෝ? තෘෂ්ණාව තවරගෙන හිටියා. මෙන්න දුක සැණෙකින් උපන්නා. ඉතින් මේ වගේ තමයි මේ දුක තියෙන්නේ.

තණ්හා සැඩපහර නවත්වන්නේ කෙලෙසක ද…?

එතකොට එයා හරි ලස්සනට ඊ ළඟ ප්‍රශ්නය අහනවා ‘(සවන්ති සබ්බධී සෝතා) ඇස, කන, නාසය, දිව, කය, මනසින් සැඩපහර ගලා බසී. (සෝතානං කිං නිවාරණං) මේ සැඩපහර වළක්වන්නේ කෙසේ ද? (සෝතානං සංවරං බ්‍රෑහි) මේ සැඩපහර සංවර කර ගන්න ආකාරය කියන්න. (කේන සෝතා පිථීයරේ) කුමකින් ද මේ සැඩ පහර වියළවා දමන්නේ?’ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා “(යානි සෝතානි ලෝකස්මිං – සති තේසං නිවාරණං) ඇස, කන, නාසය, දිව, කය, මනස, කියන ආයතන හයෙන් ගලන්නා වූ යම් සැඩපහරක් ඇද්ද මෙය වළක්වන්නේ සතිපට්ඨානය තුළින් ය. (සෝතානං සංවරං බ්‍රෑමි) මේක සංවර කර ගන්න තියෙන්නෙත් සතිපට්ඨානයෙන් ම යැයි කියමි. (පඤ්ඤායේතේ පිථීයරේ) මෙය වියළවා දමන්නේ ප්‍රඥාවෙනි.”

ඊ ළඟ ප්‍රශ්නය හරි ගැඹුරු එකක්. ඊ ළඟට අහනවා ‘(පඤ්ඤා චේව සතී චේව – නාමරූපඤ්ච මාරිස, ඒතං මේ පුට්ඨෝ පබ්‍රෑහි – කත්ථේතං උපරුජ්ඣති) ඒ ප්‍රඥාවත්, ඒ සතියත්, ඒ නාමරූපත් සියල්ල නැතුව යන්නේ කොහේද?’ එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා “(යමේතං පඤ්හං අපුච්ඡි අජිත තං වදාමි තේ) අජිත, ඔබ යම් ප්‍රශ්නයක් ඇසුවා ද මේකයි උත්තරේ. (යත්ථ නාමඤ්ච රූපඤ්ච අසේසං උපරුජ්ඣති, විඤ්ඤාණස්ස නිරෝධේන – ඒත්ථේතං උපරුජ්ඣති) යම් නාමරූපයක් ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා ද ඒ නිරුද්ධ වෙන්නේ විඤ්ඤාණය නිරුද්ධ වීමෙන්. ඒ කියන්නේ පිරිනිවන් පෑමෙන්. පිරිනිවන් පෑමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙනවා.”

ඊ ළඟට තවත් ගැඹුරු ප්‍රශ්නයක් අහනවා ‘(යේ ච සංඛාතධම්මා සේ – යේ ච සේඛා පුථූ ඉධ, තේසං මේ නිපකෝ ඉරියං – පුට්ඨෝ පබ්‍රෑහි මාරිස) අරහත්වයට පත්වූ යම් රහතන් වහන්සේලා සිටිද්ද (යේච සේඛා පුථූ ඉධ) බොහෝ සෙයින් මේ මාර්ගය වඩන පිරිස සිටිද්ද (තේසං මේ නිපකෝ ඉරියං) ඒ සියලු දෙනා අවස්ථාවෝචිත ප්‍රඥාවෙන් යුක්තව ඉරියව් පවත්වන්නේ කෙසේ ද කියා අපට කියාදෙන්න.’ එතකොට ඒකට උත්තරේ දෙනවා “(කාමේසු නාභිගිජ්ඣ්‍යෙය) රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන කාමයන්ට නොඇලෙන්නේ ය. (මනසා නාවිලෝ සියා) මනස නොකළඹා තබා ගන්නේ ය. (නොකළඹා තියා ගන්නවා කියන්නේ සමාධියෙන් ඉන්නවා) (කුසලෝ සබ්බධම්මානං) සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන් කෙරෙහි කුසලතාවකින් යුක්ත වේ. (සතෝ භික්ඛු පරිබ්බජේති) ඔහු සිහියෙන් වාසය කරන භික්‍ෂුවකි.” එතැනින් ඒ සූත්‍ර දේශනාව ඉවරයි. එතකොට බලන්න, ඒ එකක් එකක් ගානේ පැය ගාණක් කියන්න කරුණු තියෙනවා. දවස් ගාණක් කතා කරන්න කරුණු තියෙනවා.

අපේ පරිවර්තනවල මුල් කාලයේ ඉඳලා ම අපි මේ සූත්‍ර කතාකරලා තියෙනවා. ඒ නිසා අපේ දහම් වැඩසටහන්වලට එන සැදැහැවතුන් මේ සූත්‍රය දන්නවා. මේ වගේ වැදගත් දේශනා සැඟවුණේ ම ධර්මයට ගැරහීම නිසානේ. කොටසක් කියනවා “මේක හරියන්නේ නෑ… බෙහෙත් සීට්ටුව වගේ” කියලා. තවත් පිරිසක් “ඕක හරියන්නේ නෑ… අභිධර්මය ගන්න” කියනවා. තව කොටසක් “නෑ… ඕක හරියන්නේ නෑ… තමන්ගේ අත්දැකීම කතා කරන්න” කියනවා. මෙහෙම කරමින් ධර්මයට ගරහන කොට ධර්මය ඉස්මතු වෙන්නේ නෑනේ. බුද්ධ දේශනාවේ තියෙන්නේ ‘(තථාගතප්පවේදිතෝ භික්ඛවේ ධම්මවිනයෝ විවටෝ විරෝචති) මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම විනය විවෘත වූයේ බබළයි. (නෝ පටිච්ඡන්නෝ) වැසුණු කල්හී නොම බබළන්නේ වේ’ කියලයි. ඉතින් ධර්මය වහලා තිබුණා ම කොහොමද බබළන්නේ?

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post මමත්වය තියෙන්නේ ‘මම’ කියන වචනයේ නෙවෙයි appeared first on MAHAMEGHA.

ආයුෂයේ වේගය

$
0
0

ලෝකයේ වේගයෙන් ම ගමන් කරන්නේ ආයුෂය යි…

බුදුරජාණන් වහන්සේ වදාළා, “මහණෙනි, පුද්ගලයෝ හතර දෙනෙක් හතර පැත්තට හැරිලා ඉන්නවා. මේ පුද්ගලයන් එක විට දිශා හතරට ඊතල හතරක් විදිනවා. ඒ විදිහට විදිනකොට වේගයෙන් දුවන්න පුළුවන් තවත් පුද්ගලයෙක් ඒ හතර ම බිම වැටෙන්න ඉස්සර වෙලා දුවගෙන ගිහිල්ලා අරන් එනවා.” භාග්‍යවතුන් වහන්සේ අහනවා “මහණෙනි, එහෙම වේගයෙන් යන පුද්ගලයාගේ ජවය කොහොමද?” “භාග්‍යවතුන් වහන්ස, එයා නම් හරි වේගවත් ව දුවන්න පුළුවන් මනුස්සයෙක්. ඒක සුපිරි හැකියාවක්… එයා හොඳ වේගයෙන් දුවනවා” කියලා. අපි ගත්තොත් අද වේගයෙන් දුවන මලල ක්‍රීඩකයින්ට එහෙම දුවන්න බෑනේ නේද?

බුදුරජාණන් වහන්සේ වදාළා “මහණෙනි, ඊට වඩා වේගයෙන් මේ සූර්ය, චන්ද්‍ර දෙක ගමන් කරනවා. ඊටත් වඩා වේගයෙන් සූර්යයාට, චන්ද්‍රයාට අධිගෘහිත දෙවිවරු ගමන් කරනවා. මහණෙනි, ඒ සූර්ය, චන්ද්‍රයාට අධිගෘහිත දෙවිවරු යම් වේගයකින් යයි ද ඊටත් වඩා වේගයෙන් උපන්න සත්වයාගේ ආයුෂ ගෙවෙනවා.”

අපි එහෙම හිතන්නේ නෑනේ. අපට එහෙම එකක් පේන්නේ නෑ. අපට පේන්නේ ඔන්න අවුරුද්දක් ඉවර වෙනවා. ඔන්න දැන් උපන්දිනය. ඉතින් කේක් එකක් හදාගෙන කනවා. මේ ඔක්කොම විහිළු. මොකද, අපි උපන්දින පාටි දානවා. ඒ අපි ම කියනවා ඉපදීම දුකයි කියලා. අපි ම ඉපදීම උත්සවාකාරයෙන් සමරනවා. ඒ අපි ම කියනවා දුකයි කියලා. එතකොට හරි විසංවාදයක්නේ. ඒකෙන් අදහස් වෙන්නේ අපි කියන එක කරන්නේ නෑ, කරන එක කියන්නේ නෑ කියන එකනේ. ඒක හරියට වෙනවා නම් තමන්ට ඉපදීමත් එක්ක ප්‍රශ්න තියෙනවා කියලා තේරුම් යන්න එයාට ප්‍රඥාව තියෙන්න එපායැ.

ගුණධර්මවල වේගවත් පරිහානියක්…

හැබැයි, මෙහෙම එකක් තියෙනවා. අපි ඒක හොඳින් තේරුම්ගන්න ඕන. අද මනුස්සයා පිරිහෙනවා කියන්නේ මනුස්සයා පිරිහෙන්නේ ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, සතියෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්නේ. මේවායින් තමයි මිනිස්සු පිරිහෙන්නේ.

නමුත් සාමාන්‍ය ලෝකයා කතා කරන්නේ එහෙම නෙවෙයිනේ. සාමාන්‍ය ලෝකයා කතා කරන්නේ “ඉස්සර වගේ නෙවෙයි, දැන් අපි හරි දියුණුයි… දැන් ගමට විදුලිය තියෙනවා… දැන් හැම ගෙදරකට ම ටෙලිෆෝන් තියෙනවා… දැන් හැම ගෙදරකට ම වාහනයක් තියෙනවා…” කියලනේ. ඉස්සර එහෙම නෙවෙයි. අපි ගත්තොත් මුල් ම කාලයේ අවුරුදු තිහකට තිස්පහකට කලින් ශීතකරණය තිබුණේ ඉස්තෝප්පුවේ. ඉස්සර ගෙදරකට ශීතකරණයක් ගෙනාවොත් ඉස්සරහා දොර අරිනකොට ම පේනවා. ඊ ළඟට කැසට් එකක් ගෙනල්ලා ගමට ම ඇහෙන්න දානවා. දැන් ඒ මොකුත් නෑ. දැන් හැම ගමක ම හැම ගෙදරක ම වගේ ඒ දේවල් තියෙනවා. ඒ නිසා දැන් ඉතින් දියුණුයි කියලා කියනවා. නමුත් දුෂ්ටකම් ඉස්සරට වඩා තියෙනවා. මිථ්‍යා දෘෂ්ටිය ඉස්සරට වඩා තියෙනවා. ඉන්ද්‍රිය සංවර වෙන්න කිසිම හැකියාවක් නෑ.

එහෙම නම් අද ලෝකය ශ්‍රද්ධා, සීල, සති, සමාධි, ප්‍රඥා කියන මේවායෙන් තමයි පිරිහිලා තියෙන්නේ. පිරිහුණු ලෝකයට මේක අල්ලගන්න බෑ. හේතුව අවිද්‍යාව ම යි. අවිද්‍යාව කියන්නේ (දුක්ඛේ අඤ්ඤාණං, දුක්ඛ සමුදයේ අඤ්ඤාණං, දුක්ඛ නිරෝධේ අඤ්ඤාණං, දුක්ඛ නිරෝධගාමිනියාපටිපදාය අඤ්ඤාණං) අවබෝධ කළ යුතු දුකක් තියෙනවා, මේක ආර්ය සත්‍යයක් කියලා දන්නේ නෑ. ප්‍රහාණය කළයුතු තෘෂ්ණාවක් තියෙනවා, මේක දුක්ඛ සමුදය ආර්ය සත්‍යය කියලා දන්නේ නෑ. දුක හටගන්නේ මේකෙන් කියලා දන්නේ නෑ. සාක්ෂාත් කළ යුතු දුක්ඛ නිරෝධයක් තියෙනවා, ඒක සාක්ෂාත් කළ යුතුයි කියලා දන්නේ නෑ. වැඩිය යුතු මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය යි කියලා දන්නේ නෑ. ඒ දන්නේ නැතිකම නිසා තමයි පටලවා ගන්නේ.

ඒ නිසා පැටලි පැටලී යනවා. මොකද, (වේවිච්ඡා පමාදා නප්පකාසති) මසුරු වෙනකොට (ඉස්සා මච්ඡරිය) මසුරුකමත් එක්ක එන්නේ ඉරිසියාව. තව කෙනෙකුට තව කෙනෙක් පහදිනවා නම් ඔන්න ඒකට ඉරිසියයි. ඊ ළඟට යම්කිසි කෙනෙක් දක්‍ෂකමක් ඇතිකරගෙන ඉන්නවා නම් ඒකට ඉරිසියයි. කීයක් හරි හම්බකරගෙන ඉන්නවා නම් ඒකට ඉරිසියයි. අපි ගත්තොත් ලෝක නායකයොත් යුද්ධයෙන් ලෝකය දිනන්න හදන්නේ ඉරිසියාවෙන්නේ. එතකොට අපට පේනවා, ධනයක් තිබුණා කියලා, ඒකත් එක්ක පහසුකම් වැඩිවුණා කියලා ඒකත් එක්ක මිනිසුන්ගේ මානසික දුර්වලකම්වල අඩුවීමක් නෑ. ඒවා බරපතළ විදිහට තියෙනවා. ඊ ළඟ එක තමයි අපට හොඳට පේනවා, අද ලෝකය බලසම්පන්න භයානක විනාශයකට ඇදිලා යනවා. ඒක හරි පැහැදිලියි.

හිතලා බලන්න, ඉන්දියාවේ කෝටි ගාණක් මිනිස්සුන්ට කන්න නෑ. නමුත් පසුගිය දවස්වල ඉන්දියාවේ මිසයිලයක් අත්හදා බැලුවා, ඒක ඩොලර් මිලියන හාරසියය ගාණක්. එතකොට මිසයිලයක් අත්හදා බලන්න ඩොලර් මිලියන හාරසිය පනහක් වියදම් කරලා තියෙනවා. නමුත් එක වේලක් විතරක් කන කෝටි තිහක් ඉන්දියාවේ ඉන්නවා. ඒ මිනිස්සුන්ට කන්න දෙන්න කෙනෙක් නෑ. එතකොට බලන්න මේ ලෝක පරිපාලන රටාව කොච්චර විකෘතියක් ද කියලා?

කරණීයමෙත්ත සූත්‍රය සජ්ඣායනය අනතුරක් ද…?

ඒකෙ මෙහෙම දෙයක් තියෙනවා. භූතයෝ කියන්නේ හරිම තක්කඩි ජාතියක්. හරිම මායාකාරයි, හරිම රැවටිලිකාරයි. සමහර විට හොඳට පන්සිල් අරගෙන කරණීයමෙත්ත සූත්‍රය කියනකොට තමයි යකා වැහෙන්නේ. එතකොට හිතනවා ‘කරණීයමෙත්ත සූත්‍රය කීමෙන් යක්කු වැහෙනවා’ කියලා. නෑ ඒ යක්කු නෙවෙයි. මං හිතන්නේ බාල සත්තු. ඒගොල්ලෝ තමයි වැහෙන්නේ. එතකොට ඒගොල්ලෝ අවස්ථාවක් ගන්නවා, ඒ වගේ එකකින් ඇඟට එන්න. නමුත් බුද්ධ දේශනා බැලුවොත් හරි පැහැදිලියි, කරණීයමෙත්ත සූත්‍රයට දෙවිවරු පහදිනවා ම යි. ඒ චෝදනාව බුද්ධ දේශනාවට කරන අගෞරවයක්… හරිම නින්දාවක්…

අපි සාමාන්‍යයෙන් ගත්තොත් ‘ඩ්‍රැකියුලා’ චිත්‍රපටිවල යන්නේ වෙන ආගමක මතයක්නේ. ඒ කියන්නේ ඒ ආගමේ සංකේතය මනුස්සයාගේ ඇඟට ගහපු ගමන් දිෂ්ටිය යනවා කියලනේ. එහෙම යන්නේ නෑ. සාමාන්‍යයෙන් දිෂ්ටියක් වැහුණ කෙනෙකුගේ ඇඟට ආගමේ සංකේතයක් තියපු ගමන් යනවා නම් ඉතින් ඒක අද්භූත සංකේතයක්නේ. නමුත් ඒකත් එක්ක චිත්‍රපටි කොච්චර ගැහුව ද? ඒක විවේචනය කරන්න කවුරුවත් නෑ… ඒක වාසියට පාවිච්චි කරනවා. නමුත් කරණීයමෙත්ත සූත්‍රය කියන එකත් හොඳ නෑ කියලා භය කරන්න ඕන තරම් ඉන්නවා. ඒකට ගරහන්න ඕන තරම් ඉන්නවා. “ඕක කියන්න එපා…” කියන නිසා ගෙවල්වල පිරිත් කියන්න භයේ ඉන්න මිනිස්සු ඉන්නවා. සමහරු ගෙවල්වල රතන සූත්‍රය කියන්නත් භයයි, යක්කු ඇවිස්සෙයි කියලා. කරණීයමෙත්ත සූත්‍රය කියන්න භයයි, අමනුස්සයෝ ඇවිස්සෙයි කියලා.

මේ ඔක්කොම හෙණයන් ගහලා තියෙන්නේ බෞද්ධයන්ට ම යි. මොකද, ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා පිළිගන්න කෙනෙක් නෑ. ශ්‍රද්ධාවෙන් පිළිගත්තා නම් ඕක වෙන්නේ නෑනේ. ඊ ළඟට හොඳ ම උදාහරණය තමයි ඛන්ධ පිරිත. ඛන්ධ පිරිතේ තියෙන්නේ සර්පරාජ කුල ඇතුළු සත්වයන්ට මෙත් සිත පැතිරවීමනේ. ඛන්ධ පිරිත කියවනවා නම් සත්තු සර්පයින්ගෙන් හානියක් වෙන්නේ නෑ කියලා තියෙනවා. ඒ සූත්‍රය කියවපු දවසේ ම මම ඒක පාඩම් කර ගත්තා. අපි ඉතින් අනන්තවත් මහා කැලෑවල ගිහින් ඉඳලා තියෙනවා. නමුත් සත්තු සර්පයන්ගෙන් හානියක් වෙලා නෑ. ඒකට හේතුව ඛන්ධ පිරිත කෙරෙහි තියෙන විශ්වාසය. ඒ කියන්නේ ඛන්ධ පිරිත සත්‍යයක්. කරණීයමෙත්ත සූත්‍රයත් එහෙමයි.

මේ දේවල් සිදුවෙන්නේ කර්මානුරූපීවයි…

සමහර අය ඉන්නවා, සොහොනේ ගිහින් නිදියගත්තත් මොකුත් වෙන්නේ නෑ. සමහරු ඉන්නවා, සොහොන අරහේ පෙනෙද්දි මෙහේ යකා වැහෙනවා. ඒකට හේතුව මේවා සිද්ධවෙන්නේ කර්මානුරූපව වීමයි. බොහෝ අය සිටින්නේ කර්මයයි, ධර්මයයි පටලවාගෙන. හරි අවාසනාවක් නේ ද? ඒකයි අද වෙලා තියෙන්නේ. එතකොට කර්මයේ දෝෂයට ධර්මය පළි ද? ඔන්න සමහර කෙනෙකුට භාවනා කරන්න ගියාම පිස්සු හැදෙනවා කියමු. ඒක කර්මානුරූපව වෙනවා මිසක් භාවනාවේ වැරැද්දක් නෙවෙයි. ඒකට භාවනාවට බැණලා හරියනවා ද? ඒක සිද්ධ වුණේ කර්මයෙන්. අපි කර්මයයි, ධර්මයයි පටලවාගෙන හරියන්නේ නෑනේ.

මේ සියලු දේවලට උපදේශක තමයි බුද්ධ දේශනාව. බුද්ධ දේශනා ඉස්මතු කරන්න බැරි නම් ඒ උපදේශක අනතුරක් ම යි. අපට ගුරුවරයෙක් හැටියට වුවමනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පහදවන ගුරුවරයෙක්. ධර්මය කෙරෙහි හිත පහදවන ගුරුවරයෙක්. ශ්‍රාවක සංඝයා කෙරෙහි හිත පහදවන ගුරුවරයෙක්. එහෙම නැතුව කවුරු හරි කෙනෙක් කියනවා නම් “නෑ… නෑ… මගේ ළඟට එන්න… මං ඔයාව සමාධියට දාලා දෙන්නම්… මගේ ළඟට එන්න, මම ඔයාට මාර්ග ඵල උපද්දවන්නම්…” කියලා මම නම් ඒ ගුරුවරයා ළඟින්වත් යන්නේ නෑ. මං භයයි. මොකද, ඒ වගේ අවස්ථාවලට ගිහිල්ලා මං ඕන තරම් අමාරුවේ වැටිලා තියෙනවා. ඒ ගැන මට ඕන තරම් අත්දැකීම් තියෙනවා.

– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post ආයුෂයේ වේගය appeared first on MAHAMEGHA.

නිවනට මග සදන උත්තම සරණාගමනය

$
0
0
බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මුල්ම කාලයේ පළමු රහතන් වහන්සේලා හැටනමට දේශනා කළානේ, ධර්මය ප්‍රචාරය කරන්න කියලා. එතකොට ඒ රහතන් වහන්සේලා ගම් නියම්ගම් පුරා ධර්මය ප්‍රචාරය කළා. එතකොට ඒ ධර්මය අහපු පිරිසට පැවිදිවීමේ අවශ්‍යතාවයක් ආවා. අපි කියමු, ඔන්න මෙහේ ඉඳලා දුර පළාතකට ධර්මය දේශනා කරන්න වඩිනවා. ඒ දුර පළාතක කෙනෙකුට පැවිදි වීමේ අවශ්‍යතාවයක් ආවා. ඒ වෙනකොට තිබුණේ ‘ඒහිභික්‍ෂු’ පැවිද්දනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේනේ මහණ කළේ. එතකොට ඒ රහතන් වහන්සේලා පැවිදි වීමේ අවශ්‍යතාව තිබුණු කෙනාව බුදුරජාණන් වහන්සේ ළඟට එක්කගෙන එනවා. රහතන් වහන්සේත් පිරිසත් එක්ක ආපහු හැරිලා වඩිනවා. ‘භාග්‍යවතුන් වහන්ස, මෙන්න මේ පිරිස මහණ වෙන්න අවස්ථාව ඉල්ලනවා’ කියලා කියා සිටිනවා.

 

ඒ නිසා බුදුරජාණන් වහන්සේ “මහණෙනි, ඔබ ඒ ඒ ප්‍රදේශවල ම පිරිස පැවිදි කරන්න. ඒ ප්‍රදේශවල ම පිරිස උපසම්පදා කරන්න” කියලා දේශනා කළා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා ඇහුවා “ස්වාමීනී, අපි කොහොමද පැවිදි කරන්නේ? අපි කොහොමද උපසම්පදා කරන්නේ?” කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා “මෙහෙමයි මහණෙනි, ඒක කරන්න තියෙන්නේ. ඒගොල්ලන්ගේ කෙස් බාලා, උක්කුටියෙන් ඉඳගෙන, වැඳගෙන, නමස්කාරය කියන්න කියලා ඊළඟට ‘බුද්ධං සරණං ගච්ඡාමි… ධම්මං සරණං ගච්ඡාමි… සංඝං සරණං ගච්ඡාමි… දුතියම්පි, තතියම්පි කියලා තුන්වැනි වතාවටත් තෙරුවන් සරණ යවන්න. ඒක තමයි පැවිද්ද” කියලා. එතැන සිල්පද ගැන කතාවක් මොකුත් තිබුණේ නැහැ. එහෙම නම් මුලින්ම පැවිදි වෙන්න තිබුණේ තෙරුවන් සරණ යෑම විතරයි. ඒ වගේම උපසම්පදාවටත් එච්චරයි.

 

ඒ කාලයේ පැවිදි වෙලා තෙරුවන් සරණ ගියපු ගමන් පැවිද්ද පිහිටනවා. තෙරුවන් සරණ ගියපු ගමන් උපසම්පදාව. එතකොට බලන්න, තිසරණය කියන්නේ කොයිතරම් බලවත් එකක්ද කියලා. ඒකට කියන්නේ ‘සරණාගමන උපසම්පදා’ කියලා. ඉස්සර වෙලාම තිබුණේ ඒහිභික්‍ෂු උපසම්පදාව. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ “පින්වත් භික්‍ෂුව, මෙහේ එන්න. මේ ධර්මය මනාකොට දේශනා කරන ලද්දක්. ඒ නිසා මේ ධර්මයේ හැසිර ඔබ දුක් අවසන් කරන්න” කියලා කියනවා. එතකොට ඉර්ධියෙන් කෙස් රැවුල් බෑවිලා, සිවුරු පෙරවිලා භික්ෂුවක් බවට පත්වෙනවා. ඒක තමයි උපසම්පදාව. ඒකට කියනවා ඒහිභික්‍ෂු උපසම්පදාව කියලා. ‘ඒහි’ කියන්නේ එන්න. ‘ඒහිභික්ඛු’ කියන්නේ එන්න භික්‍ෂුව. ඒ තමයි උපසම්පදාවේ නම. දෙවැනි එක තමයි සරණාගමන උපසම්පදාව. ඒ කියන්නේ ‘බුද්ධං සරණං ගච්ඡාමි… ධම්මං සරණං ගච්ඡාමි… සංඝං සරණං ගච්ඡාමි…’ කියලා ප්‍රථම, දෙවැනි, තුන්වැනි වතාවට තිසරණයේ සමාදන් වුණාම එයාගේ මහණකම පිහිටනවා. උපසම්පදාවත් පිහිටනවා. ඒ විදිහේ එකක් තමයි තිබුණේ. කාලයාගේ ඇවෑමෙන් බුදුරජාණන් වහන්සේ ‘ඤත්තිචතුත්ථකම්ම උපසම්පදා’ කියලා උපසම්පදාවක් අනුදැන වදාළා. ඒක සංඝයා විසින් සම්මත කරන එකක්. ඒ කියන්නේ සංඝයා විසින් වාක්‍ය ප්‍රකාශයකින් සම්මත කරනවා. ඤත්තිය කියලා කියන්නේ සංඝයා විසින් ප්‍රකාශය පණවනවා. පණවලා උපසම්පදා කරනවා. දැන් තියෙන්නේ ඒක තමයි. එතකොට බලන්න, තිසරණය තමයි මුල්ම කාලයේ උපසම්පදාවත්. පැවිද්දත්.

 

උපාසකයෙක් වෙන්නේ කොහොමද…?

 

දවසක් මහානාම ශාක්‍යයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා,
“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, උපාසක කෙනෙක් වෙන්නේ කොහොමද?” කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා, “මහානාම, යමෙක් බුදුරජාණන් වහන්සේ සරණ යයිද, ධර්මය සරණ යයිද, ශ්‍රාවක සංඝයා සරණ යයිද ඔහු උපාසකයෙකි.” එහෙම නම් අපි උපාසක කියලා කියන්නේ තෙරුවන් සරණ ගිය ගිහි ශ්‍රාවකයාට. උපාසිකා කියන්නේ තෙරුවන් සරණ ගිය ගිහි ශ්‍රාවිකාවට. සිව්වනක් පිරිස කියන්නේ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා. එක ශාසනයයි තියෙන්නේ. ඒ බුද්ධ ශාසනයයි. පස්සේ කාලයේ තමයි භික්‍ෂු ශාසනය, භික්‍ෂුණී ශාසනය කියා තේරුමක් නැති හිස්වචන ව්‍යවහාරයට ආවේ. නමුත් තියෙන්නේ එක ශාසනයයි. ඒ තමයි බුද්ධ ශාසනය.

 

ඒ බුද්ධ ශාසනය තුළ උභතෝ සංඝයා ඉන්නවා. උභතෝ සංඝයා කියන්නේ සංඝයා කොටස් දෙකකින් යුක්තයි. ඒ තමයි භික්ඛු සංඝ, භික්‍ෂුණී සංඝ. එතකොට භික්ෂු ශාසනයක් කියලා එකක් නෑ. ඒක බොරු කතාවක්. භික්‍ෂුණී ශාසනය කියලා එකකුත් නෑ. ඒකත් බොරු කතාවක්. බුද්ධ ශාසනයක් විතරයි තියෙන්නේ. එතකොට බුද්ධ ශාසනය තියෙනවා. ඒ තුළ උභතෝ සංඝයා ඉන්නවා. උභතෝ සංඝයා කියන්නේ භික්ෂු සංඝයා, භික්‍ෂුණී සංඝයා. එහෙමයි තියෙන්නේ. එහෙම නැතුව භික්‍ෂු ශාසනය, භික්‍ෂුණී ශාසනය කියලා කියන්නේ ශාසනික ව්‍යවහාරය දන්නේ නැති අය කියන කතාවක්. එතකොට මේ සිව්වණක් පිරිස තුළ භික්‍ෂු, භික්‍ෂුණී කියන උභතෝ සංඝයා ඉන්නවා. ඊළඟට උපාසක, උපාසිකා පිරිස ඉන්නවා. එතකොට උපාසක හෝ උපාසිකා බවට පත්වෙන්නේ තෙරුවන් සරණ යෑමෙන්. වර්තමානයේ ගොඩාක් විට තෙරුවන් සරණ යෑම තමයි කිලුටු වෙන්නේ. ඒ මොකද, අපි බුදුන් වඳින එකටත් සාමාන්‍ය ව්‍යවහාරය තුළ කියන්නේ පන්සිල් ගන්නවා කියලානේ. එතකොට අපි ඉස්කෝලේ යනකොටත් පන්සිල් ගන්නවා. වැඩක් කරන කොටත් පන්සිල් ගන්නවා. ‘බුද්ධං සරණං ගච්ඡාමි…’ කියලා අපිත් කියනවා. එහෙම කාලයක් තිස්සේ කිව්වත් අපි දන්නේ නෑ, මේ සරණ පිහිටන්නේ කොහොමද? සරණ කිලිටි වන්නේ කොහොමද? සරණ බිඳෙන්නේ කොහොමද? කියලා. ඒ මොකුත් කල්පනා කරලා නැති නිසා සරණ ගැන දැනුමක් නෑ.

 

ශ්‍රාවකත්වයට පැමිණෙන පිළිවෙළ…

 

ඉතින් මහානාම ශාක්‍යයා භාග්‍යවතුන් වහන්සේගෙන් ඇහුවේ ශ්‍රාවකයෙක් වෙන්නේ කොහොමද? කියලයි. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා “බුදුරජාණන් වහන්සේ, ධර්මය, සංඝයා සරණ ගියාම එයා ශ්‍රාවක.” ඊට පස්සේ අහනවා “භාග්‍යවතුන් වහන්ස, සීලවන්ත ශ්‍රාවකයෙක් වෙන්නේ කොහොමද?” “සීලවන්ත ශ්‍රාවකයෙක් වෙන්නේ එයා ප්‍රාණඝාතයෙන් වෙන්වී වාසය කරනවා. සොරකමින් වෙන්වී වාසය කරනවා. වැරදි කාමසේවනයෙන් වෙන්වී වාසය කරනවා. බොරු කීමෙන් වෙන්වී වාසය කරනවා. මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන්වී වාසය කරනවා.” එතකොට මේ තමයි සීලවන්ත ශ්‍රාවකයා. සීලවන්ත ශ්‍රාවකයා තුළ තියෙන්න ඕන තිසරණය. තෙරුවන් සරණ සහිත වූ සීලය තමයි මහත්ඵල මහානිශංස. ඉස්සර වෙලා තිසරණය පිහිටන්න ඕන. එතකොට තමයි ශ්‍රාවකයා වෙන්නේ. තෙරුවන් සරණේ පිහිටන්නේ නැතුව පන්සිල් රැක්ක පමණින් ශ්‍රාවකයෙක් වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා කියන්නේ උන්වහන්සේගේ අවබෝධය පිළිසරණ කරගැනීමනේ.

 

අපි බුදුරජාණන් වහන්සේ කියලා පුද්ගලයෙක් සරණ යනවා. ඒ කියන්නේ අපට පුද්ගල සරණක් තියෙනවා. මෑත කාලයේ මතයක් ගියා ‘බුද්ධං සරණං ගච්ඡාමි’ කියන්නේ තමන්ගේ බුද්ධිය සරණ යෑමයි කියලා. තමන්ගේ බුද්ධිය සරණ ගිහිල්ලා තමයි අපි මෙතෙක් කල් සංසාරයේ ආවේ. එහෙම නැතුව නිවනට යොමුවෙලා ආපු ගමනක් නෙවෙයිනේ අපට තියෙන්නේ. අපි ගත්තොත්, මෙතෙක් කල් දැනුම විසින් අපට කරලා තියෙන්නේ සසර දික්කරන්ට වුවමනා කරන විදිහේ පසුබිමක් හදලා දෙන එක විතරමයි. ඒ කියන්නේ මේ යන ගමන දීර්ඝ වී යනවා මිසක් කෙටි කරගන්න ක්‍රමයක් නෑ.
අපි බුදුරජාණන් වහන්සේ නමැති කෙනෙක් සරණ යනවා. ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම දේශනා කරපු ධර්මය සරණ යනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ යනවා. මේක තමයි තිසරණය කියලා කියන්නේ.

 

සරණ යෑම කිලිටි වන අවස්ථා…

 

තිසරණය සරණ යන්න නම් ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇතිවෙන්න ඕන. ඒ විදිහට පැහැදීමක් නැති නිසානේ මිනිස්සු බොහෝ දෙනෙක් මෛත්‍රී බුදුන් පැතුවේ. ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් තිබුණා නම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පතන්නේ නෑ. තමන් බුදුවෙන්න පතන්නෙත් නෑ. මහායානය කියෙන්නේ අමු බොරුවක්. ඒක බිහිවුණෙත්, තමන් බුදුවෙන්න ප්‍රාර්ථනා කළෙත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම නැති නිසයි. පැහැදීම තිබුණා නම් සරණ යනවා. ඒ විදිහට සරණ යන්න එයාගේ සිතේ චිත්තප්‍රසාදයක් ඇතිවෙන්න ඕන. ‘මේ තමයි මගේ ශාස්තෘන් වහන්සේ…’ කියලා බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන පැහැදීමක් ඇතිවෙන්න ඕන. එතකොට අපි යම් කිසි කෙනෙකුගේ මාර්ගෝපදේශයක් අනුගමනය කරනවා නම් ඒ මාර්ගෝපදේශය ලබාදෙන කෙනාට අපි ‘ශාස්තෘ’ කියලා කියනවා.

 

එහෙම නම් අපි බුදුරජාණන් වහන්සේගේ මාර්ගෝපදේශය පිළිගන්නවා නම් අපේ ශාස්තෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. අපේ ශාස්තෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙන්නේ ඒ මාර්ගෝපදේශය පිළිගන්න නිසා. ඒ මාර්ගෝපදේශය පිළිගත්ත ගමන් අපි ශ්‍රාවකයා. ශ්‍රාවකයා වුණාට පස්සේ අපේ කල්පනාව හසුරවා ගන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුවයි. ඊට පස්සේ අපි අතින් දාලා කතා කරලා ඵලක් නෑ. ඒ වගේම තමන් බුදුවීමට ප්‍රාර්ථනා කරලා ඵලක් නෑ. අපි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් ඇතිකර ගත්තොත්, ඒ කියන්නේ මේ බුද්ධ ශාසනය විශ්වාස නෑ කියන එකනේ. එතකොට සරණ යෑම කිලිටි වෙනවා. සරණ යෑමක් නෑනේ. එහෙම නම් අපි ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ ගෞතම බුද්ධ ශාසනයේ පිළිසරණ පතාගෙන.

 

අපි ඒ විදිහට අවංකවම සරණ යනවා නම් අපේ ජීවිතය තුළ ඒකට වුවමනා කරන කාරණා දියුණු වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ අවංකවම සරණ යෑම මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හරි ධර්මය අවබෝධ කරගන්න උපකාරී වෙයි. එහෙම නැතුව මේ ජීවිතයේදී සරණ අත්හැරලා නොපෙනෙන ලෝකයක සරණක් ලැබෙයි කියලා හිතන්න බෑ. මෛත්‍රී බුද්ධ ශාසනය පහළ වෙන්නේ මිනිස් ආයුෂ අවුරුදු අසූදාහක් වුණ කාලයටයි. එහෙම නම් දැන් අපට තියෙන එකම පිළිසරණ ගෞතම බුදුරජාණන් වහන්සේ පමණයි. උන්වහන්සේගේ ධර්මය පමණයි. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා පමණයි. එතකොට අපි නිහතමානී ශ්‍රාවකයෙක් වුණොත් එතකොට අපි අපේ දැනුම හසුරුවන්න ශාස්තෘවරයෙක් තෝරා ගන්නවා. ඒ ශාස්තෘවරයා තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි දෙවියන්ගේත්, මිනිසුන්ගේත් ශාස්තෘන් වහන්සේ. ඒකනේ බුදුරජාණන් වහන්සේට ‘සත්ථා දේවමනුස්සානං’ කියලා කියන්නේ. එතකොට අපි ඒ ශාස්තෘන් වහන්සේ අත්හැරලා කටයුතු කළොත් එතැන ශ්‍රාවකත්වයක් පිහිටන්නේ නෑ.

– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post නිවනට මග සදන උත්තම සරණාගමනය appeared first on MAHAMEGHA.

ධර්මය අධර්මය තෝරාගන්නා හැටි

$
0
0

සැක කළ යුතු තැනක්…

සමහර අවස්ථාවල සමහර අය වැරදි විග්‍රහ ඇතිකර ගන්නවා. බොහෝ දෙනෙක් කාලාම සූත්‍රය වගේ දේශනා වැරදි විදිහට පටලවා ගන්නවා. කේසපුත්ත කියන නියම්ගමේ හිටියනේ කාලාම කියලා පිරිසක්. ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, නානාප්‍රකාර ආගමික මතිමතාන්තර දරණ අය මේ ගමට එනවා. ඇවිල්ලා ‘මම කියන එක තමයි හරි… අරයා කියපු එක වැරදියි…’ කියනවා. ඒ කාණ්ඩය යනවා. තව කාණ්ඩයක් එනවා. ඒගොල්ලොත් ‘අපි කියන එක තමයි හරි… අර ගියපු කට්ටිය කියපුවා වැරදියි…’ කියලා කියනවා. ස්වාමීනී, අපි මේ දේවල් තෝරාගන්නේ කොහොමද? අපට මේ පිළිබඳ කවුද ඇත්ත කියන්නේ? කවුද බොරු කියන්නේ? කියලා සාධාරණ සැකයක් ඇවිල්ලා තියෙනවා.”

එතකොට බුදුරජාණන් වහන්සේ ඒ සැකය අගය කළා. බුදුරජාණන් වහන්සේ වදාළා, “කාලාමයෙනි, සැක කළ යුතු තැන ම යි ඔහේලා සැක කළේ. ඔය සැක කළ යුතු තැනක් ම යි. ඔතැන විචිකිච්ඡා කළ යුතු ම යි.” අන්න ඒ කාරණය වර්තමානයේ අපටත් ප්‍රයෝජනයි.

බාහිර ඔපයෙන් දේශනාවේ සාර්ථකත්වය මනින්න බෑ…

යම්කිසි කෙනෙකුගේ රූපයට ආශා කරගෙන, ඒ රූපය ලස්සන නිසා ධර්මය අහන්න යනවා කියනවා නම් ඒක මනුෂ්‍යයෙකුගේ මෝඩකමක්. මොකද, රූපය කියන්නේ ධර්මය තේරුම් ගන්න මිම්මක් නෙවෙයිනේ. ඊ ළඟට හඬකට ආස කරගෙන යනවා කියන්නෙත් මෝඩකමක්. මම ඒක බුද්ධිමත් කියලා කියන්නේ නෑ. ඒක බුද්ධිමත් කියලා කිව යුතු නෑනේ. නමුත් ගොඩක් දුරට යන්නේ ඒකෙන් නෙවෙයි. අද ගොඩක් යන්නේ මාධ්‍ය හරහා. මාධ්‍යයකින් යම්කිසි කෙනෙක් ව නිතර නිතර පේනවා නම් ඊට පස්සේ හඳුන්වන්නේත් ‘මේ රූපවාහිනී ධර්ම දේශක… ගුවන් විදුලි ධර්ම දේශක… කාලීන ධර්ම දේශක…’ කියලනේ. ඒකට යනවා නම් ඒත් මෝඩකමක්. දැන් වෙලා තියෙන්නේ මේකයි. එහෙම නම් මනුෂ්‍යයෙකුට ‘මේක ධර්මයයි… මේක අධර්මයයි…’ කියලා තෝරගන්න විශේෂ ඉවක් තියෙන්න ඕන. ඒ විශේෂ ඉව එයාට නැත්නම් ඒ කෙනා අමාරුවේ වැටෙන්න පුළුවන්. එතකොට ජනප්‍රිය, නිතර නිතර මාධ්‍යවලින් පේන කෙනා කියන ඕන බොරුවක් වැළඳ ගන්නවානේ.

ඒ නිසා ධර්මය කියන හැම දෙනාම ධර්මය ම ඉස්මතු කරන්න ඕන. ඒකයි මම තේරෙන භාෂාවෙන් මේක පරිවර්තනය කළේ. ධර්මය ඉස්මතු කරන්න කෙනෙක් නැත්නම් ඔක්කෝම පාළියෙන් තියන්න කිය කියා කෑගහන්නේ හංගන්න නේ ද? මම කියන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ දේශනා තේරෙන භාෂාවෙන් කතා කරන්න ඕන. ඒ විදිහට තේරෙන භාෂාවෙන් බුද්ධ දේශනා ‘දීඝ නිකායේ මේවා තියෙන්නේ, මජ්ඣිම නිකායේ මේවා තියෙන්නේ, අංගුත්තර නිකායේ මේවා තියෙන්නේ, සංයුත්ත නිකායේ මේවා තියෙන්නේ…’ කියලා එළිදැක්වුවාට පස්සේ මිනිස්සු ‘ආ… මේ තමයි බුදුන් වදාළ ධර්මය’ කියලා තෝරාගන්නවා. අපි කියමු හඬ ලස්සන කෙනෙක් ඉන්නවා කියලා. ඔන්න එයා බණකට යනවා. හැබැයි ගිහිල්ලා කියන්නේ ධර්මයක් නෙවෙයි. එතකොට අර හඬට ආසා කරපු කෙනාට වැඳගෙන අහගෙන ඉන්න තියෙන්නේ ධර්මයක් නොවන එකක්නේ. එක්කෝ විවේචනයක්. එක්කෝ කාට හරි බණිනවා කියමු. ඵලක් නෑ. එහෙම වුණොත් රූපය ලස්සන එක්කෙනා ගියත් කියන්නේ ධර්මයක් නොවෙයි. හඬ ලස්සන එක්කෙනත් කියන්නේ ධර්මයක් නොවෙයි.

සරණ ලැබෙන්න නම් බුදුරජාණන් වහන්සේ ව හඳුන්වා දෙන්න ඕන…

අපි කියමු, ඔන්න කෙනෙක් ජනප්‍රියයි. එක්කෝ ජනප්‍රිය රූපවාහිනී ධර්ම දේශක. එහෙම නැත්නම් ගුවන් විදුලි ධර්ම දේශක. නැත්නම් මහාචාර්ය. භික්‍ෂුවක් වුණාට පස්සේ ඒවා භික්‍ෂු ජීවිතයට සම්බන්ධ ඒවා නෙවෙයිනේ. අපි ගත්තොත්, ටයිටල්ස් එකක්වත් පැවිදි ජීවිතයට ඍජුව සම්බන්ධ නෑනේ. ඒ ඔක්කෝම තමන්ගේ පිළිගැනීම තහවුරු කර ගන්නට ඉදිරිපත් කරන දේවල්නේ. සමාජය තුළ තමන් ව පිළිගැනීමට ලක්කර ගන්න තමයි තමන්ගේ ටයිටල්ස් ඉස්සරහට දාන්නේ. ඊට අමතරව ඒවායේ මොකුත් වෙන අර්ථයක් නෑනේ. එතකොට මෙහෙම ගිහිල්ලා එයා කියන්නේ අධර්මයක් නම් ඉතින් ඒ අධර්මය තමයි මිනිස්සුන්ට ගන්න තියෙන්නේ. එතකොට ඒක අධර්මයක් කියලා තෝරගන්න එයා ධර්මය අහලා නැත්නම් සරණ පිහිටන්නේ නෑනේ.

සරණ ලැබෙන්නේ කොහොමද? සරණ ලැබෙන්න නම් බුදුරජාණන් වහන්සේ ව ගුණ වශයෙන් හඳුන්වා දෙන්න ඕන. ‘බුදුරජාණන් වහන්සේ මේ මේ කාරණා නිසා අරහං වෙන සේක… සම්මා සම්බුද්ධ වන සේක… විජ්ජාචරණ සම්පන්න වන සේක… සුගත වන සේක. ලෝකවිදූ වන සේක… අනුත්තරෝ පුරිසදම්මසාරථී වන සේක… සත්ථා දේවමනුස්සානං වන සේක… බුද්ධ වන සේක… භගවා වන සේක…’ කියලා ගුණ පහදලා දෙන්න ඕන. එහෙම නැතුව ‘පන්සල් නැති කරන්න අසපු දැම්මා… ඕකට යන්න එපා..’ කිය කියා බැණ බැණ හිටියොත් එයාට අහන්න ධර්මයක් නෑනේ. අපට වුවමනා කරන්නේ පුද්ගලයෙක් නෙවෙයි. අපට වුවමනා කරන්නේ ධර්මයක්.

බොහෝ අය පටලවා ගත් තැනක්…

බුද්ධ දේශනාවේ තියෙන්නේ මෙහෙමයි. “(ගිහීනමුපකරොන්තානං නිච්චමාමිස දානතෝ) මහණෙනි, නිතර චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන සිව්පසයෙන් උපස්ථාන කරන ගිහියන්ට (කරෝථ ධම්මදානේන තේසං පච්චූපකාරකං) ප්‍රති උපකාරයක් හැටියට ධර්ම දානය කරන්න” කියනවා. එතකොට ධර්මය කියලා අදහස් කළේ මනාකොට දේශනා කළ මුල මැද අග පිරිසිදු ධර්මයයි. වෙන ධර්මයක් නෑනේ. කාලාම සූත්‍රය කතාවේදී කාලාම වැසියෝ අවශ්‍ය තැන සැක ඉපැද්දුවානේ. ඒකෙදී බුදුරජාණන් වහන්සේ වදාළේ,

“කාලාමයෙනි, පරම්පරාවෙන් ආවා කියලා ගන්න එපා. අනුශ්‍රවණයෙන් ආවා කියලා ගන්න එපා. අපේ පොත්වල තියෙනවා කියලා ගන්න එපා. මේ ගරු කටයුතු කෙනෙක් කියපු එකක් කියලා ගන්න එපා. මේ අපගේ ගුරුවරයානේ කියලා ගන්න එපා. තමන්ගේ දෘෂ්ටියට මතවාදයට ගැළපෙනවා කියලා ගන්න එපා.” මේ වගේ විස්තරයක් ආවා. ඉතින් මේක පටලවා ගත් සමහරු “බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළත් ගන්න එපා කියලයි” කියලා පටලවා ගත්තා. නමුත් එහෙම නොවෙයි තියෙන්නේ.

ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අසා සිටිනවා,

“කාලාමයෙනි, ලෝභය කියන්නේ කුසලයක් ද අකුසලයක් ද?”

“ස්වාමීනී අකුසලයක්.”

“ද්වේෂය කියන්නේ කුසලයක් ද අකුසලයක් ද?”

“ස්වාමීනී, අකුසලයක්.”

“මෝහය කියන්නේ කුසලයක් ද අකුසලයක් ද?”

“ස්වාමීනී, අකුසලයක්.”

“එහෙම නම් යමක් අහලා ලෝභය ඇවිස්සෙනවා නම් ඒක ධර්මය ද අධර්මය ද?”

“ඒක අධර්මයයි.”

ඒ වගේ ම යමක් අහලා ද්වේෂය ඇවිස්සෙනවා නම්, යමක් අහලා මෝහය ඇවිස්සෙනවා නම් ඒක අධර්මයයි.

“ඒ වගේ ම අලෝභ, අද්වේෂ, අමෝහ අකුසල් ද කුසල් ද?”

“ස්වාමීනී, කුසල්.”

අන්න ඒ විදිහට යමක් ශ්‍රවණය කිරීම තුළින් කුසල් වැඩෙන දෙයක් පිළිබඳව අහන්න ලැබුණොත් ඒක ධර්මයයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මනින මිම්ම ඕක තමයි. එහෙම නම් යමක් අහලා ඒ ඇසීම තුළ උපන් ලෝභය දුරුවෙනවා ද ද්වේෂය දුරුවෙනවා ද මෝහය දුරුවෙනවා ද ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. යමක් අහලා නැති ප්‍රශ්න, අර්බුද හටගන්නවා ද නැති ද්වේෂයක් එනවා ද නැති මුළාවක් එනවා ද නැති ලෝභයක් එනවා ද ඒක අධර්මයයි. බුදුරජාණන් වහන්සේ ධර්මය – අධර්මය තෝරාගන්න මිම්ම දීලා තියෙන්නේ එහෙමයි. ඒ මිම්ම හඳුනාගත්තාට පස්සේ අපට මේ එක ප්‍රශ්නයක්වත් හටගන්නේ නෑනේ.

මනුෂ්‍යත්වයට සැබෑම කාරුණික නම්…

සම්මාදිට්ඨි සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්මා දිට්ඨිය පිළිබඳව විස්තර කරන්නේ ‘(අකුසලඤ්ච පජානාති, අකුසලමූලඤ්ච පජානාති, කුසලඤ්ච පජානාති, කුසලමූලඤ්ච පජානාති) යම්කිසි කෙනෙක් අකුසලය දන්නවා නම්, අකුසලය හටගන්න මුල්වෙන දේ දන්නවා නම්, කුසලයත් දන්නවා නම්, කුසල් හටගන්න මුල්වෙන දෙයත් දන්නවා නම් එය සම්මා දිට්ඨිය කියලයි. එතකොට අපට මනුස්සයන් කෙරෙහි කරුණාව තියෙනවා නම් අපි කියාදෙන්න ඕන ඔය දේවල්නේ. බුදුරජාණන් වහන්සේනේ අපට කුසල්, අකුසල් පිළිබඳව විග්‍රහ කළේ. ඒක උන්වහන්සේගේ අවබෝධයනේ.

එතකොට අපි ඒ අවබෝධය විස්තර කරලා ‘මෙන්න ශාස්තෘන් වහන්සේ සරණ යන්න’ කියලා කිව්වොත් අපට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පතන්න ඕනත් නෑ. ඒ වගේ ම තමන්ගේ බුද්ධත්වයක් පටලවා ගන්න ඕනත් නෑ. මොකද අපට ශාස්තෘන් වහන්සේනමක් ඉන්නවානේ. එතකොට ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙහෙමයි මෙහෙමයි කියලා කිව්වාම ශ්‍රාවකයෙකුට උන්වහන්සේ ව සරණ යන්න උගන්වන්න පුළුවන්. ඒ වගේ ම අපට උන්වහන්සේ වදාළ ධර්මයක් තියෙනවානේ. අපට ඒ ධර්මයත් සරණ යන්න පුළුවන්.

– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post ධර්මය අධර්මය තෝරාගන්නා හැටි appeared first on MAHAMEGHA.


මේ ශ්‍රේෂ්ඨ වූ ධර්මය යි, මේ ධර්මය සරණ යන්න…

$
0
0

මහාපරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ චාපාල චෛත්‍ය ස්ථානය ළඟ දී ආයු සංස්කාර අත්හැරපු ආකාරය ගැන. උන්වහන්සේට ආයු සංස්කාරය කියන සංස්කාරය ඉර්ධිපාද බලයෙන් වර්ධනය කිරීමේ කුසලතාවයක් තිබුණා. නමුත් උන්වහන්සේ එදින ඉර්ධිපාද බලයෙන් ආයුෂ වර්ධනය කිරීමේ කුසලතාවය අත්හැරියා. අත්හැරලා ආයු සංස්කාරය මාස තුනකට සීමා කළා. ඊට පස්සේ භික්‍ෂු සංඝයා රැස්කරලා දේශනා කළා, “මහණෙනි, මා විසින් විශිෂ්ට ඤාණයෙන් දැන, අවබෝධයෙන් ම දේශනා කරපු ධර්මය ඔබ හොඳට දරාගන්න. පාඩම් කර ගන්න. ප්‍රගුණ කරන්න. ධර්මයේ හැසිරෙන්න. මහණෙනි, මා විසින් මෙතෙක් කල් ඔබට විශිෂ්ට ඤාණයෙන් දේශනා කළා වූ ධර්මය කුමක්ද? ඒ තමයි (චත්තාරෝ සතිපට්ඨානා) සතර සතිපට්ඨානය, (චත්තාරෝ සම්මප්පධානා) සතර සම්‍යක්පධාන වීරිය, (චත්තාරෝ ඉද්ධිපාදා) සතර ඉර්ධිපාද. (පංච  ඉන්ද්‍රියානි) ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පංච ඉන්ද්‍රිය, (පංච බලානි) ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පංච බල. (සප්ත බොජ්ඣංගා) සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන සප්ත බොජ්ඣංග. (අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ) ආර්ය ආෂ්ටාංගික මාර්ගය. මහණෙනි, මම මෙයයි දේශනා කළේ.”

බුද්ධ දේශනා හැම එකක් ම බැලුවාම පේනවා, උන්වහන්සේ සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මය තමයි දේශනා කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මහන්සි වෙලා තියෙන්නේ මේ කාරණයයි කියන එක හැම තිස්සේ ම සූත්‍රවලින් ඔප්පු වෙනවා. ඉතින් සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම සංඛ්‍යාත වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මතුකරලා අපි කියනවා “මෙන්න මේ ධර්මය සරණ යන්න. මේක ශ්‍රේෂ්ඨ වූ ධර්මය යි” කියලා. එතකොට අපට සරණ යන්න ධර්මයකුත් තියෙනවා. ඊ ළඟට ඒ ධර්මය සරණ ගියපු, ඒ ධර්මය පුරුදු පුහුණු කරපු මාර්ගයට පැමිණි, ඵලයට පැමිණි ධර්මයේ හැසිරුණු ශ්‍රාවකයන් ඉන්නවානේ. එතකොට ඒ මාර්ගස්ථ, ඵලස්ථ ශ්‍රාවක සංඝයා අතර අග්‍ර වන්නේ රහතන් වහන්සේයි. ඒ රහතන් වහන්සේලාගේ නම් ගොත් වශයෙනුත් තියෙනවා. ඒ රහතන් වහන්සේලාගේ කුසලතා වශයෙනුත් විස්තර වෙනවා. ඒ රහතන් වහන්සේලාගේ චරණ වශයෙනුත් විස්තර වෙනවා. ඒ වගේ ම අනිත් මගඵලලාභී ශ්‍රාවකයන් ගැනත් විස්තර කරනවා. එතකොට අපට හිතේ ‘එහෙම නම් ඒකාන්තයෙන් ම ධර්මයේ මේ ගුණ සත්‍යයක්’ කියලා ප්‍රසාදයක් ඇතිවෙනවා.

ඒ ගුණය රහතන් වහන්සේලාට ලැබිලා තියෙනවා. එහෙම නම් අනිවාර්යයෙන් ම සංඝයා තුළ යම් ගුණයක් භාග්‍යවතුන් වහන්සේ විග්‍රහ කරලා තියෙනවා ද ඒ ගුණ දරණ ශ්‍රාවක පිරිසව පිරිසක් හැටියට සරණ යන්න, ඒ සංඝයා ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. එතකොට එයා බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ධර්මයත් සරණ යනවා. සංඝයාත් සරණ යනවා. මේ විදිහට සරණ ගියපු කෙනා ප්‍රඥා සම්පන්න ශ්‍රාවකයෙක්. ඒ ශ්‍රාවකයා තමයි පංචසීලය සමාදන් වෙන්නේ.

දුකට භය නම් රහසේවත් පව් කරන්න එපා…

පංචසීලය සමාදන් වුණාට පස්සේ ඒ පංචසීලය ආරක්‍ෂා කර ගැනීම තමන් සතු එකක්. එතකොට එයා විශ්වාස කරන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. ඒ කියන්නේ ඊට පස්සේ එයා යන්නේ කර්ම – කර්ම ඵල විශ්වාස කරගෙනනේ. එතකොට පංචසීලය කැඩුණොත් එයා ඉක්මනින් ඊට පිළියම් කරනවා. කොටින්ම අපි කියමු සතිසම්පජඤ්ඤය දුර්වල වීමෙන් එයාගේ පංචසීලය යම්කිසි විදිහකින් කැඩුණා කියලා. එයා වහා ම ඒක පිළිසකර කර ගන්නවා. ඒ විදිහට පිළිසකර කර ගන්නේ එයාට කර්ම, කර්ම ඵල පිළිබඳ විශ්වාසයක් තියෙන නිසයි. ඒ විදිහට ‘පින කිරීමෙන් පින රැස්වෙනවා… පව කිරීමෙන් පව රැස්වෙනවා…’ කියලා කර්ම – කර්ම ඵල පිළිබඳ විශ්වාසයක් තියෙනවා නම් එයා පිනට කැමතියි. පවට අකමැතියි.

බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට පෙන්වා දෙනවා “(සචේ භායසි දුක්ඛස්ස, සචේ වෝ දුක්ඛමප්පියං) ඉදින් ඔබ දුකට භය නම්, දුකට අප්‍රිය නම්, (මා කත්ථ පාපකං කම්මං) පව් කරන්න නම් එපා. (ආවී වා යදි වා රහෝ) එළිපිටවත් කරන්න එපා. රහසේවත් කරන්න එපා.” එතකොට අපට මේකෙන් පේනවා, පව් කියන එක කිසිසේත් ම නොකළ යුතු දෙයක්.

ධර්මයේ නාමයෙන් ඉදිරිපත් වෙන නොයෙකුත් මතවාද…

අපි කියමු, ඔන්න කෙනෙක් සාධාරණ මනුෂ්‍යයෙකුට කරුණු විමසීමකින් තොරව, සොයා බැලීමකින් තොරව, අධ්‍යයනය කිරීමකින් තොරව නින්දා අපහාස කරනවා. එයා ඒක කරන්නේ ඊර්ෂ්‍යාවෙන්නේ. එතකොට එයා පින් පව් පිළිගන්නේ නැති කෙනෙක්. නැත්නම් යහපත් දේට ගරහනවා. යහපත් දේ වළක්වනවා. ඊ ළඟට තමන් දෘෂ්ටිගතික වෙලා ඒක ම ධර්මය හැටියට හුවා දක්වන්න හදනවා.

එළවළුයි, බතුයි ප්‍රශ්නය එහෙම එකක්. අපි ගත්තොත්, බඩ සුද්ධ කරලා අපට කුසල් වඩන්න බෑනේ. ඒක බඩ සුද්ධ කිරීම පිළිබඳ ප්‍රශ්නයක්නේ. එහෙම වුණා කියලා සිත, කය, වචනය පිරිසිදු වෙන්නේ නෑනේ. අපි ගත්තොත්, මේ ශරීරය ස්වභාවයෙන් ම අපවිත්‍ර දෙයක්. මේ අපවිත්‍ර දේ අපි කොච්චර පවිත්‍ර කරන්න හැදුවත් ඒක විසඳන්න බෑ. ඒ කියන්නේ මේක පවිත්‍ර කරලා ඉවර කරන්න බෑ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ කාලයේ බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට මාසයකට දෙපාරක් පැන්පහසු වුණාම ඇති කියලා පැනෙව්වේ. අද අපට දවසක් දෙකක් නොනා ඉන්න බෑනේ. සමහර විට මේ පරිසරයෙයි, ආහාර පාන ආදියේ වෙනසක් වෙන්න ඇති. නමුත් ඒ කාලයේ දවස් පහළොවකට වතාවක් තමයි ස්වාමීන් වහන්සේලා පැන්පහසු වෙලා තියෙන්නේ. එහෙම නම් ඇඟෙන් සෑහෙන්න දුර්ගන්ධයක් හමන්නත් ඉඩ තියෙනවා. නමුත් උන්වහන්සේලාගේ කායික ක්‍රියා පිරිසිදුයි. වාචසික ක්‍රියා පිරිසිදුයි. මානසික ක්‍රියා පිරිසිදුයි. ඒකට බුදුරජාණන් වහන්සේ ‘(තං සිනානමනෝදකන්ති) ජලය නැති ස්නානය’ කියලා වචනයක් පාවිච්චි කළා. ජලය නැති ස්නානය තමයි පිරිසිදු කායකර්ම, පිරිසිදු වචීකර්ම, පිරිසිදු මනෝකර්ම. නමුත් අපට ශරීරයක තියෙන අපවිත්‍ර භාවය කවදාවත් පවිත්‍ර කරලා, පිරිසිදු කරලා ඉවර කරන්න බෑ. මේ නාලා එනවා, මේ දාඩිය දානවා. දත් මැදලා පොඞ්ඩක් වෙලා නිකන් හිටියොත් කට ගඳ ගහනවා. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවේ වටිනාකම මතුවෙන්නේ ඔතැනින් තමයි.

අකුසලයට රුකුල් දී දෙව්ලොව ඉපදෙයි ද…?

තාලපුට කියන්නේ නළුවෙක්. එයා බුදුරජාණන් වහන්සේ ව මුණගැහෙන්න පැමිණිලා අහනවා, “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අපට අපේ ආචාර්ය ප්‍රාචාර්යවරුන් උගන්වලා තියෙන්නේ ‘අපි මේ රංගනයේ යෙදිලා මිනිස්සුන්ව සන්තෝෂ කිරීම තුළ, මිනිසුන් ව පිනවීම තුළ අපට පිනක් රැස්වෙනවා… ඒ පිනෙන් අපි මරණින් මත්තේ අසවල් දිව්‍යලෝකයේ උපදිනවා’ කියලයි. ඒ නිසා අපි හරි සතුටින් මිනිසුන් ව හිනස්සනවා. සතුටු කරනවා. ඉතින් භාග්‍යවතුන් වහන්ස, මේක ඇත්තෙන්ම අපට සිද්ධ වෙනවා ද?”

“පින්වත, ඔය කාරණය අහන්න නම් එපා. මම ඕකට උත්තර දෙන්න කැමති නෑ. වෙන එකක් අහන්න.” මෙයා මේක තුන් පාරක් ම අහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා “තාලපුට, ලෝභය කියන්නේ අකුසල මූලයක්. ද්වේෂය කියන්නේ අකුසල මූලයක්. මෝහය කියන්නේ අකුසල මූලයක්. මේ අකුසල්වලින් තමයි පුද්ගලයෙකු සංසාර දුකට පත්වෙන භයානක ක්‍රියාවකට, අකුසල ක්‍රියාවන්ට ඒ පුද්ගලයා පෙළඹෙන්නේ. ඇවිස්සීමක් වෙන්නේ.

එතකොට යම්කිසි කෙනෙක් රංගනයක යෙදිලා තව කෙනෙක් තුළ රාගය අවුස්සනවා නම්, රංගනයක යෙදිලා තව කෙනෙක් තුළ ද්වේෂය අවුස්සනවා නම්, රංගනයක යෙදිලා තව කෙනෙක් තුළ මෝහය අවුස්සනවා නම් එයා අවුස්සලා තියෙන්නේ එයාගේ අකුසල් ටික. එතකොට ඒ අකුසල් ටික ඇවිස්සීම තුළ එයා හිතන්නේ වැරදි අදහසක්. එහෙම අකුසල් අවුස්සලා ඒ හේතුවෙන් එයා දෙවියන් අතර උපදිනවා කියලා හිතනවා නම් ඒක එයාගේ මිථ්‍යා දෘෂ්ටිය. “තාලපුට, මිථ්‍යා දෘෂ්ටිකයාට නිරය හෝ තිරිසන් යෝනිය හැර උපදින්නට වෙන තැනක් නෑ.”

අපි ගත්තොත්, ලෝකයේ කලාව නාමයෙන් ‘වැඩිහිටියන්ට පමණයි’ කියලා එක එක ජරාව තියෙනවානේ. අපි ගත්තොත්, වර්තමානයේ නොයෙක් ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යවලින් වුණත් මනුස්සයාගේ රාගය අවුස්සනවානේ. මනුෂ්‍යයන්ගේ ප්‍රශ්නයත් රාගයනේ. ඒ ප්‍රශ්නයමනේ අවුස්සන්නේ. ඒ වගේ ම ද්වේෂයනේ ප්‍රශ්නේ. ඒකමනේ අවුස්සන්නේ.

ඒ වගේ දේවල් තමයි ධර්මයක් අහපු නැති කෙනෙක් විශේෂයෙන් ම බලන්නේ. ජනතා ආකර්ෂණය ලැබෙන්නේ මොකෙන්ද ඒකනේ අද මාධ්‍යවලින් කරන්නේ. ජනතා ආකර්ෂණය ලැබෙන්නේ ඇඳුම් නැතුව හිටියොත් නම් එයා ලෑස්තියි ඇඳුම් නැතුව ඉදලා ආකර්ෂණය ගන්න. ජනතාවගේ ආකර්ෂණය ලැබෙන්නේ යටිගිරියෙන් කෑ ගැහුවොත් නම් එයා කැමතියි යටිගිරියෙන් කෑගහලා ආකර්ෂණය ගන්න. ජනතා ආකර්ෂණය ලැබෙන්නේ අසභ්‍ය වචනවලින් කෑ ගහලා මිනිස්සු හිනැස්සීමෙන් නම් එයා කැමතියි ඒක කරන්න.

එතකොට එයාගේ බලාපොරොත්තුව තියෙන්නේ හරිම පුංචි දෙයක්. එයාගේ හිතේ තියෙන්නේ ජනතා ආකර්ෂණය ලබා ගැනීම විතර ම යි. ඒ විදිහට ජනතා ආකර්ෂණ ලබා ගැනීමේ දී එයා පාවිච්චි කරන්නේ ජනතාව තුළ තියෙන අර දුර්වලතා. එක්කෝ රාගය අවුස්සන එක. එක්කෝ ද්වේෂය ඇවිස්සීම. එක්කෝ මෝහය ඇවිස්සීම.

ධර්ම දේශනාවේ දී ඉස්මතු විය යුත්තේ තිසරණය ම යි…

ධර්ම දේශනා කිරීම ඊට හාත්පසින් වෙනස්. ධර්ම දේශනා කරද්දී ඒ ධර්මය රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය වීමට උපකාරී වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කිරීමට උපකාර වන දෙයක්. කාලීන බණක් ගත්තොත් කාලීන බණවල ඒක නෑ. ඒවායේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට වඩා වෙනස් එකක්. කාලීන ධර්මයේ තියෙන්නේ විවේචන, විචාර, බැණිලි, ගෝරනාඩු. එතකොට ඒක තුළත් අර අකුසලය ම සිද්ධ වෙනවා. මොකද ඒ අය අකුසලය තුළ මිනිස්සුන්ව සමාදන් කරවනවානේ. සමහර අවස්ථාවල බාල විදිහට මිනිසුන්ව හිනස්සනවා. කට ඇදකරලා හිනස්සනවා. එක එක ක්‍රමයට හිනස්සනවානේ. මෙහෙම හිනස්සන කොට එතකොට ඒක තාලපුට කරපු වගේ වැඩක් තමයි.

ඒ නිසා අපි ඉස්සර වෙලාම අකුසල්, කුසල් කියන දෙක විග්‍රහ කර ගන්න ඕන. ඊට පස්සේ අපේ ක්‍රියාව තුළ, අපේ ප්‍රකාශ තුළ, අපේ වචන තුළ තව කෙනෙකුට අකුසල්                                                                                                         හටනොගන්න විදිහට ඒ දේවල් කළ යුතුයි. ඒ කියන්නේ අපි ගත්තොත්, ඔන්න අපි බණක් කියන්න යනවා. ඔන්න දැන් මිනිස්සු ඔක්කොම බිම වාඩිවෙලා. මේ විදිහට බිම වාඩිවෙලා, පාවඩ එලලා, පා සෝදලා, පුටුවකට රෙදි දාලා, උස් ආසනයක තියලා මේ ඔක්කෝම සලකන්නේ බුදුන්ගේ ධර්මයක් අහන්නනේ. එතකොට අපි කියන්න ඕන අපේ දෙයක් නෙවෙයිනේ. එතැන දී කියන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයක්. අපි දේශනා කළ යුත්තේ “බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා… භාග්‍යවතුන් වහන්සේ මේ මේ ගුණයන්ගෙන් යුක්තයි… උන්වහන්සේ දේශනා කළේ මෙවැනි ධර්මයක්…. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා මේ වගේ… මේ වගේ සසර ගමනක් ගැනයි උන්වහන්සේ පෙන්වා දුන්නේ… ඒ සඳහා උන්වහන්සේ මෙන්න මෙහෙම විසඳුමක් දුන්නා…’ කියලයි.

ඒ විදිහට හඳුන්වා දීම තුළ ඒක අහගෙන ඉන්න කෙනාගේ සිතේ ‘එහෙම නම් බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් ම සරණ යාමට සුදුසුයි… එහෙම නම් අපි සරණ ගියා හරි…’ කියලා අදහසක් ඇතිවෙන්න ඕන. ඒ වගේ ම ‘එහෙම නම් ධර්මය උතුම් දෙයක්… මේ ධර්මය සරණ යන්න සුදුසු දෙයක්… අපි ඒ ධර්මය සරණ ගියා… එහෙම නම් ඒකත් හරි…’ කියලා අදහසක් ඇතිවෙන්න ඕන. ඒ වගේ ම අපි ‘ශ්‍රාවක සංඝයා සරණ ගියා… ඒකත් හරි…’ කියලා අදහසක් ඇතිවෙනවා.

ජනප්‍රිය විය යුත්තේ පුද්ගලයා ද? ධර්මය ද…?

‘එහෙම නම් රාග, ද්වේෂ, මෝහ කියන්නේ සසර ගමන දිගින් දිගට පවත්වන දේවල්. මේක තුළ සතර අපායට යන ගමනක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේකෙන් මිදෙන ධර්මයක් දේශනා කළා අපි මේ ධර්මයට පහදින්න ඕන’ කියලා අදහසක් ඇතිවුණොත් ඒ ධර්ම දේශනාව සාර්ථකයි. ඒක වුණේ නැත්නම් කොහොමද ඒ ධර්ම දේශනාවක් සාර්ථක වෙන්නේ? ඒ ධර්ම දේශනය සාර්ථක වුණාට පස්සේ ඒ ධර්මය බුද්ධිමත් අය අතර ජනප්‍රිය වෙනවා. එතකොට ජනප්‍රිය වෙන්නේ පුද්ගලයෙක් නෙවෙයි, ඒ ධර්මයයි. යම් දවසක අපි අධර්මයක් කිව්වොත් බුද්ධිමත් මිනිස්සු ඒකට ගරහනවා. මොකද අද ධර්මය, අධර්මය කියන එක තෝරගන්න යම්කිසි ප්‍රමාණයකට ධර්මය ඉස්මතු වීමක් තියෙනවානේ. නමුත් බුද්ධිමත් අය විතරයි මේක තේරුම් ගන්නේ. ගොඩාක් දුරට අපට තියෙන යම්කිසි ප්‍රමාණයක අඩුවක් තමයි මාධ්‍ය ක්ෂේත්‍රයට ඇවිල්ලා තියෙන්නේ ගොඩක් තරුණ අයනේ. ඒගොල්ලන්ට ධර්මය පිළිබඳව දැනුමක් නෑ. එතකොට ළඟ ඉන්න කෙනෙක් ‘මේක ධර්මය යි…’ කියලා යමක් ද කියන්නේ ඒක අහනවා. ‘මේක අධර්මය යි…’ කියනවා නම් ඒකත් අහනවා. එතකොට සමහර විට අපි ධර්මය කියලා අධර්මය ගන්න පුළුවන්. අධර්මය කියලා ධර්මය අත්හරින්න පුළුවන්. මේ තුළ එවැනි හානියක් තියෙනවා.

මේ ලෝකයේ වැඩි බාලයන්ගේ ආශ්‍රයනේ. සත්පුරුෂයෙක් ව ආශ්‍රය කළොත් තමයි ඒ සත්පුරුෂයා හැමතිස්සේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවන්න, ධර්මය කෙරෙහි සිත පහදවන්න, ශ්‍රාවක සංඝයා කෙරෙහි සිත පහදවන්න බලන්නේ. ඉතින් ඒ කෙනාගේ සිත පැහැදුණොත් ඒක ඒ කෙනාට බොහෝ කාලයක් යහපත පිණිස පවතිනවා.

– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post මේ ශ්‍රේෂ්ඨ වූ ධර්මය යි, මේ ධර්මය සරණ යන්න… appeared first on MAHAMEGHA.

පුද්ගලික දෘෂ්ටි පසෙක ලා ධර්මය ම පෙරට ගනිමු…

$
0
0

දවසක් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා, “ආනන්දය, ඔබ අන් අයට හිතෛෂී නම්, අන් අයට අනුකම්පා සහගත නම්, අන් අයට ස්නේහවන්ත නම්, තථාගතයන් වහන්සේ කෙරෙහි සිත පහදවන්න. ධර්මය කෙරෙහි සිත පහදවන්න. සංඝයා කෙරෙහි සිත පහදවන්න” කියලා. ඉතින් අපි ඒ විදිහට තථාගතයන් වහන්සේ කෙරෙහි සිත පහදවන්නේ නැතුව වෙන දෙයක් කිව්වට ඵලක් වේවි ද? මොකද අපිත් මහණ වෙලානේ ඉන්නේ. අපි මහණ වෙලා ඉන්නේ අපේ දෘෂ්ටියක් ගෙනියන්න නෙවෙයිනේ. අපි කියමු, යම් කෙනෙක් මහණ වුණේ තේරෙන්නේ නැති පොඩි කාලයේ කියලා. නමුත් ඒ මහණ වුණෙත් අපි අපේ දෘෂ්ටියක් ගෙනියන්න නෙවෙයි. අපේ සංස්කෘතියක් ගෙනියන්නත් නෙවෙයි. අපේ රටක් ජාතියක් ගෙනියන්නත් නෙවෙයි. අපි මහණ වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වෙන්නයි. මේ ඉලක්කය නැතිවුණාම ඒ සමාජය නොයෙක් හැල හැප්පිලිවලට භාජනය වෙනවා.

බුදුරජාණන් වහන්සේ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා ගැන කියද්දී දේශනා කරලා තියෙන්නේ, ඒ වගේ අය වේරම්භ වාතයට අසුවූ කුරුල්ලා වගේ කියලයි. මොකද සමාජයේ නොයෙක් අර්බුද හදාගෙන කැපී පෙනෙනකොට ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා ලැබෙනවානේ. අපි ගත්තොත්, සමාජය තුළ යමෙක් කාට හරි දිගට ම බණිනවා නම් ඒ බණින කෙනාට ටික කලකින් සමාජය තුළ තැනක් තියෙනවා. පිළිගන්නවා. දේශනාවලට කතා කරනවා. එතකොට අනිත් අයත් බලනවා, එයාට පිළිගැනීම ලැබුණේ බැණිල්ල නිසා. ඒ විදිහට පිරිසක් රැස්කරලා ප්‍රසිද්ධියේ ලොකු විවේචනයක් කළොත්, ඒ විවේචනය තුළ අපි හිතනවා අපි වීරයෙක් කියලා.

ඊට පස්සේ මිනිස්සුත් ඒක වීරත්වයක් කියලා පිළිගෙන “මෙයා හරි කෙළින් කතා කරන කෙනෙක්… භය නැතුව කතා කරන කෙනෙක්…” කියලා කියනවා. ඒක වීරත්වය නෙවෙයි. ඒක නීචත්වය. වීරත්වය කියන්නේ ඒක නෙවෙයි. වීරත්වය කියන්නේ උපන්න අකුසලය ප්‍රහාණය කරන්න දරන වීරිය. ඊ ළඟට නූපන් අකුසල් නූපදවන්න කරන වීරිය. ඊ ළඟට නූපන් කුසල් උපදවන්න දරන වීරිය. උපන් කුසල් වැඩි දියුණු කර ගන්න දරන වීරිය. ඒකට තමයි නියම වීරත්වය කියලා කියන්නේ.

බුදුරජාණන් වහන්සේ වේරම්භ වාතයේ උපමාව ගැන දේශනා කළේ “මහණෙනි, මේ ආකාසයේ ‘වේරම්භ වාතය’ කියලා උඩ කැරකෙන වාතයක් තියෙනවා. සමහර උකුස්සෝ, සමහර කුරුල්ලෝ තමන්ට පියාඹන්න තියෙන සීමාව දන්නේ නෑ. ඒ විදිහට සීමාව දන්නේ නැතුව තමන් පිළිබඳව හිතට අරගෙන උඩ අහසට යනවා. ඒ විදිහට ගියාට පස්සේ වේරම්භ වාතයට අහුවෙලා මේ කුරුල්ලා කැරකිලා යනවා. ඉතින් බෙල්ල එක් පැත්තක. තටු එක පැත්තක. කකුල් එක් පැත්තක. මහණෙනි, ඒ වගේ තමයි ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවලට අහුවුණාම. එයාගේ මහණකම වෙන පැත්තක. යන්නේ වෙන පැත්තක.”

මේ සියල්ලට හේතුව සරණ අහිමි වීමයි…

අද හොඳට ඇස් දෙක ඇරලා බලපුවාම අපට ඒක පැහැදිලියිනේ. මේ ඔක්කොටම හේතුව, අපි බුදුරජාණන් වහන්සේ ව සරණ ගියපු නැති එක. බෞද්ධ වුණත් නමින් විතරක් බෞද්ධ වූ සාමාන්‍ය බෞද්ධයන් ව බොහෝම ලේසියෙන් හැඟීම්වලින් අවුස්සන්න පුළුවන්. බොහෝම ලේසියෙන් කුපිත කරන්න පුළුවන්. බොහෝම ලේසියෙන් නොමග යවන්න පුළුවන්. බොහෝම ලේසියෙන් අර්බුදයකට යොමුකරවන්න පුළුවන්. හැබැයි එයාට යමක් තේරුම් කරලා දෙන්න අමාරුයි. සිහිය උපද්දවන්න බොහොම අමාරුයි. යමක අරමුණ පැහැදිලි කරලා දෙන්න බොහොම අමාරුයි. ඒ අමාරු දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙන්නේ. අනිත් හැම තැනම උගන්වන්නේ බොහෝම ලේසි දේවල්නේ.

මාධ්‍යයක් ගත්තත් එහෙමයි. රණ්ඩුවක් ඇතිකරන එක, සරාගී දර්ශනයක් පෙන්වලා මිනිස්සු තුළ රාගය ඇතිකරවන එක, ඊ ළඟට ද්වේෂය ඇතිකරවන එක වගේ දේවල් බොහොම ලේසියි. මොකද ඒ දේ තුළ බොහෝම ලේසියෙන් මිනිස්සු තුළ ආකර්ෂණයක් ඇතිවෙනවා. ඒ තුළ ජනප්‍රියත්වයක් පවත්වන්නත් පුළුවන්. මොකද යම් කාරණයකින් තමන්ගේ රාගය ඇවිස්සෙනවා නම් ඒ ඇවිස්සෙන හේතුව නිසාම ඒකට මිථ්‍යා සමාධියක් ඇතිවෙනවා. ද්වේෂ සහගත දේ දිගට ම බලාගෙන ඉන්නකොට ඒ තුළ මිථ්‍යා සමාධියක් ඇතිවෙනවා. මෝහ සහගත කාරණයටත් මිථ්‍යා සමාධියක් ඇතිවෙනවා. මිථ්‍යා සමාධිය අකුසලයක්. ඒ කියන්නේ සමහර අවස්ථාවල කෙනෙක් රූපවාහිනිය ළඟ තියාගෙන ටෙලිනාට්‍ය බලනවා. අතේ බත් පිඟාන තියාගෙනයි බලන්නේ. දන්නේම නෑ බතුත් කාලා, කරපිංචත් කාලා, මිරිසුත් කාලා, මිරිස් නැටිත් කාලා. එයා දන්නේ නෑ. මොකද, ඒක බලාගෙන ඉන්න කොට දන්නේම නැතුව එයා මිථ්‍යා සමාධියකට ගිහිල්ලා. ඒක කුසලයක් නෙවෙයිනේ.

කුසලයක් උපද්දවන්න නම් ප්‍රඥාව තියෙන්න ඕන…

මනුස්සයෙකුට කුසලයක් උපද්දවන්න නම් එයා තුළ ප්‍රඥාවක් තියෙන්න ඕන. ප්‍රඥා සම්පන්න මනුස්සයාට බුදුරජාණන් වහන්සේ ගැන විග්‍රහය හරි විදිහට කරලා දුන්නාට පස්සේ එයා තමන් තුළින් ස්වාධීන මනුස්සයෙක් වෙනවා. ඒ ස්වාධීනත්වය තුළ තමයි වටිනාකම තියෙන්නේ. ධර්මයත් එහෙමයි. ධර්මය සරණ යන්න කියා දුන්නාට පස්සේ ඒ ධර්මය තුළ තමයි එයා ස්වාධීන වෙන්නේ. ශ්‍රාවක සංඝයාත් එහෙමයි. අපි බුද්ධ කාලය ගැන ගත්තොත් එකල තිබුණේ වර්තමාන රටාව නෙවෙයිනේ. එකල භික්ෂූන් වහන්සේලා වැහි කාලයට තුන් මාසයක් එක තැනක ඉන්නවා. ඊට පස්සේ චීවර මාසයේ රැඳිලා ඉඳලා ඉතුරු මාස අටේ චාරිකාවේ වඩිනවා. එතකොට අපි ගත්තොත්, එක ගමකට වඩිනවා. ඒ ගමේ දවස් දෙකක් තුනක් ඉන්නවා. ඒ මිනිස්සුන්ට “මෙන්න මෙහෙම සරණ යන්න… මෙන්න මෙහෙම ධර්මයක් තියෙනවා… මේ ධර්මය ප්‍රගුණ කරන්න…” කියලා කියා දෙනවා. ඉතින් මිනිස්සුත් ඒක අහගෙන ප්‍රගුණ කරනවා.
ඊට පස්සේ සමහර විට ඒ මිනිස්සුන්ට භික්ෂූන් වහන්සේලා ව දකින්න හම්බ වෙන්නේ නෑ. ආයෙමත් අවුරුද්දකට දෙකකට වතාවක් තමයි භික්ෂූන් වහන්සේලා දකින්න වෙන්නේ. එතකොට ඒගොල්ලෝ ප්‍රගුණ කරපු දෙයක් එක්ක තමයි ආයෙමත් බණ අහන්නේ. නමුත් අද තියෙන්නේ එහෙම එකක් නෙවෙයිනේ. අද තියෙන්නේ ඊට හාත්පසින් ම වෙනස් දෙයක්. හැබැයි, එදා නිතර නිතර අහන්න ලැබුණෙත් නෑ. අද නිතර නිතර අහන්න ලැබෙනවා. හැබැයි අද වුණත් හරි දේ අහන්න ලැබුණොත් තමයි සාර්ථක වෙන්නේ. හරි දේ තියෙන්නේ බුද්ධ දේශනාවේ විතරයි.

ඒ නිසා අපි තව කෙනෙකුට කිව යුත්තේ තෙරුවන් සරණ ගිහිල්ලා, ඒ සරණේ පිහිටලා, බුදුරජාණන් වහන්සේ ව පිළිසරණ කරගෙන වාසය කිරීම, ධර්මය පිළිසරණ කරගෙන වාසය කිරීම, සංඝයා පිළිසරණ කරගෙන වාසය කිරීම පිළිබඳවයි. මේ අදහස තුළ පිහිටා සිටියොත් විතරමයි අපි ශ්‍රාවකයෝ වෙන්නේ. එහෙම නැතුව ‘අපි ශ්‍රාවක’ කියලා කියපු පමණින් ශ්‍රාවක වෙන්නේ නෑනේ. බුද්ධ දේශනාවේ තියෙනවානේ මනුස්සයෙක්ව ඇසුරු කිරීමෙන් තමයි හඳුනාගන්න තියෙන්නේ. ඒත් කාලයක් ඇසුරු කිරීමෙන් කියලා. එහෙම නැතුව කටකතාවකින්, තව කෙනෙක් කියපු දෙයකින්, එහෙම හඳුනාගන්න බෑ. එහෙම හඳුනාගන්න නම් එයාවත් ආශ්‍රය කරන්න ඕන. ආශ්‍රය කිරීමකින් තොරව හඳුනාගන්න බෑ.

අනුශාසනාවක් කළ යුත්තේ බුද්ධිමත් කෙනෙක්…

හරි පැහැදිලියි, බුදුරජාණන් වහන්සේගේ කාලයේ ශ්‍රාවකයෝ ඔක්කෝම හරියට තිසරණයේ පිහිටගෙන වාසය කරලා තියෙන්නේ. මොකක් හෝ අවාසනාවකට කාලයාගේ ඇවෑමෙන් ගෞතම බුදුරජාණන් වහන්සේ ව අත්හැරලා මෛත්‍රී බුදුන් පතන්න ගත්තා. මට මතකයි මම ඕක එක වැඩසටහනක කියලා එක හාමුදුරු කෙනෙක් මට මුහුණට ම කිව්වා “ඔබවහන්සේ එහෙම නම් ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්න. අපි මෛත්‍රී බුද්ධ ශාසනයට යන්නම්.” කියලා. එතකොට බලන්න, එයා ගැටුනා මිසක් ඒක මධ්‍යස්ථ ව විචාරලා බලන්න තරම් බුද්ධියක් නෑ. ඒ නිසා බුද්ධියක් නැති කෙනෙක් මිනිස්සුන්ට අනුශාසනා කළොත් ඒ මිනිස්සුත් බුද්ධිහීන බවට පත්වෙනවා. ඉතින් ඒ නිසා අනුශාසනාවක් කළ යුත්තේ බුද්ධිමත් කෙනෙක්. ජනප්‍රිය වීමෙන් බුද්ධිමත් කියලා කියන්න බෑනේ. ඒ වගේ ම රූපය ලස්සන වීමත් බුද්ධිමත්කමේ ලක්ෂණයක් නෙවෙයිනේ. මිහිරි හඬක් තිබීමත් බුද්ධිමත්කමේ ලකුණක් නෙවෙයි. ඒ වගේ ම වාද විවාද, තර්ක කතා කිරීමත් බුද්ධිමත්කමේ ලකුණක් නෙවෙයි. ඊ ළඟට රටේ නැති විදිහට නින්දා අපහාස කිරීමත් බුද්ධිමත්කමේ ලකුණක් නෙමෙයි.

බුද්ධිමත්කමේ ලකුණ තමයි, ඒ කතාව තුළ නූපන් ශ්‍රද්ධාව උපද්දවනවා. නූපන් සතිය උපද්දවනවා. නූපන් වීරිය උපද්දවනවා. නූපන් සීලය උපද්දවනවා. නූපන් සමාධිය උපද්දවනවා. ඒ සඳහා ධර්මය කියනවා ද ඒක බුද්ධිමත් ධර්මයක්. එහෙමයි මේක තේරුම් ගන්න ඕන. එහෙම නැත්නම් අපි හැමදාම වාද කර කර ඉඳියි. හැමදාම “අරක කොහොමද…? මේක කොහොමද…?” කිය කිය ඉඳියි. එහෙම නැතුව අපට ශ්‍රද්ධාවට එන්න උපකාරයක් තියෙනවා නම් ඒක තමයි හරි දේ. ඊ ළඟට අපට තේරෙනවා නම් ‘මේක අකුසලයක්… මේ අකුසල් ප්‍රහාණය කළ යුතුයි…’ කියලා, අන්න අපි හරි දේ අහලා තියෙනවා. ඊ ළඟට “අපි සිහිය දියුණු කරන්න ඕන… සතිපට්ඨානය වඩන්න ඕන… සතිපට්ඨානය යනු මෙයයි…” කියලා අහලා තියෙනවා නම් අන්න අපි හරි දෙයක් අහලා තියෙනවා.

ප්‍රථම ධ්‍යානයේ අංග මොනවාද…?

බුද්ධ දේශනාවේ ප්‍රථම ධ්‍යානය යනු කුමක් ද කියලා පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ඒකේ විස්තර කරන්නේ ‘(විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි) කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විතක්ක විචාරයෙන් යුතු, විවේකයෙන් හටගත් ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයෙන් යුතු ප්‍රථම ධ්‍යානය’ කියලයි. අපි කියමු කෙනෙක් සමාධියක් වඩනවා. සමාධියක් වඩනකොට අපි එයාට ප්‍රථම ධ්‍යානය ගැන කියන්න ඕන, “බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට ප්‍රථම ධ්‍යානය විස්තර කරලා තියෙනවා… ඒ තමයි විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්‍රතා කියන අංග ලක්‍ෂණ පහෙන් යුතු කාමයන්ගෙන් වෙන්වූ, අකුසල ධර්මයන්ගෙන් වෙන්වූ සමාධිය” කියලනේ. එතකොට එයා ඒක අහගත්තා. ඊ ළඟ එක්කෙනාට එයා ඒක ම කිව්වොත් ධර්මය විකෘති වෙන්නේ නෑ. එතකොට එතැන නිර්මල ධර්මයක් යනවා. එහෙම නැතුව එයාට ගැළපෙන විදිහට ඒක වෙනස් කරලා කිව්වොත් හරියන්නේ නෑනේ.

මං කිව්වේ ඒකයි, අද ලෝකය වේගයෙන් යන්නේ ධර්මය කරා නෙවෙයි. අපි ගත්තොත්, ලෝකයේ මෑත භාගයේ හරියට “ධර්මය විකෘති කරනවා… ධර්මය හරියට කියන්නේ නෑ… වැරදියට කියනවා…” කිය කියා කතා කරනවානේ. ඉතින් එහෙම නම් අපි බලන්න ඕන හරියට කියන්නේ කවුද කියලයි. ධර්මය විකෘති කිරීමක් ලෝකයේ යනවා නම් විකෘති නැත්තේ කොහේද කියලා බලන්න ඕන. ඒකනේ බුද්ධිමත් මනුස්සයා කළ යුත්තේ. එහෙම නැතුව “අරකත් විකෘතියි… මේකත් විකෘතියි…” කියා කීම නෙවෙයි. අපි ‘මොකක්ද විකෘති, මොකක්ද විකෘති නැත්තේ..?’ කියලා හොයලා බලන්න ඕන. අන්න ඒ විදිහට හොයලා බලන්න එයාට පාදක කර ගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. සමාධිය ගැන වුණත් අපි අතින් දාලා කිව්වොත් ඒක විකෘතියක්. ප්‍රඥාව ගැනත් අතින් දාලා කිව්වොත් විකෘතියක්. ඒ නිසා අපි තමාගේ අත්දැකීම කිසි දවසක බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් සමඟ පටලවා නොගත යුතුයි. තමාගේ අත්දැකීම පටලවා ගත්තොත්, අනිත් අයත් ඊට පස්සේ ධර්මය හැටියට ගන්නේ ඒකනේ. ඒකනේ භයානකකම. අපි සරණ යන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයනේ. මාර්ග ඵලලාභී ශ්‍රාවකයන් ජීවිත පරිත්‍යාගයෙන් මේ ධර්මය ආරක්‍ෂා කරගෙන ආවේ ඒ සඳහානේ.

The post පුද්ගලික දෘෂ්ටි පසෙක ලා ධර්මය ම පෙරට ගනිමු… appeared first on MAHAMEGHA.

දහම කැඩපතක් කරගනිමු

$
0
0

කෙනෙක් යම්කිසි ක්‍රියාවක් කරනවා කියලා හිතමු. හැබැයි එයාගේ අදහසක් නෑ, මේකෙන් නරකක් වේවා කියලා හෝ හොඳක් වේවා කියලා. නමුත් ඒ ක්‍රියාව කළාට පස්සේ ඒකෙන් තව කෙනෙකුට හානියක් වෙනවා නම් ඒක එයාගේ ධර්ම මාර්ගයේ දියුණුවට බාධාවක් ම යි. අපි ගනිමු එයා කල්පනා නොකොට යම්කිසි දෙයක් කරනවා. කල්පනා කරන්නේ නෑ කියලා කියන්නේ එයා පින පව සලකන්නේ නෑ කියන එකනේ. ඇත්ත වශයෙන් ම එයාට දහම් දැනුමක් නෑ කියන එකනේ. අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ රාහුලයන් වහන්සේගෙන් “රාහුලය, කැඩපතෙහි ප්‍රයෝජනය කුමක් ද?” කියලා අහනවා. “භාග්‍යවතුන් වහන්ස, කැඩපත ප්‍රයෝජනවත් වන්නේ තමන්ගේ මුහුණේ ඇති අඩුපාඩු බලාගැනීම පිණිසයි.” කියලා උන්වහන්සේ පිළිතුරු දුන්නා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා “ඒ වගේ රාහුල, නැවත නැවත මෙනෙහි කරලයි යම්කිසි ක්‍රියාවක් කරන්ට ඕනෙ. තමාටත් හානි නොවන, අනුන්ටත් හානි නොවන දෙයක් කරන්න.” කියලා.

සමහර අය කියනවා, බොරුවක් වුණත් අනුන්ට හානියක් වෙන්නේ නැත්නම් කිව්වට කමක් නෑ කියලා. බොරුවක් කියලා හරි තව කෙනෙකුට යම්කිසි දෙයක් කරන්න පුළුවන් නම් බොරු කිව්වට කමක් නෑ කියලා ලැජ්ජා නැතුව ප්‍රසිද්ධියේත් කියන සමහර දේශකයෝ ඉන්නවා. එතකොට අපට තේරෙනවා, ඒ අය මිනිස්සුන්ව අකුසල් තුළ සමාදන් කරනවා. මිනිස්සු කොහොමද ඒ විදිහට බොරුව තීරණය කරන්නේ? අපට යමක හොඳ, නරක පිළිබඳ තීරණය කරන්න වෙන්නේ ඒකෙන් වෙන යහපත, අයහපත කල්පනා කරලනේ. බුද්ධ දේශනාවක කොහේවත් ඒ වගේ දෙයක් සඳහන් වෙන්නේ නෑ. සමහරු නන්ද කුමාරයාටත් බුදුරජාණන් වහන්සේ බොරු කිව්වා කියලා උපුටා දක්වනවා. ඒ වගේ මිථ්‍යා මත කියනවා. ‘නන්ද කුමාරයාට දිව්‍යාංගනාවන් අරන් දෙන්නම්…’ කියලා බොරු පොරොන්දු දුන්නා කියලා තමන්ගේ බොරුව සනාථ කරන්න හදනවා. එතකොට එයාටත් ඕනතරම් බොරු කියන්න පුළුවන්නේ. බුද්ධ දේශනාවේ තියෙන්නේ “මහණෙනි, බොරු කියන පුද්ගලයාට නොකළ හැකි පාපයක් නෑ” කියලයි. බොරු කියන පුද්ගලයා හරිම භයානකයි කියනවා. එතකොට මේ වගේ අකුසල් ක්‍රියාවක යෙදුනට පස්සේ ඒ ක්‍රියාව තුළ හානියක් වෙනවා ම යි.

ද්වේෂ සහගතව කටයුතු කිරීමේ විපාක භයානකයි…

මං හොඳ උදාහරණයක් කියන්නම්. අපි ළඟ එක ස්වාමීන් වහන්සේනමක් පැවිදි වෙලා හිටියා. ඒ ස්වාමීන් වහන්සේට කාලයක් යද්දී බණ භාවනා කරන්න බැරුව ගියා. ඇඟට දෝෂ සහගත දෙයක් ඇවිල්ලා දිෂ්ටියක් වගේ ආවා. ඊට පස්සේ අපට මේක බේරගන්න බෑ. පිරිත් කිව්වට යන්නෙත් නෑ. ඊට පස්සේ “මේක කර්මානුරූපව හැදුණු එකක්… මෙයාට වරමක් එන්න තියෙන්නේ…” කියලා කිව්වා. නමුත් අපට එහෙම පටලවාගන්න බෑනේ. ඊට පස්සේ ගෙදරට කතාකරලා කරුණු කාරණා කිව්වාම ගෙදරින් මෙයාව උපැවිදි කරලා එක්කරගෙන ගියා. දැන් මෙයාගේ ඇඟේ දිෂ්ටියක් වැඩකරනවා. මේ ළඟ දී ඒ ආරූඪය හැදුණු උපැවිදි වූ තරුණයා මගේ ළඟට ආවා. ඇවිල්ලා ආරූඪ වෙලා කිව්වා, “අනේ ස්වාමීනී සමාවෙන්න. මේ ඉන්නේ මගේ මුණුපුරෙක්. මමයි එයාව සිවුරු අරවන්න පෙළඹෙව්වේ. හැබැයි, මෙයා සිවුරු ඇරපු දවසේ ඉඳලා මගේ ඇස් දෙක පේන්නේ නෑ. මාව හැමතැන ම වදිනවා. මාව සත්තු කනවා. අනේ මං මේ ආවේ තෙරුවන්ගෙන් සමාව ගන්න.” කියලා.

එතකොට බලන්න, ද්වේෂ සහගතව කරුණු නොවිමසා අරයාව සිවුරු අරවපු එකෙන් ඒ වෙලාවේ ම අර භූතයාට විපාක ලැබිලා තියෙනවා. ඒ නිසයි අපි මුලින් ම කිව්වේ මේකෙදී කර්ම – කර්ම ඵල විශ්වාස කරන්න ඕන, පින් පව් විශ්වාස කරන්න ඕන කියලා. එහෙම නැතුව පින් පව් විශ්වාස කරන්නේ නැතුව පුහු වීරයෝ වෙන්න එක එක දේවල් කරලා ඵලක් නෑ. ඒක නෙවෙයි වෙන්න ඕන. අපට පින් පව් පිළිබඳ විශ්වාසයක් තියෙන්න ඕන. අද මිනිස්සු ඉන්නේ පින තුළ පිහිටලා නෙවෙයිනේ. බහුතරයක් ඉන්නේ අකුසලය තුළ පිහිටලා. අකුසලය තුළ පිහිටපු කෙනාව, ඉන්ද්‍රිය අසංවරය තුළ ඉන්න කෙනාව අසංවර කරන්න ලේසියි. ඉන්ද්‍රිය සංවර වූ කෙනාව නම් අසංවර කරන්න අමාරුයි.
එක ම පිළිසරණ පින පව පිළිබඳ විශ්වාසය යි…

එක තැනක සඳහන් වෙනවා, අනුරුද්ධ මහරහතන් වහන්සේ අරහත් වෙන්න කලින් දිවැස පුහුණු වෙනවා. ඒ විදිහට දිවැස පුහුණු වෙද්දී දවසක් උන්වහන්සේට හිතුණා ‘දිව්‍යාංගනාවෝ දකින්න ඕන’ කියලා. ඔන්න දැන් දිව්‍යාංගනාවෝ ටික පේනවා. ඊට පස්සේ මේ දිව්‍යාංගනාවෝ අනුරුද්ධ මහරහතන් වහන්සේ ඉස්සරහා නටන්න පටන් ගත්තා. නොයෙක් ආකාරයෙන් සළුපිළි සොලවා නටන කොට අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇස් පියාගත්තා. ඒකට හිත යොමු කළේ නෑ. ඒකට හේතුව ඉඳුරන් සංවර වීමෙන් යුක්තයි. ඒ නිසා ඉඳුරන් සංවර කෙනෙකුට නම් බේරිලා ඉන්න පුළුවන්.

නමුත් අද මනුෂ්‍යයන්ගේ හැම මාධ්‍යකින් ම, හැම දෙයකින් ම අවුස්ස අවුස්සා නැති අසංවරකමක් උපද්දවද්දී මිනිස්සුන්ව සංවර කරනවා කියන එක කොච්චර අමාරු වැඩක් ද? ඒ නිසා අසංවර සිතකින්, අසංවර හැඟීමකින් යුක්තව රාග, ද්වේෂ, මෝහවලින් ඉන්න කෙනාට තියෙන එක ම පිළිසරණ තමයි පින පව පිළිබඳ තියෙන විශ්වාසය. පිනයි, පවයි පිළිබඳ විශ්වාසය ගිලිහී යනවා නම්, ඒකට ඉඩක් නැත්නම්, ඒක ගැන අගය කරන්නේ නැත්නම් එයා වේගයෙන් පිරිහී යනවා. අපි ගත්තොත් අද පාසල් විෂයකවත් කවදාවත් පින් පව් කතාවක් නෑනේ. තරඟ විභාගවල පින් පව් කතාවක් නෑ.

ගැඹුරු ඤාණය හසුරුවන පදනම ශ්‍රද්ධාව යි…

අද දේශකයොත් පින් පව් කතාවක් නැතුව ඔක්කොටම බැණ බැණ, රට ජාතිය සංස්කෘතිය කිය කියා කෑ ගගහා යනවා. මේ විදිහට බුද්ධ දේශනාවල මූලික හරයෙන් බැහැර වෙලා ගියොත් මොකක්ද අපට ඉතුරු වෙන්නේ? ඒ නිසා මම කියන්නේ අපට තියෙන දුර්ලභ ම අවස්ථාව තමයි පින් කර ගන්න තියෙන අවස්ථාවත්, පවෙන් මිදෙන්න තියෙන අවස්ථාවත්. අපි මේ ‘නමෝ බුද්ධාය’ වැඩසටහනෙන් පවා බලාපොරොත්තු වෙන්නෙත් ඒක. මොකද අපි හොඳටම දන්නවා, මිනිස්සුන්ට ගැඹුරු ඤාණයක් ලැබුණට කමක් නෑ. හැබැයි ඒ ගැඹුරු ඤාණය හසුරුවන්න වුවමනා කරන පදනමත් සමඟ. ඒ පදනම තමයි ශ්‍රද්ධාව. ඒ වගේ ම පින් පව් පිළිබඳ තියෙන අවබෝධය සහ මේ සසර ගැන තියෙන අවබෝධය. මේකත් එක්ක අර ගැඹුරු ඤාණය ලස්සනට ගැළපිලා යනවා. හැබැයි, මනුස්සයන්ට ගැඹුරු ඤාණයක් ලැබිය යුතුමයි. මොකද, මනුස්සයන්ගේ දැනුම පිළිබඳ අපට සහතික කරන්න බෑ. මොකද අපි එක එක්කෙනාගේ සසරගත ස්වභාවය වෙනස්. අපි එක එක්කෙනාගේ කුසලතාව වෙනස්.

දුප්පත් මනුස්සයෙක් ඉන්නවා කියමු. බොහෝම දුක සේ ජීවත්වෙන මනුස්සයෙක් ඉන්නවා. නමුත් එයා ප්‍රඥාවන්තයි. එතකොට එයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය සැණෙකින් තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඒ ධර්මය ඇහෙන්න ඕන. එහෙම නැතුව ‘දැන් කාලේ යන්තම් ඔය දානය දීගෙන ඉන්න, සංස්කෘතිය පවත්වා ගන්න බණ කිව්වහම ඇති. වෙන දේවල් ඕන නෑ….’ කියලා අපි පූර්ව නිගමනයකට ඇවිල්ලා තිබ්බොත් ඒක සම්පූර්ණයෙන් ම වැරදියි. අපි කොහොමද ඒ දේවල් තීරණය කරන්නේ? ශාසන භාරධාරී භාග්‍යවතුන් වහන්සේනේ. සසුන් බර දැරුවේ බුදුරජාණන් වහන්සේනේ.

පිළිගන්නත් එපා… ප්‍රතික්ෂේප කරන්නත් එපා…

මහාපරිනිබ්බාන සූත්‍රයේ සතර මහාපදේශ කියලා කාරණා හතරක් සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කාරණය දේශනා කළේ භෝග නගරයේ ආනන්ද චෛත්‍ය ස්ථානය අසල දී. “මහණෙනි, මාගේ ඇවෑමෙන් පස්සේ භික්‍ෂූන් වහන්සේලා කිව්වොත් එහෙම ‘අසවල් සඟ පිරිස ඉන්නවා. ඒ සඟ පිරිස ‘මේකයි ධර්මය… මේකයි විනය… මේකයි ශාස්තෘ ශාසනය…’ කියලා සම්මත කරනවා. ඒක අහන්න. නමුත් පිළිගන්න ඕන නෑ. ප්‍රතික්‍ෂේප කරන්නත් ඕන නෑ. ඒක සූත්‍රයේ බහා බලන්න. විනයෙහිලා සසඳන්න. එතකොට ඒක ගැළපෙන්නේ නැත්නම් ‘මේක ධර්මය නෙවෙයි’ කියලා ප්‍රතික්‍ෂේප කරන්න. ඒ වගේ ම තවත් භික්‍ෂූන් වහන්සේලා කියන්න පුළුවන් ‘අසවල් ප්‍රධාන භික්‍ෂුව ඉන්නවා. ථේර භික්‍ෂුවක් ඉන්නවා. ඒ ථේර භික්‍ෂුව ‘මෙයයි ධර්මය… මෙයයි විනය… මෙයයි ශාස්තෘ ශාසනය…’ කියලා කියනවා. ඒක අහන්න. නමුත් පිළිගන්න ඕන නෑ. ප්‍රතික්‍ෂේප කරන්න ඕනත් නෑ. හොඳින් අහලා සූත්‍රයේ බහා බලන්න. විනයෙහිලා සසඳන්න. ධර්ම විනයට ගැළපෙන්නේ නම් පමණක් පිළිගන්න. ‘මෙයාලාගේ මේ ප්‍රකාශය තියෙන්නේ රාග, ද්වේෂ, මෝහ නැතිවෙන විදිහට ද’ කියලා සසඳා බලන්න කියනවා. ඒ විදිහට සසඳා බලද්දී රාග, ද්වේෂ, මෝහ දුරුවෙන්නේ නැත්නම් ‘මේක ධර්මය නෙවෙයි’ කියලා ඒක ප්‍රතික්‍ෂේප කරන්න කියනවා.

ඒ වගේ ම මහණෙනි, භික්ෂූන් කියන්න පුළුවන් ‘ව්‍යක්ත, විශාරද, විනීත, බහුශ්‍රැත, ධර්මධර, ධම්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත භික්‍ෂු පිරිසක් ඉන්නවා කියලා. ඒ භික්‍ෂු පිරිසත් ‘මේකයි ධර්මය… මේකයි විනය… මේකයි ශාස්තෘ ශාසනය…’ කියලා කියනවා. ඒකත් කලබල නැතුව හොඳට අහන්න. හැබැයි පිළිගන්න එපා. ප්‍රතික්‍ෂේප කරන්නත් එපා. ඒකත් සූත්‍රයෙහිලා බහා බලන්න. විනයෙහිලා සසඳන්න කියනවා. මහණෙනි, තවත් ඉන්න පුළුවන් ව්‍යක්ත, විශාරද, විනීත, බහුශ්‍රැත, ධර්මධර, ධම්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්තයි කියන භික්‍ෂුවක්. එයත් ‘මෙයයි ධර්මය… මෙයයි විනය… මෙයයි ශාස්තෘ ශාසනය…’ කියලා කියනවා. ඒකත් එකවර පිළිගන්නත් එපා. ප්‍රතික්‍ෂේප කරන්නත් එපා. ඒකත් සූත්‍රයේ බහා බලන්න. විනයෙහිලා සසඳන්න.”

එතකොට සූත්‍රයේ බහා බලනකොට ඒක සූත්‍රයේ බහා බලන්න බැරි නම්, විනයෙහිලා සසඳද්දී සැසඳෙන්නේ නැත්නම් ‘මේක ධර්මය විනය නෙවෙයි… බුද්ධ දේශනාව නෙවෙයි…’ කියලා ප්‍රතික්‍ෂේප කරන්න කියනවා. එතකොට ඒ මිම්මත් එක්ක අද කොච්චර නම් ප්‍රතික්‍ෂේප වෙනව ද? එතකොට අපට මොනවද ඉතිරි වෙන්නේ? ඒ නිසා හරි පැහැදිලියි, අපට බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනා තුළ අංග සම්පූර්ණ නිවන් මග විස්තර වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සම්පූර්ණයි. උන්වහන්සේගේ ධර්මය තුළ අදත් ධර්ම නායකත්වයක් තියෙනවා.

– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post දහම කැඩපතක් කරගනිමු appeared first on MAHAMEGHA.

ත්‍රිලක්ෂණය ගැන හරියට දැනගන්න

$
0
0

මේ දහම අතීතයට ගිය එකක් ද…?

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ඉස්සර වෙලා ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළා,

“ආනන්දය, තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ පිරිස අතර කතාවක් යන්න ඉඩ තියෙනවා, ‘දැන් මේ ධර්මය අතීතයට ගියපු එකක්… ශාස්තෘන් වහන්සේ වැඩඉද්දී ධර්මය දේශනා කළා… දැන් ඒ ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පෑවා… ඒ නිසා දැන් මේ ධර්මය අතීතයට ගියපු එකක්…’ කියලා. ආනන්ද, එහෙම හිතන්න එපා. (යෝ ඛෝ ආනන්ද මයා ධම්මෝ ච විනයෝ ච දේසිතෝ පඤ්ඤත්තෝ, සෝ වෝ මමච්චයේන සත්ථා) ආනන්දය, මා විසින් යම් ධර්මයක් දේශනා කරන ලද්දේ ද යම් විනයක් පනවන ලද්දේ ද එය මාගේ ඇවෑමෙන් ඔබගේ ශාස්තෘන් වහන්සේ වන්නේ ය…. එය ඔබගේ මාර්ගෝපදේශකයා වන්නේ ය…” කියලා.

ශාස්තෘන් වහන්සේ කියන්නේ කවුද කියලා අපි මුලින් ම කිව්වනේ. අපි යම්කිසි මාර්ගයකට යම්කිසි කෙනෙකුගෙන් උපදෙස් ගන්නවා නම් ඒ තමයි ශාස්තෘ. එහෙම නම් අදත් අපේ ශාස්තෘ බවට පත්වෙන්නේ ධර්මයත්, විනයත්. එහෙම ගත්තාම හරි පැහැදිලියි. අපි ගනිමු, බුදුරජාණන් වහන්සේ ඉස්සර වෙලාම හා හා පුරා කියලා බරණැස මිගදායට වැඩම කරලා ප්‍රථම ධර්ම දේශනය දේශනා කළානේ. ඒ දේශනාව තුළ උන්වහන්සේ පෙන්වා දුන්නේ දම්සක් පැවතුම් සූත්‍රයනේ. දම්සක් පැවතුම් සූත්‍රය තුළ තියෙන්නේ දුක්ඛ ආර්ය සත්‍යය, දුක්ඛසමුදය ආර්ය සත්‍යය, දුක්ඛනිරෝධ ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධගාමිනීපටිපදා ආර්ය සත්‍යය යි.

මම හරි පුදුමයට පත් වුණා, පසුගිය දවසක මාධ්‍යයකින් එක දේශකයන් වහන්සේනමක් කියනවා දම්සක් පැවතුම් සූත්‍රයෙන් දේශනා කරලා තියෙන්නේ අරි අටඟි මග පමණයි කියලා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍යයේ ආර්ය සත්‍යය තුනක් ම අයින් කරලා. එතකොට සාමාන්‍ය මිනිස්සු මොකක්ද හරි කියලා දන්නේ නෑනේ. එහෙම නම් මිනිස්සු දම්සක් පැවතුම් සූත්‍රය දැනගෙන සිටිය යුතුයි. දැනගත්තොත් තමයි තේරෙන්නේ ‘ආ මේකයි මේ කියන්නේ…’ කියලා. ධම්මචක්කය කියන්නේ චතුරාර්ය සත්‍යයට. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා “මහණෙනි, දුක්ඛ ආර්ය සත්‍යය සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ, කෘත ඤාණ වශයෙන් පරිවර්ත තුනකින් අවබෝධ කළ යුතුයි.” දුක්ඛ සමුදයත් සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ, කෘත ඤාණ වශයෙන් අවබෝධ කළ යුතුයි. දුක්ඛ නිරෝධයත් එහෙමයි. දුක්ඛනිරෝධගාමිනී පටිපදාවත් එහෙමයි.

දහම් ඇස පහළ වූ සෝතාපන්න ශ්‍රාවකයා…

ඒ දේශනාවේ අවසානයේ සඳහන් වෙනවා ‘(ඉමස්මිං ච පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානේ) බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාරණ කල්හි (ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස) ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේට (විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි) කෙලෙස් රජස් නැති මේ දහම් ඇස පහළ වුණා’ කියලා. දහම් ඇස තමයි ‘(යං කිඤ්චි සමුදයධම්මං) හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ යමක් ඇද්ද (සබ්බං තං නිරෝධධම්මං) ඒ හේතු නිරුද්ධ වීමෙන් ඒ ඵලය නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්තයි’ කියන එක. එතකොට මේ ධම්මචක්ඛු (දහම් ඇස) පහළ වුණාට පස්සේ එයා සෝතාපන්න ශ්‍රාවකයා. එතකොට අපට පේනවා, සකදාගාමී වෙන්න නම් සෝතාපන්න වෙන්න ඕන. ඒ වගේ ම අනාගාමී වෙන්න නම් සෝතාපන්න වෙන්න ඕන. එතකොට එහෙම නම් ඉස්සර වෙලාම ශ්‍රාවකයාට හේතු ප්‍රත්‍යය පිළිබඳ අවබෝධය, චතුරාර්ය සත්‍යය පිළිබඳ සත්‍ය ඤාණය ඇතිවෙන්න ඕන.

ඒ විදිහට ඉස්සර වෙලාම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝතාපන්න වුණා. ඊට පස්සේ භද්දිය, වප්ප, මහානාම, අස්සජී කියන අනෙක් ස්වාමීන් වහන්සේලා හතරනමත් සෝවාන් ඵලයට පත් වුණා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා පස්නම එකතු කරලා තමයි බුදුරජාණන් වහන්සේ අනාත්මලක්ඛණ සූත්‍රය දේශනා කළේ. අනාත්මලක්ඛණ සූත්‍රයේ විස්තර වෙන්නේ පංචඋපාදානස්කන්ධය ගැන. දම්සක් පැවතුම් සූත්‍රයේ දුක ගැන විස්තර කරලා ‘(සංඛිත්තේන පංච උපාදානක්ඛන්ධා දුක්ඛා) සංක්‍ෂේපයෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධය දුකයි’ කියලා විස්තර වෙනවනේ. ඒ පංච උපාදානස්කන්ධය දුකයි කියන එක තමයි උන්වහන්සේ අනාත්මලක්ඛණ සූත්‍රයේ දී සියලු දෙනාට ම විස්තර කරලා තියෙන්නේ.

රූපයේ යථාර්ථය නුවණැසින් දකිමු…

ඊට පස්සේ ඒ පංච උපාදානස්කන්ධයන් තුළ තියෙන ප්‍රකට වූ ලක්‍ෂණය උන්වහන්සේ විග්‍රහ කළා. ඒ තමයි ඒ තුළ ආත්මයක් නෑ. ඒක උන්වහන්සේ විස්තර කළේ ‘(රූපං භික්ඛවේ අනත්තා) මහණෙනි, රූපය අනාත්මයි. (රූපඤ්චහිදං භික්ඛවේ අත්තා අභවිස්ස) මහණෙනි, රූපය ආත්මයක් වුණා නම් (නයිදං රූපං ආබාධාය සංවත්තති) මේ රූපය කවදාවත් ආබාධ පිණිස පවතින්නේ නෑ. (ලබ්භේථ ච රූපේ ඒවං මේ රූපං හෝතු, ඒවං මේ රූපං මා අහෝසීතී) එහෙම නම් රූපය තුළ ‘මාගේ රූපය මෙසේ වේවා… මාගේ රූපය මෙසේ නොවේවා…’ කියන එක ලබන්න පුළුවන් වෙන්න ඕන. (යස්මා ච ඛෝ භික්ඛවේ රූපං අනත්තා) මහණෙනි, යමක් නිසා රූපය අනාත්මයි ද (තස්මා රූපං ආබාධාය සංවත්තති) ඒ නිසා රූපය ආබාධය පිණිස පවතී. (න ච ලබ්භති රූපේ, ‘ඒවං මේ රූපං හෝතු, ඒවං මේ රූපං මා අහෝසී’ති) ඒ නිසා රූපය කෙරෙහි ‘මාගේ රූපය මෙසේ වේවා… මේ රූපය මෙසේ නොවේවා…’ කියලා ලබන්න බෑ.”

බුදුරජාණන් වහන්සේ වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියන ඔක්කොටමත් මේ විදිහට දේශනා කරලා ඊට පස්සේ දේශනා කරනවා “(යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං, අජ්ඣත්තං වා බහිද්ධා වා ඕළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා සබ්බං තං රූපං, ‘නේතං මම, නේසෝ හමස්මිං, න මේසෝ අත්තා’ති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං) මහණෙනි, මේ විදිහට අතීත වූ යම් රූපයක් ඇද්ද, අනාගත රූපයක් ඇද්ද, වර්තමාන රූපයක් ඇද්ද, ආධ්‍යාත්මික රූපයක් ඇද්ද, බාහිර රූපයක් ඇද්ද, ඕලාරික රූපයක් ඇද්ද, සියුම් රූපයක් ඇද්ද, හීන රූපයක් ඇද්ද, ප්‍රණීත රූපයක් ඇද්ද, යම් රූපයක් දුර ඇද්ද, යම් රූපයක් ළඟ ඇද්ද ඒ සියල්ල ‘මම නෙවෙයි… මාගේ නෙවෙයි… මාගේ ආත්මය නෙවෙයි…’ කියලා ඒ ආකාරයෙන් ම ප්‍රඥාවෙන් දකින්න. (ඒවං පස්සං භික්ඛවේ, සුතවා අරියසාවකෝ රූපස්මිම්පි නිබ්බින්දති) මෙහෙම දැක්කොත් ආර්ය ශ්‍රාවකයා රූපය කෙරෙහි කලකිරෙයි කියනවා.

කුමක්ද මේ ස්කන්ධ…?

දවසක් ස්වාමීන් වහන්සේනමක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, “ස්වාමීනී, ‘ස්කන්ධ… ස්කන්ධ…’ කියනවා. ස්කන්ධ කියන්නේ ඇයි?” කියලා. “මහණෙනි, යම් රූපයක් අතීත වේ ද අනාගත වේ ද වර්තමාන වේ ද ආධ්‍යාත්මික වේ ද බාහිර වේ ද ඕලාරික වේ ද සියුම් වේ ද හීන වේ ද ප්‍රණීත වේ ද දුර හෝ ළඟ වේ ද මේකට තමයි ස්කන්ධ කියන්නේ.” එතකොට ස්කන්ධ කියන එකේ අර්ථය ගොඩක් කියන එක නෙවෙයි. ස්කන්ධ කියන්නේ කාලය හා අවකාශය අතර පැවැත්ම. කාලය හා අවකාශය අතර පැවැත්ම තමයි ස්කන්ධ විදිහට විග්‍රහ කරන්නේ. ඒ විග්‍රහය තුළ තමයි සමස්ත සසර තියෙන්නේ.

ඒ සමස්ත සසරට අහුවෙන්නේ කල්පනා කරන රටාවෙන්නේ. එතකොට එයාට ඒ රටාවේ කොටසක්වත් ඉතිරි වෙන්නේ නෑ. අවබෝධයක් කරා ගියා ම එයා සියල්ල ගැන ම දුක දකිනවා. මොකද දේශනාවේ තියෙන්නේ ‘(යදනිච්චං තං දුක්ඛං) යමක් අනිත්‍ය ද එය දුකයි (යං දුක්ඛං තදනත්තා) යමක් දුකයි ද එය අනාත්මයි’ කියලනේ. මේ කාරණා අසා දැනගැනීමට ප්‍රඥාවන්ත මනුෂ්‍යයාට ඉඩක් තිබිය යුතුයි. අඩු ගණනේ මේ වගේ දෙයක් අහන්නවත් මනුෂ්‍යයාට සාධාරණ අයිතියක් තිබිය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ යමක් වදාළා ද ඒ වදාළ දේ අහන්න අයිතියක් තිබිය යුතුයි. ඒක තමයි මේ ලබාදෙන්නේ.

පටිච්චසමුප්පාදයත්… පටිච්චසමුප්පන්නත් කියන්නේ එකක් ද…?

බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදය ගැන විස්තර කරද්දී දේශනා කරනවා “(පටිච්චසමුප්පාදං ච ඛෝ භික්ඛවේ දේසිස්සාමි පටිච්චසමුප්පන්නං ච) මහණෙනි, මම පටිච්චසමුප්පාදයත් දේශනා කරමි. පටිච්චසමුප්පන්නයත් දේශනා කරමි. මහණෙනි, පටිච්චසමුප්පාදය කුමක්ද? අවිජ්ජා පච්චයා සංඛාරා… සංඛාර පච්චයා විඤ්ඤාණං… විඤ්ඤාණ පච්චයා නාමරූපං… නාමරූප පච්චයා සළායතනං… සළායතන පච්චයා ඵස්සෝ… ඵස්ස පච්චයා වේදනා… වේදනා පව්චයා තණ්හා… තණ්හා පච්චයා උපාදානං… උපාදාන පච්චයා භවෝ… භව පච්චයා ජාති… ජාති පච්චයා ජරාමරණං සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා සම්භවන්ති. මහණෙනි, මේ පටිච්චසමුප්පාදයයි.

මහණෙනි, පටිච්චසමුප්පන්න යැයි කියන්නේ කුමක් ද? මහණෙනි, යම් අවිද්‍යාවක් ඇද්ද මෙය හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයකි. අනිත්‍ය දෙයකි. මෙය සකස් වූ දෙයකි. ඒ නිසා මෙය පටිච්චසමුප්පන්නයි. මහණෙනි, යම් විඳීමක් ඇද්ද මෙය අනිත්‍ය වූ දෙයකි. මෙය සකස් වූ දෙයකි. මේක නැසී වැනසී යන දෙයකි. මෙය පටිච්චසමුප්පන්නයි.” පටිච්චසමුප්පාදය කියන්නේ අර සිද්ධි මාලාව. ඒ එකක් එකක් ගණනේ තියෙන්නේ පටිච්චසමුප්පන්න වූ එකක්. ඒ කියන්නේ හේතූන් නිසා හැදුණු එකක්. එතකොට හේතු නිසා හැදුණු එකක ලක්‍ෂණය තමයි හේතු නැතිවෙන කොට නැතිවෙනවා.

– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post ත්‍රිලක්ෂණය ගැන හරියට දැනගන්න appeared first on MAHAMEGHA.

බුද්ධ කාලයේ පැතිරී තිබූ අන්‍යාගමික මතවාද

$
0
0

වර්තමානයේ ලෝකයේ තියෙන විශ්වාස ගත්තොත් ඒ විශ්වාසවල දිව්‍ය ලෝක ගැනත්, අපාය ගැනත් ගොඩාක් විස්තර තියෙනවා. අපි ගත්තොත්, බුද්ධ කාලයේ හිටපු ශාස්තෘවරු අතර ප්‍රධාන වශයෙන් ම ‘ඍෂිවරු’ කියලා කොටසක් ඉඳලා තියෙනවා. ඊට අමතරව තමන්ගේ මතවාද ලෝකයට ප්‍රකාශ කරපු ආගමික නායකයෝ හය දෙනෙක් තමයි ‘ෂට්ශාස්තෘවරු’ කියලා කියන්නේ. ඒගොල්ලන්ගෙන් ‘නිගණ්ඨනාථපුත්‍ර’ කියන කෙනා ගොඩාක් ප්‍රසිද්ධ වෙලා හිටියා. නමුත් මේ අය ගොඩාක් දුරට කරලා තියෙන්නේ කල්පිත ගොඩනැගීම බව පේනවා. (මොකක් හරි තම තමන්ගේ පිනකුත් තියෙන්න ඇති) ඒ අය යම්කිසි මතවාදයක් කල්පනා කරලා ගොඩනගනවා. නමුත් මේ අයට ප්‍රත්‍යක්‍ෂ ඤාණයක් තිබුණා කියන්න තරම් සාක්ෂි නෑ.

උදාහරණයක් ලෙස අපි ගනිමු, නිගණ්ඨනාථපුත්‍ර ව. එක්තරා අවස්ථාවක නිගණ්ඨනාථපුත්‍රට චිත්ත ගෘහපති ව මුණගැසුණා. චිත්ත ගෘහපති කියන්නේ හතරවෙනි ධ්‍යානය දක්වා සමවදින, අනාගාමී ඵලයට පත් වූ බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයෙක්. දවසක් චිත්ත ගෘහපති බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන ගමන් වෙලාව ඉතිරි වෙලා තිබුණු නිසා නිගණ්ඨනාථපුත්‍ර හිටපු නිගණ්ඨ ආරාමයටත් ගියා. නිගණ්ඨ ආරාමයට යනකොට නිගණ්ඨනාථපුත්‍ර පිරිසත් එක්ක කතා කර කරයි හිටියේ. ඒ වෙලාවේ නිගණ්ඨනාථපුත්‍ර අහනවා,

“ආ… ඔයා ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෙක් නේ ද? ශ්‍රමණ ගෞතමයන් විස්තර කරගෙන යනවා නේ ද, පළමුවන ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය කියලා? ඒ වුණාට කොහේ ද ඔච්චර ධ්‍යාන තියෙන්නේ?”

විශ්වාසය, ශ්‍රද්ධාව ඉක්මවා ගිය ප්‍රත්‍යක්ෂ අවබෝධය…

එතකොට මේකෙන් අපට පැහැදිලිව ම පේනවා, නිගණ්ඨනාථපුත්‍ර විශ්වාස කළේ පළමුවෙනි ධ්‍යානය විතරයි. එතකොට අපට තේරුම් ගත හැකියි, එයා අවුරුදු දොළහක් තපස් කරලා සම්පූර්ණ ඤාණය ගත්තා කියන අදහසේ ඉඳලා තියෙන්නේ පළමුවෙනි ධ්‍යානය ගැන. ඒ කියන්නේ කේවල ඤාණය ලබාගත්තා කියලයි හිතාගෙන ඉඳලා තියෙන්නේ. (කේවල කියන්නේ perfect වගේ අර්ථයක්) නමුත් එයා ඒ රැවටිලා තියෙන්නේ ප්‍රථම ධ්‍යානයට. නිගණ්ඨනාථපුත්‍ර චිත්ත ගෘහපතිගෙන් අහනවා,

“විතක්ක විචාර නැති ධ්‍යානයකට සම වදින්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවා ද?” විතක්ක විචාර නැති ධ්‍යානය කියන්නේ දෙවෙනි ධ්‍යානයටනේ. එතකොට චිත්ත ගෘහපති පිළිතුරු දෙනවා,

“මම ඒක හුදෙක් විශ්වාසයකින්, හුදෙක් ශ්‍රද්ධාවකින් අදහන්නේ නැහැ.”

එතකොට නිගණ්ඨනාථපුත්‍ර ශ්‍රාවකයන්ට කියනවා, “බලන්න ශ්‍රාවකවරුනි, මේ චිත්ත ගෘහපති කොච්චර ඍජු ද කියලා? ශ්‍රමණ ගෞතමයන් පළමුවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය කිය කියා එක එක ධ්‍යාන විස්තර කරනවා. විතක්ක විචාර නැති සමාධියක් තියෙනවා කියලා කියනවා. මේ බලන්න, ඒ වුණාට උන්වහන්සේගේ ම ශ්‍රාවකයෝ ඒවා ශ්‍රද්ධාවෙන් පිළිගන්නේ නෑ කියලනේ මේ කියන්නේ…”

එතකොට චිත්ත ගෘහපති නිගණ්ඨනාථපුත්‍රගෙන් අහනවා, “ශ්‍රද්ධාවෙන් පිළිගැනීම ද වටින්නේ… එහෙම නැත්නම් අත්දැකීමෙන් පිළිගැනීම ද?”

“අත්දැකීමෙන් පිළිගැනීම තමයි වටින්නේ.”

එතකොට චිත්ත ගෘහපති කියනවා, “මම කැමති තාක් කල් විතක්ක විචාර සහිත වූ පළමුවෙනි ධ්‍යානයේ ඉන්නවා. මම කැමති තාක් කල් විතක්ක විචාර රහිත වූ දෙවෙනි ධ්‍යානයෙත් ඉන්නවා. ඒ වගේ ම මම කැමති තාක් කල් තුන්වෙනි, හතරවෙනි කියන ධ්‍යානවලත් ඉන්නවා. මම කැමති තාක් කල් ඒ විදිහට ධ්‍යානවලට සමවදිනවා නම් මම මොකට ද ඒක ශ්‍රද්ධාවෙන් අදහන්නේ. ඒක මගේ අත්දැකීමක්නේ.”

ඒ සැණෙකින් ම නිගණ්ඨනාථපුත්‍ර චිත්ත ගෘහපතිට විරුද්ධව කතා කරනවා, “මේන් බලන්න… මේ මනුස්සයා දැන් ටිකකට කලින් එකක් කිව්වා. දැන් වෙන එකක් කියනවා.” එහෙම කියලා සම්පූර්ණයෙන්ම චිත්ත ගෘහපතිට දොස් කිව්වා. එතකොට අපට ඒ වගේ දේශනාවල් දිහා බලපුවාම පෙනී යනවා, මේගොල්ලන්ට එහෙම විශේෂ දෙයක් තිබිලා නැහැ. අද වර්තමාන ලෝකයේ මිනිස්සුන්ව සුළු දෙයකින් මුළා කරන්නේ යම් සේ ද එබඳු ආකාරයෙන් ම යි ඒ කාලයෙත් මුළා කරලා තියෙන්නේ.

දෘෂ්ටිගතික වීමේ අනතුර…

‘බ්‍රහ්මජාල සූත්‍රයේ දී’ බුදුරජාණන් වහන්සේ සමහර මනුෂ්‍යයන් දෘෂ්ටිගතික වන ආකාරය ගැන දේශනා කරලා තියෙනවා. ඒක ෂට්ශාස්තෘන්ගේ දර්ශනයට වඩා වෙනස් එකක්. ඔන්න කෙනෙක් සමාධියක් උපද්දවනවා. සමාධියක් උපද්දවලා ආපස්සට බලනවා. නමුත් එයා සමහර වෙලාවට අරූප ලෝකයේ ඉඳලා ආපු කෙනෙක්. එයා මීට ආත්මභාව හතකට කලින් අරූප ලෝකයේ ඉඳලා ඇවිත් තියෙන්නේ. දැන් මෙයාට ආත්මභාව හතක් පේනවා. නමුත් ඒ ආත්ම හතෙන් එහා පේන්නේ නෑ. ඒ පේන්නේ නැත්තේ අරූප ලෝකයේ හිටපු නිසයි. එතකොට මෙයා හිතනවා, ‘හරි… එහෙම නම් මෙච්චර කාලයයි මගේ පැවැත්මට තියෙන්නේ…’ කියලා. ඊට පස්සේ එයා ඒ අත්දැකීමෙන් දෘෂ්ටි ගන්නවා.

ඊ ළඟට සමහර බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයෝ පවා මුළාවෙන අවස්ථා ගැන බුද්ධ දේශනාවල විස්තර තියෙනවා. එක තැනක මේ විදිහට විස්තරයක් තියෙනවා. ඔන්න එක ශූන්‍ය බ්‍රහ්ම විමානයක ඕපපාතිකව එක්තරා බ්‍රහ්මයෙක් උපදිනවා. කාලයක් ඉන්නකොට එයා කල්පනා කරනවා, ‘දැන් මම මේ බ්‍රහ්ම ලෝකයේ කාලයක් තිස්සේ තනිව ම යි ඉන්නේ. තවත් බ්‍රහ්මයෙක් පහළ වුණා නම් සුදුසුයි’ කියලා. ඉතින් මේ විදිහට ‘තව බ්‍රහ්මයෙක් පහළ වේවා…!’ කිය කියා හිත හිතා ඉන්නකොට, ඔන්න කර්මානුරූපව කවුරු හරි මැරිලා ඇවිත් ඒ බ්‍රහ්ම විමානයේ ම උපදිනවා. එතකොට මෙයා හිතනවා, ‘මම ප්‍රාර්ථනා කරපු නිසා ඒ ප්‍රාර්ථනාවෙන් තමයි ඒ බ්‍රහ්මයා උපන්නේ’ කියලා. එතකොට ඒ බ්‍රහ්මයාට ‘මම මෙයාව මැව්වා’ කියලා නිර්මාණවාදී දෘෂ්ටියක් එනවා. ඊට පස්සේ අර අලුතින් ඉපදුණු බ්‍රහ්මයාට පරණ බ්‍රහ්මයා කියනවා, “මේකේ කලින් වෙන බ්‍රහ්මයෝ හිටියේ නැහැ. මම ප්‍රාර්ථනා කරලා, අධිෂ්ඨාන කළා… මගේ අධිෂ්ඨානයෙන් තමයි ඔහේ උපන්නේ…” කියලා. ඊට පස්සේ අර අලුතින් ආපු බ්‍රහ්මයත් අදහා ගන්නවා ‘එහෙම නම් මෙයාගේ අධිෂ්ඨානයෙන් තමයි මාව මවලා තියෙන්නේ…’ කියලා. එතකොට මේ වගේ අත්දැකීම්වල ඇති අසම්පූර්ණකම නිසා තමයි මනුස්සයා දෘෂ්ටිගත වෙන්නේ.

නිගණ්ඨ ධර්මය අන්තවාදී උපවාසයක්…

බුදුරජාණන් වහන්සේගේ ඤාණය සම්පූර්ණ එකක්. අනිත් ඔක්කොම ඤාණ අසම්පූර්ණයි. සමහර නූගත් උගතුන් කොච්චර මෝඩයි ද කියන්නේ ඒ අය බුද්ධ දේශනාවයි, නිගණ්ඨනාථපුත්‍රගේ ධර්මයයි සමාන කරන්න හදනවා. මේ දෙක අහසට පොළව වගේ. නිගණ්ඨනාථපුත්‍ර කර්ම කර්මඵලවත් විශ්වාස කළේ නැහැ. ‘ගිහිල්ලා බැණපන්… වාද කරපන්… මේක නැති කරපන්…’ කිය කියා බුදුරජාණන් වහන්සේට එරෙහිව කොච්චර ශ්‍රාවකයන් පෙළඹෙව්ව ද? අවබෝධය තියෙන මනුස්සයෙකුට එහෙම කරන්න බැහැනේ. නිගණ්ඨනාථපුත්‍රගේ ධර්මයේ උගන්වන්නේ අන්තවාදී උපවාසයක්. නිගණ්ඨනාථපුත්‍රගේ සමහර ශ්‍රාවකයෝ කෑම බීම ප්‍රතික්ෂේප කරලා වතුරත් බොන්නේ නැතුව මැරෙනවා. එතකොට අනිත් ශ්‍රාවකයෝ අහනවා, ‘එහෙම මැරුණාම කොහේද ගිහින් උපදින්නේ?’ කියලා. එතකොට නිගණ්ඨනාථපුත්‍ර කියනවා, ‘අසවල් දිව්‍ය ලෝකවල තමයි එහෙම අය උපදින්නේ’ කියලා. මොකද නිගණ්ඨනාථපුත්‍ර හැමතිස්සේම කිව්වේ ‘මනෝකර්මය නෙවෙයි, කායකර්මය තමයි බලවත්’ කියලයි.
එතකොට අපට පේනවා, කර්මය පිළිබඳ ඤාණයකුත් එයාට තිබිලා නැහැ. ලෝක ධර්මය පිළිබඳ ඤාණයකුත් නැහැ. නමුත් එලවළුයි, බතුයි කාගෙන තපස් රැකගෙන ඉන්නකොට ලෝකයා ව පහදවා ගන්න හරිම ලේසියිනේ. ඒ පැහැදිල්ලට කිසි අවබෝධයක් නෑ. අවබෝධයක් නැති මනුස්සයෙකුට හරි ලේසි මාතෘකාවල්නේ මේවා.

මිනිසුන් ඩැහැගන්නා භයානක කෙමනක්…

ඒ වගේ ම තමයි, සංජය බෙල්ලට්ඨිපුත්ත වගේ අය දාපු මතයනුත් ඉන්දියන් මිනිස්සුන්ගේ ඔළුවේ අදටත් තියෙනවා. මක්ඛලීගෝසලගේ මතයේ තියෙන්නේ සම්පූර්ණයෙන් ම මනුස්සයාගේ ක්‍රියාව බාල්දු කරන අදහසක්. සාමාන්‍යයෙන් අපේ වටිනා ම දේ ක්‍රියාවනේ. ඒ කෙනා ක්‍රියාවට කිසිම වටිනාකමක් දෙන්නේ නෑ. එයා කියනවා, ‘තපස් රැකලා වැඩක් නෑ… උත්සාහ කරලා වැඩක් නෑ… වීරිය කරලා වැඩක් නෑ… විමුක්තිය පිණිස කල්පනා කරලා වැඩක් නෑ… අනිවාර්යයෙන් ම අසූහාරදාහක් යෝනිවල උපදින්න ඕන… නූල් බෝලයක් අරගෙන කන්දක් උඩට ගිහිල්ලා නූල් බෝලේ කොණ අල්ලගෙන නූල් බෝලේ වීසි කළා ම නූලේ දිග ඇති තාක් කල් නූල් බෝලේ ගිහිල්ලා නූල නිකම් ම ලිහිලා යනවා වගේ, මේකත් නිකම් ම යන්න දෙන්න ඕන. අනිවාර්යයෙන් ම හැම කෙනෙක් ම එයාගේ අදාළ උපත් ගණන සම්පූර්ණ වූ ගමන් ඉබේ ම විමුක්තිය කරා යනවා. ආයෙමත් අමුතුවෙන් මොකුත් කරන්න ඕන නැහැ’ කියලා.

‘අසූහාරදාහක් යෝනිවල උපදින්න ඕන’ කියන මේ දෘෂ්ටිය කොච්චර මේ සමාජයට කා වැද්දුව ද කියන්නේ, මේක අදටත් ඉන්දියානු සමාජයේ තියෙනවා. මේක තමයි මක්ඛලීගෝසාලගේ මතය. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දී දේශනා කරනවා,

“මහණෙනි, මේ ‘මක්ඛලී’ නමැති හිස් පුරුෂයා මනුස්සයාව දෘෂ්ටිවල හිර කරන විදිහ හරියට මිනිස් කෙමනක් වගේ. (කෙමන කියලා කියන්නේ මාළුන්ව හිර කරන එකට) මේ හිස් පුරුෂයා මිනිස්සුන්ව මේකේ හිරකරනවා.” එතකොට අපට පේනවා, යමෙක් ඒ මතයට පැහැදුණාට පස්සේ එයා ගන්නෙත් ඒ මතයනේ. මක්ඛලීගෝසාල ලොකු ලිස්ට් එකකුත් කියවනවා. ‘මෙන්න මෙහෙම යෝනි හතක් තියෙනවා… භව හතක් තියෙනවා… අරවා හතක් තියෙනවා… මේවා හතක් තියෙනවා…’ කියලා ලොකුවට ගණන් හදලා, ලොකු ලිස්ට් එකක් පෙන්වනවා. ඉතින් මේ ලිස්ට් එක බැලුවාම සමහර මිනිස්සු හිතනවා, ‘මෙයා මේ විශේෂ ඤාණයකින් තමයි මේ ලිස්ට් එක කිව්වේ…’ කියලා. ඒකට වුවමනා කරන විදිහට එයා ඔක්කොම වටපිටාව හදාගන්නවා. ඊට පස්සේ ඒ මත ලස්සනට විස්තර කර කර වාද කර කර හදනවා. සාමාන්‍යයෙන් යථාර්ථය දන්නේ නැති මනුස්සයා, ජීවිත අවබෝධයක් නැති මනුස්සයා මේ වගේ දේවල්වලට මුළා වෙනවා. ඉතින් මේ වගේ තමයි ගොඩාක් දුරට ඒ දෘෂ්ටි ඇවිල්ලා තියෙන්නේ.

The post බුද්ධ කාලයේ පැතිරී තිබූ අන්‍යාගමික මතවාද appeared first on MAHAMEGHA.

සයුරේ අසිරිය ධර්මයේ

$
0
0

පහාරාද සූත්‍රයේ තියෙනවා මෙහෙම එකක්. ‘පහාරාද’ කියලා කියන්නේ අසුරේන්ද්‍රයෙක්. අසුරේන්ද්‍රයෙක් කියලා කියන්නේ අසුර නායකයෙක්. ‘පහාරාද’ කියන අසුර නායකයා ඇතුලු අසුර පිරිස මහා සාගරයට ආස කරගෙන, මුහුද ආශ්‍රිතව තමයි ඉඳලා තියෙන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ අහනවා, “පහාරාද, අසුරයෝ මොකද මුහුදට මේ තරම් ආසා කරන්නේ?” එතකොට පහාරාද කියනවා, “භාග්‍යවතුන් වහන්ස, අපි මේ මුහුදට ආසා කරන්නේ මේ මුහුද පටන් ගත්තු තැන ම ගැඹුර නෑ. මේක ක්‍රම ක්‍රමයෙන් ගැඹුරට යන එකක්. මේ කාරණය නිසාත් අපි මුහුදට කැමතියි.

ඒ වගේ ම භාග්‍යවතුන් වහන්ස, මේ මුහුදේ කොහෙන් ගත්තත් ලවණ රසයෙන් යුක්තයි. ඒකටත් අපි කැමතියි. ඒ වගේ ම භාග්‍යවතුන් වහන්ස, මේ මුහුදේ කුණු රැඳෙන්නෙත් නෑ. මළකුණු, ජරාව මොකවත් රැඳෙන්නේ නෑ, ඒ ඔක්කොම ගොඩගහනවා. ඒ නිසාත් අපි මේ මුහුදට කැමතියි. ඒ විතරක් නෙවෙයි භාග්‍යවතුන් වහන්ස, මේ මුහුදේ ඉන්නවා මහා විශාල මත්ස්‍යරාජයෝ. ඒ නිසාත් අපි මුහුදට ආසයි.

භාග්‍යවතුන් වහන්ස, ඒ විතරක් නෙවෙයි, මේ මුහුදේ වටිනා මුතු මැණික් තියෙනවා. ඒ නිසාත් අපි මේ මුහුදට ආසයි. ඒ වගේ ම භාග්‍යවතුන් වහන්ස, මේ මුහුදේ තියෙන තවත් විශේෂත්වයක් තමයි, මේ මුහුද වෙරළ ඉක්මවා යන්නේ නෑ. ඒ නිසත් අපි මේ මුහුදට හරි ආසයි. භාග්‍යවතුන් වහන්ස, ගංගා, යමුනා, සරස්වතී, සරභූ, මහී කියන මහා ගංගාවලින් ජලය නිරන්තරයෙන් ම ගැලුවත් මේ මුහුද පිරෙන්නේ නැහැ. කොච්චර ජලය ගලාගෙන මුහුදට ආවත් මුහුද වැඩිවෙන්නේ නෑ. ඒ නිසත් අපි මේ මුහුදට ආසයි.”

ශාසනය ක්‍රම ක්‍රමයෙන් ගැඹුරට යන එකක්…

එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා, “පහාරාද, ඒ වගේ තමයි මගේ ශාසනයේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිව්වණක් පිරිස මේ බුද්ධ ශාසනයටත් ආස ඔයා මුහුදට ආසා කළ විදිහට ම තමයි. පහාරාද, මේ බුද්ධ ශාසනයේ තියෙන්නෙත් ක්‍රම ක්‍රමයෙන් ගැඹුරට යන එකක්. ඒ කියන්නේ පන්සිල් සමාදන් වූ කෙනා අටසිල් ගැන දැනගන්න ඕන. ඊ ළඟට දසසිල්, උපසම්පදා සිල් තියෙනවා කියලා දැනගන්න ඕන. ධ්‍යාන ගැන දැනගන්න ඕන. ඊ ළඟට නීවරණ ගැන දැනගන්න ඕන. ක්‍රම ක්‍රමයෙන් ගැඹුරෙන් ප්‍රඥාව ගැන දැනගන්න ඕන. මේ විදිහට දැනගන්න කොට තමයි එයා මේකේ තියෙන වටිනාකම දකින්නේ. ඒක නිසා පහාරාද, මේ උතුම් බුද්ධ ශාසනය කෙරෙහි මාගේ ශ්‍රාවකයෝ හිත පහදවා ගන්නවා.”

නැත්නම් අපි හැමදාම “අම්මට සලකන්න… තාත්තට සලකන්න…” කිය කිය අඬ අඬා ඉඳලා හරියන්නේ නැහැ. මොකද ඒක සාමාන්‍ය ලෝකයේ කවුරුත් කතා කරන එකනේ. හම්බකරන එක ගැන, වියදම් කරන එක ගැන ලෝකයේ කෙළවරක් නැතුව කතා කරනවා. අවවාද කරනවා. උපදෙස් දෙනවා. කෙළවරක් නෑ.

ඊ ළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා,

“පහාරාද, දැන් බලන්න, ඔයා කිව්වා, ‘මුහුද වෙරළ ඉක්මවා යන්නේ නැහැ’ කියලා. ඒ වගේ තමයි මාගේ ශ්‍රාවකයෝ ජීවිතය පරදුවට තියලා, ඉන්ද්‍රිය සංවරයෙන් ජීවිතය ආරක්‍ෂා කරගෙන ඉන්නවා. දිවිහිමියෙන් සිල්පද ආරක්ෂා කරනවා. මම යමක් එපා කිව්වා නම්, ඒ එපා කියපු දේ ආයෙමත් කරන්න යන්නේ නෑ. මේ නිසත් මගේ ශ්‍රාවකයෝ මේ බුද්ධ ශාසනය කෙරෙහි පහදිනවා.

බුදු සසුනේ මහානීය වස්තු…

පහාරාද, ඒ වගේම ඔයා කිව්වා, මහා සාගරයේ මුතු මැණික් ආදී වටිනා දේවල් තියෙනවා. ඒක නිසාත් සාගරයට හරි ආසයි කියලා. ඒ වගේ තමයි මේ බුද්ධ ශාසනයෙත් තියෙනවා, ‘සතර සතිපට්ඨානය, සතර සම්‍යක්පධාන වීර්යය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය’ කියලා බොහෝම වටිනා තිස් හතක් වූ මාණික්‍ය. ඒවා තියෙන්නෙත් මේ බුද්ධ ශාසනයේ නිසා මාගේ ශ්‍රාවකයෝ ඒ කෙරෙහිත් සිත පහදවා ගන්නවා.

ඒ වගේ ම පහාරාද, ඔබ කිව්වා මහා සාගරයේ විශාල මත්ස්‍යරාජයෝ ඉන්නවා කියලා. ඒ හේතුවෙනුත් සාගරයට ආසයි කියලා. ඒ වගේ තමයි මේ බුද්ධ ශාසනය තුළ ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේ, ඉර්ධි බලයෙන් අග්‍ර මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, ඒ වගේ ම ධුතාංග ගුණයෙන් අග්‍ර මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ආදී මහා ගුණයන්ගෙන් යුක්ත සඟ පරපුරක් වැඩඉන්නවා. මේක නිසාත් මාගේ ශ්‍රාවකයෝ මේ ශාසනයට කැමතියි.

පහාරාද, ඒ වගේ ම මහා සාගරයේ වතුර කොහෙන් ගත්තත් ලවණ රසයි. ඒ නිසත් ඔබ මුහුදට ආසයි කිව්වා. ඒ වගේ ම තමයි පහාරාද, මේ බුද්ධ ශාසනයේ කොහෙන් ගත්තත් තියෙන්නේ විමුක්ති රසයයි. මේක නිසාත් මගේ ශාසනයට ශ්‍රාවකයෝ මේ බුදු සසුනට කැමතියි.”

සියලු බුද්ධ දේශනාවන්හි ඇත්තේ විමුක්ති රසයයි…

එතකොට බලන්න, බුද්ධ ශාසනය තුළ තියෙන විමුක්ති රසය ගැන අපි කතා කරන්නේ නැත්නම් මේක එහෙම නම් වේළුණ එකක් වෙන්න ඕන. එහෙම එකක් නෑ. ඒකෙන් එහෙම නම් කතා කරන්න තියෙන්නේ කන බොන හැටියි. ‘මෙහෙම ඇඳපන්… මෙහෙම කාපන්… මෙහෙම ඉඳපන්… මෙහෙම ජීවත් වෙයන්… මළාට පස්සේ මොකුත් හිතන්න එපා…!’ කියලා අපි කතා කළොත් ඒක අයිති වෙන්නේ අජිත කේසකම්බලගේ දර්ශනයටයි. ඒක බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අයිති වෙන්නේ නෑ. ‘මළාට පස්සේ මොනවා වුණත් කමක් නෑ. ඉන්න කල් හරියට ඉඳපන්…’ කියලා කීම තනිකර උච්ඡේදවාදය.

නමුත් බුද්ධ දේශනාවල තියෙන්නේ විමුක්ති රසයයි. ගංගාවලින් කොයිතරම් මුහුදුට ජලය ගැලුවත් මුහුද වැඩිවෙන්නේ නැහැනේ. ඒ වගේ තමයි මේ ශාසනය තුළ රහතන් වහන්සේලා මොනතරම් පිරිනිවන් පෑවත් නිර්වාණය කියන එක එහෙම උතුරා යන්නේ නෑ. හරිම ලස්සනයි, මේ බුද්ධ දේශනා. ඉතින් ඒක බුද්ධ දේශනා දිහා හොඳට බැලුවාම තේරුම් ගන්න පුළුවන්. ක්‍රමානුකූල ගැඹුරට යාමක් මේකේ තියෙනවා, කියන කාරණය බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්න හැම කෙනෙකුට ම සතුටුදායක කාරණයක්. ‘ඕක ගැඹුරුයි… ඕක ගැඹුරුයි… ඕවා වැඩක් නෑ…’ කියලා අපි ධර්මයට ගරහන්න ඕන නෑනේ. මේක ක්‍රමානුකූලව ගැඹුරට යන වැඩපිළිවෙළක් තියෙන්නේ කියලා තේරුම් ගත්තා නම් හරි.

ශාසන චිරස්ථිතිය කරුණු පහක් මත…

බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා, “මහණෙනි, මේ බුද්ධ ශාසනය පවතින්න නම් ශාස්තෘන් වහන්සේට ගෞරව කරන්න ඕන. ධර්මයට ගෞරව කරන්න ඕන. සංඝයාට ගෞරව කරන්න ඕන. ශික්ෂාවට ගෞරව කරන්න ඕන” කියලා. ‘විනය පිටකය මේ කාලයට හරියන්නේ නැහැ… ඒක වෙනස් කරගන්න ඕන…’ කියලා අපි ශික්ෂාවට ගැරහුවොත්, ඒ විදිහට ගරහන පිරිසකගෙන් ශාසනයක් රැකෙන්නේ නැහැ. සමාජය තුළ තිබෙන පොදු පිළිගැනීමට වුවමනා කරන සමාජ තත්ත්ව තියෙනවානේ. සමාජ තත්ත්ව කියලා කියන්නේ ක්‍රියාවකට අදාළ දෙයක් නෙවෙයිනේ. ඒක අදාළ නිකම් ෂෝ එකටනේ. සමාජ තත්ත්වය ගැන නෙවෙයි මේ කියන්නේ. ජීවිතයේ හර පද්ධතිය ආරක්ෂා කරන්නේ සාරවත් වූ දෙයකින්. ‘විනය පිටකය මේ කාලයට හරියන්නේ නැහැ… ඒක වෙනස් කරගන්න ඕන…’ කියලා දැනටමත් කතාවල් යනවානේ. එතකොට මේ කතාවල් යන එකේ තේරුම තමයි, මේ ශාසනය හඳුනන්නේ නෑ කියන එක.

බුද්ධ දේශනාවේ කරුණු පහක් දක්වනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය දක්වන්න ඕන. ධර්මය කෙරෙහි ගෞරවය දක්වන්න ඕන. සංඝයා කෙරෙහි ගෞරවය දක්වන්න ඕන. ශික්ෂාව කෙරෙහි ගෞරවය දක්වන්න ඕන. සමාධිය කෙරෙහි ගෞරවය දක්වන්න ඕන. මෙතැන සමාධිය ගැන විශේෂයෙන් දක්වලා තියෙනවා. ‘සමාධියක් ඕන නෑ මේවා කරන්න…’ කියලා කිව්වොත් එහෙම, එතැන කෙළින් ම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනයට එරෙහි වීමක්. ඒක හානිකරයි. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳට ඉගෙන ගත යුත්තේ ඒ නිසයි.

‘නමෝ බුද්ධාය’ සජීව සදහම් කතිකාවත ඇසුරින්,
– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post සයුරේ අසිරිය ධර්මයේ appeared first on MAHAMEGHA.

දුක අවබෝධ කරන ආර්ය න්‍යාය…

$
0
0

අපට හොඳට පේනවා, සෝතාපන්න වෙනවා කියන එක ගැන සමාජයේ එක එක මත තිබුණත් ඒකෙන් ඇති වැඩක් නෑ. ඒක තේරෙන්නේ බුද්ධ දේශනා බලද්දී. හරි වටිනා දේශනාවක් තමයි ඔය ‘පංචභයවේර සූත්‍රය.’ මේකෙදී ආර්ය න්‍යාය විස්තර කරනවා. ඒ තමයි ඉමස්මිං සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මේක තමයි දුකේ හටගැනීම පිළිබඳව න්‍යාය. ඉමස්මිං අසති ඉදං න හෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති. ඒක තමයි දුකේ නිරුද්ධ වීම පිළිබඳ න්‍යාය. න්‍යාය කියන්නේ මේ ආකාරයට තමයි මේක සිද්ධ වෙන්නේ කියන එක. ඒ සිද්ධවෙන ආකාරය ගැන ඒ විදිහට ම දැනගන්න ඕන.

මේ ධර්මය අහන්නේ නැතුව භාවනා කරගෙන ගියපු යෝගීන්ව මට හරියට මුණගැසිලා තියෙනවා. ඔන්න ධර්මය හරියට දැනගන්නේ නැතුව ඔය මොනවා හරි භාවනා උපදෙස් ටිකක් ලැබිලා මෙයා දැන් භාවනා කරගෙන යනවා. මට හම්බ වුණා, ඒ වගේ එක අම්මා කෙනෙක්. එයා කිව්වා, ‘එයා මාර්ග ඵල ලැබුවා…’ කියලා. ඉතින් අපි ඇහුවා ‘අම්මාට කොහොමද ඒ අත්දැකීම ලැබුණේ?’ කියලා. ‘භාවනා කරගෙන ගියාම හිත උඩට ගියා. එහෙම ගිහිල්ලා එකපාරටම මොකුත් නොතේරී ගියා. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට ඔන්න තේරෙන්න ගත්තා. එතකොට විෂ්ණු දෙවියෝ ඇවිදින් මාල් මාලයක් දැම්මා’ කිව්වා. එතකොට සම්පූර්ණයෙන් ම එතැන තියෙන්නේ මනෝ විකාරයක්නේ. ඒ උපදෙස් දුන්න කෙනාට මේක කිව්වට පස්සේ ‘දැන් ඉතින් හරි එහෙම නම්… ඔයා ඵලයට පත් වුණා…’ කියලා කියයි.

සැබෑවටම හදිස්සි විය යුත්තේ කුමකට ද…?

මේ වගේ විකාර කතාවල් නිසා ධර්මයත් හෑල්ලු වෙනවා. මොකද හේතුව, ධර්මය නෙවෙයි, මේ කතා කරලා තියෙන්නේ. ධර්මය කතා කළා නම් එයා මාර්ග ඵලවලට නෙවෙයි හදිස්සි වෙන්න ඕන. ධර්මය නිවැරදිව අවබෝධ කර ගන්නයි එයා හදිස්සි වෙන්න ඕන. එයා ධර්මය හරි විදිහට අහලා තිබුණා නම් එයාට තනිවම හරි ගමන යන්න පුළුවන්. බුද්ධ දේශනාවේ තියෙනවා ‘සවණේනපි කතං හෝති’ කියලා. ශ්‍රවණයෙන් කරන දේ හරියට කරලා නම් එයාට අවුලක් නැතුව යන්න පුළුවන්. අපි අවුල් වෙන්නේ මොකද? පියවර තබන තබන පාසා එයාට සැකය උපදිනවා. ‘මේක හරි ද? මේක හරි ද?’ කියලා එයාට නිතර ම සැක උපදිනවා. එතකොට බාහිර මතයක් හදාගෙන තමයි එයාට ඒකේ යන්න තියෙන්නේ.

බුද්ධ දේශනා ගැන එයාට හොඳ දැනීමක් තිබුණා නම් එහෙම වෙන්නේ නෑ. මම ඇත්ත වශයෙන්ම බුද්ධ දේශනා සිංහලයට පරිවර්තනය කරන්න හේතුවුණේ ඒකයි. මොකද, මේ මිනිස්සු ඇවිල්ලා අපිත් එක්ක එක එක විකාර කියවනවානේ. ‘අනේ මම මග ඵල ලැබුව ද?’ කියලා එක එක ඒවා අහනවා. ඉතින් එතකොට අපට පේනවා, මේ මනුෂ්‍යයින්ට සාධාරණය ඉෂ්ට විය යුතුයි. සාධාරණය තමයි මේ බුද්ධ දේශනාවල් තේරෙන භාෂාවෙන් දැනගන්න සැලැස්විය යුතුයි. ඒක තමයි මම කළේ. ඒක නිසා තමයි මේ ධර්මය කෙරෙහි බොහෝ දෙනෙක් පැහැදුණේ.

සෝතාපන්න කෙනෙකුගේ ඤාණයක්…

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, මේ ආර්ය න්‍යාය පිළිබඳ ඤාණය සෝතාපන්න වූ කෙනෙකුගේ අවබෝධයක් කියලා. ආර්ය න්‍යාය ගැන සඳහන් වෙන්නේ ‘ඉමස්මිං සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති’ කියලයි. හරි වැදගත් ඒ කරුණු දෙක. තේරෙන භාෂාවෙන් අපි ඒක කියනවා නම් (ඉමස්මිං සති ඉදං හෝති) මෙය ඇති කල්හී මෙය වේ. (ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති) මෙය ඉපදීමෙන් මෙය උපදී. මේක තමයි දුක හටගැනීම පිළිබඳව න්‍යාය. (ඉමස්මිං අසති ඉදං න හෝති) මෙය නැති කල්හී මෙය නැත. (ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති) මෙය නිරුද්ධ වන විට මෙය නිරුද්ධ වේ. ඒකේ පෙන්වා දෙන්නේ, හේතුව හටගන්නකොට ඵලය හටගන්නවා. හේතුව නැති වුනාම ඵලය නැති වෙනවා කියන එක.

තවත් පැහැදිලි කර ගන්නට මෙහෙම තේරුම් ගනිමු. (ඉමස්මිං සති ඉදං හෝති) හේතු ඇති කල්හී ඵලය ඇත. (ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති) හේතුව ඉපදීමෙන් ඵලය උපදී. (ඉමස්මිං අසති ඉදං න හෝති) හේතුව නැති කල්හී ඵලය නැත. (ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති) හේතුව නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධ වේ. ඒ කියන්නේ අවිද්‍යාව ඇති කල්හී සංස්කාර ඇත. අවිද්‍යාව ඉපදීමෙන් සංස්කාර උපදී. සංස්කාර ඇති කල්හී විඤ්ඤාණය ඇත. සංස්කාර උපදින විට විඤ්ඤාණය උපදී. විඤ්ඤාණය ඇති කල්හී නාමරූප ඇත. විඤ්ඤාණය උපදින විට නාමරූප උපදී.

නාමරූප ඇති කල්හී සළායතන ඇත. නාමරූප උපදින විට සළායතන උපදී. සළායතන ඇති කල්හී ස්පර්ශය ඇත. සළායතන උපදින විට ස්පර්ශය උපදී. ස්පර්ශය ඇති කල්හී විඳීම ඇත. ස්පර්ශය උපදින විට විඳීම උපදී. විඳීම ඇති කල්හී තණ්හාව ඇත. විඳීම උපදිනවිට තණ්හාව උපදී.

එහෙම නම් යම් තැනක විඳීම හටගන්නවා නම් එතැන තෘෂ්ණාව හටගන්නවා. තණ්හාව ඇති කල්හී උපාදාන ඇත. යම් තැනක තෘෂ්ණාව තියෙනවා ද එතැන තමයි මෙයා ග්‍රහණය වෙන්නේ. එතකොට තණ්හාව හටගන්න තැන තමයි ග්‍රහණය වීම තියෙන්නේ. (ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති) යම් තැනක උපාදාන ඇද්ද එතැන භවය තියෙනවා. ඒ කියන්නේ උපාදාන හටගන්න කොට භවය හටගන්නවා. යම් තැනක භවය ඇද්ද එතැන උපත ඇත. එතකොට භවය හටගැනීමෙන් ඉපදීම හට ගනී. මේක හරිම වැදගත් විස්තරයක්.

එහෙම නම් අපි උපදින්නේ චුති සිත නිසා නෙවෙයි, භවය නිසයි. නැත්නම් අපි කියන්නේ සිත චුත වීමෙන් උපදිනවා කියලනේ. මේකෙදී පටිච්ච සමුප්පාදය පැටලෙන්නේ නෑ. පටිච්ච සමුප්පාදය හරියටම හරි. එහෙම නම් උපාදාන ඇති කල්හී භවය ඇත. උපාදාන හටගන්නා විට භවය හටගනී. භවය ඇති කල්හී ඉපදීම ඇත. භවය හටගන්නා විට උපදී. එහෙම නම් උපදින්නේ භවය හටගන්නා නිසයි. (භව පච්චයා ජාති) එතකොට භවය හටගන්නේ නැත්නම්, භවය නිරුද්ධ නම්? (භව නිරෝධෝ නිබ්බානං) භව නිරෝධය නිවනයි. මේවා හරිම පැහැදිලියි. ඒ තුළ මාර්ගය වඩන්න පුළුවන්. වාද හටගන්නේ නෑ.

මේ ජීවිතයේ ම සෝතාපන්න වෙන්න පුළුවන්

සමහර විට මේ විස්තරය කියවන කෙනෙකුට සෝතාපන්න වෙන්න අදහසක් නොතිබෙන්න පුළුවන්. ඒ අදහසින් ධර්මය නොඅසන්න පුළුවන්. නමුත් එයාට තේරුණොත් ‘මේ සෝතාපන්න වෙනවා කියන එක මේ මනුස්ස ජීවිතය තුළ ම ඇතිකර ගන්න පුළුවන්… මේ වගේ අවබෝධයක් ලබාගන්න පුළුවන් වුණොත් මම සතර අපායේ වැටෙන ස්වභාවයෙන් නිදහස් වෙනවා’ කියලා එයා ඒකට කැමැත්ත ඇති කර ගන්නවා. ඒක කොච්චර ලොකු දෙයක් ද!

ඊ ළඟට දේශනාවේ තියෙනවා (ඉමස්මිං අසති ඉදං න හෝති) මෙය නැති කල්හී මෙය නැත. (ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති) මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ. අවිද්‍යාව නැති කල්හි සංස්කාර නැත. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වේ. මේක හරිම පැහැදිලියි, සංස්කාර නැති කල්හී විඤ්ඤාණය නැත. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වේ. විඤ්ඤාණය නැති කල්හී නාමරූප නැත. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාමරූප නිරුද්ධ වේ. නාමරූප නැති කල්හී සළායතන නැත. නාමරූප නිරුද්ධ වීමෙන් සළායතන නිරුද්ධ වේ. සළායතන නැති කල්හී ස්පර්ශය නැත. සළායතන නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වේ. ස්පර්ශය නැති කල්හී විඳීම නැත. එහෙම නම් ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වේ.

ඊ ළඟට විඳීම නැති කල්හී තණ්හාව නැත. එහෙම නම් විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වේ. තණ්හාව නැති කල්හී උපාදාන නැත. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වේ. උපාදාන නැති කල්හී භවය නැත. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වේ. භවය නැති කල්හී ඉපදීම නැත. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වේ. ඉපදීම නැති කල්හී ජරා මරණ සෝක වැළපීම් දුක් දොම්නස් කිසිත් නැත. මහණෙනි, මේක තමයි දුක්ඛස්කන්ධයේ අවසානය.”

කරදරේ වැටෙන්නේ අනවබෝධය නිසා ම යි…

එතකොට ශ්‍රාවකයා ‘දුක හටගන්නේ මෙහෙමයි… දුක නැතිවෙන්නේ මෙහෙමයි…’ කියලා නිවැරදි දැනීමක් ලැබුවා ද ඒ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගන්නවා. ධර්මය කෙරෙහි සිත පහදවා ගන්නවා. සංඝයා කෙරෙහි සිත පහදවා ගන්නවා. ඊ ළඟට කර්ම කර්මඵල පිළිබඳව එයාට ලොකු අවබෝධයකුත් ඇතිවෙනවා. ඊට පස්සේ එයා පව් කරන්න යන්නේ නෑනේ. කේළම් කියන්න යන්නේ නෑ. බොරු කියන්න යන්නේ නෑ. දස අකුසල් කරන්න යන්නේ නෑ. දස අකුසල්වල කයෙන් කෙරෙන අකුසල් තුනක් තියෙනවා. ඒ තමයි ප්‍රාණඝාතය, සොරකම සහ වැරදි කාමසේවනය. වචනයෙන් කෙරෙන අකුසල් හතරක් තියෙනවා. බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම. මනසින් කෙරෙන අකුසල් තුනක් තියෙනවා. ඒ තමයි අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි. මේ එකකටවත් මෙයා එන්නේ නෑ, මේ අවබෝධය නිසා.

එතකොට බලන්න, අභ්‍යන්තරයේ අපට අවබෝධයක් නොතිබුණොත් ඒ අවබෝධය නොතිබීම කියන කාරණය නිසාම තමයි ගොඩාක් විට අපි මේ කරදරේට පාත්‍ර වෙන්නේ.

The post දුක අවබෝධ කරන ආර්ය න්‍යාය… appeared first on MAHAMEGHA.


ශූන්‍යතාවය Emptiness

$
0
0

බුදුරජාණන් වහන්සේ ‘ශූන්‍යතාවය’ කියලා විස්තර කරපු එක නෙවෙයි අද බොහෝ දෙනෙක් කතා කරන්නේ. අද ලෝකයේ emptiness කියලා කියන්නේ බුද්ධ දේශනාවේ තියෙන එක නෙවෙයි. බුද්ධ දේශනාවේ තියෙන එක හරි පැහැදිලියි. බුද්ධ දේශනාවේ ශූන්‍යතාවය ගැන තියෙන්නේ එහෙම නෙවෙයි. අපි ගනිමු, මේ ආයතනය ගැන. මේ ආයතනය තුළ මේ මොහොතේ ආහාරපාන ශූන්‍යයි. ආහාරපානයන්ගෙන් ශූන්‍යයි. අපි බත්, මාළු, කෙසෙල් ගෙඩි කියලා ආහාරපාන ගැන යමක් කතා කරනවා නම් ඒ මොකුත් දැන් මෙතැන නෑ. එතකොට යමක් යමකින් ශූන්‍යයි ද ඒක තමයි ශූන්‍යතාවය කියලා කියන්නේ.

බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ කය ගත්තොත් මේ ඇහැ තුළ ආත්මය කියලා එකක් නැහැ. එතැන ආත්මය ශූන්‍යයි. එතකොට ආත්මයට අයිතියි කියලා දෙයකුත් නෑ. ඒකෙනුත් ශූන්‍යයි. දැන් මේ කොටස තුළ අලියෙක් නෑ. අලියෙකුගෙන් ශූන්‍යයි. මේ විදිහට තමයි උන්වහන්සේ අනාත්මය කියන එක විස්තර කළේ. මේක තුළ එහෙම ස්ථිර වූ දෙයක් නැහැ. මෙතැන කියන්නේ ‘ස්ථිර වූ දෙයක් නැහැ’ කියන එක. ස්ථිර වූ දෙයක් මෙතැන නැහැ කියන කාරණයට ශූන්‍යයි කියලා උන්වහන්සේ වදාළේ. මේක අරගෙන අපි (emptiness) හිස් බව, හිස් බව කිය කියා මනසින් වෙන සංස්කාරයක් මවා ගන්නවා. ඒකයි වෙලා තියෙන්නේ. එතකොට ඒක සංස්කාරයක් මිසක් ඊට අමතර දෙයක් නම් ඉතින් කර ගන්න නෑ.

ඊ ළඟට බුදුරජාණන් වහන්සේ ශූන්‍යතාවය ගැන මෙහෙම විස්තර කරනවා. අපි පෘථග්ජන මනුස්සෙයක් ව ගනිමු. ඒ පෘථග්ජන මනුස්සයා තුළ රාග, ද්වේෂ, මෝහ ශූන්‍ය නෑ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ඒවත් තියෙනවා. මේවා හිස් නෑ. එතකොට අකුසලයන්ගෙනුත් හිස් නෑ. දැන් ඔන්න එයා ධර්ම මාර්ගයට එනවා. ධර්ම මාර්ගයට ඇවිල්ලා අපි කියමු සෝතාපන්න වුණා. සෝතාපන්න වෙලා සංයෝජන තුනක් ප්‍රහාණය වුණා. එතකොට සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ශූන්‍යයි. ඊට පස්සේ සකදාගාමී වුණා. ඕලාරික කාමරාඝ, පටිඝ ශූන්‍ය වුණා. අනාගාමී වුණා. කාමරාඝ, පටිඝ ශූන්‍ය වුණා. අරහත් වුණා. රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්‍යා ශූන්‍ය වුණා. දැන් එයා රාගයෙනුත් ශූන්‍යයි. ද්වේෂයෙනුත් ශූන්‍යයි. මෝහයෙනුත් ශූන්‍යයි. අන්න ඒ ශූන්‍යතාවය අත් විඳින්න පුළුවන් රහතන් වහන්සේට. එතකොට ඒ විදිහට ශූන්‍ය වුණේ කෙලෙස්.

එතකොට මුල ඉඳල ම ශූන්‍යත්‍වයක් තියෙනවා. ඒ යමක් තිබුණා ද ඒ තිබුණු දේ නැතිවීම. එතැන එහෙමයි ගන්න ඕන. එහෙම නැතුව නිකම් මේ ලෝකයේ තියෙන ශූන්‍යයි කියන කථාව නිකම් විහිළුවක්.

දුක සකස් වෙන අයුරු මහා නිදාන සූත්‍රය ඇසුරෙන්…

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා (තණ්හං පටිච්ච පරියේසනං) මනුස්සයෙකුට තණ්හාව ඇති වුණාට පස්සේ ඒ මනුස්සයා හොයනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මෙහෙම හිතමු. කෙනෙක් ආසයි මාලයකට. ඔන්න මාලයකට ආසාවක් ඇති වුණා. දැන් මෙයා මාලයක් ගන්න සල්ලි හොයනවා. හොඳ මාලයක් හොයනවා. (තණ්හං පටිච්ච පරියේසනං) තණ්හාව නිසා මෙයා ලස්සන මාලයක් හොයනවා. (පරියේසනං පටිච්ච ලාභෝ) හොයනකොට මෙයාට ලැබෙනවා. දැන් ඔන්න මාලේ ගත්තා. ඔන්න ලැබුණා. (ලාභං පටිච්ච විනිච්ඡයං) ඊට පස්සේ මෙයා මේක කොච්චර වටිනව ද එහෙම කියලා ඒ සම්බන්ධයෙන් විනිශ්චවලට එනවා. ඕනෑම දේකට අපි ඒ විදිහට විනිශ්චයකට එනවා නේ ද?

අපි ෂර්ට් එකක් ගත්තා කියමු. අපි කියනවා “ඔයා කියන්න බලන්න මේක කීයක් වටිනව ද?” කියලා. එහෙම කියනවා නේ ද? අපි ඔරලෝසුවක් ගත්තා කියමු. අපි තවත් කෙනෙකුට කියනවානේ “ෂෝක් ඔරලෝසුවක්නේ…” කියලා. “හා… ඔයා කියන්න බලන්න මේක කීයක් වෙනව ද කියලා?” විනිශ්චය කරනවා. අපි ඒ විදිහට එක එක ඒවා (ලාභං පටිච්ච විනිච්ඡයං) විනිශ්චය කරනවා. (විනිච්ඡයං පටිච්ච මච්ඡරියං) එතකොට මසුරුකම ඇතිවෙනවා. කාටවත් දෙන්න හිතෙන්නේ නෑ. මේක අල්ල ගන්නවා.

එතකොට මසුරුකම එක්ක (අජ්ඣෝසානං) ‘මේක මගේ… මේක මට තියෙන්න ඕන…’ කියලා එහි හිත බැසගන්නවා. (අජ්ඣෝසානං පටිච්ච පරිග්ගහං) එහෙම බැසගත්තට පස්සේ ඒක වැළඳ ගන්නවා. ඒක අයිති කර ගන්න දඟලනවා. ඒක අයිති කර ගන්න බලද්දී කලකෝලහාල, අවි ආයුධ පරිහරණය මේ ඔක්කෝම ඇතිවෙනවා. දැන් මේ සමස්ත ලෝකය පුරා ම තියෙන්නේ තෘෂ්ණාවෙන් හටගත්ත ඔය අරගලය තමයි. මේකේ තේරුම තමයි පුද්ගලගත යම්කිසි අර්බුදයක් ඇද්ද, ඒ අර්බුදයේ මූල බීජය තෘෂ්ණාව. සමාජගත අර්බුදයක් ඇද්ද, ඒකේ මූල බීජයත් තෘෂ්ණාව. (තණ්හා පටිච්ච පරියේසනං, පරියේසනං පටිච්ච ලාභෝ, ලාභං පටිච්ච විනිච්ඡයං) හැම තැනම ඒක තමයි තියෙන්නේ.

සාමාන්‍යයෙන් ලෝකයේ යම් ප්‍රශ්න ඇද්ද, අර්බුද ඇද්ද ඔක්කොටම ඒ රටාව තමයි යන්නේ. වෙන රටාවක් නෑ යන්න. වෙන රටාවක් ඇත්තෙම නෑ. තෘෂ්ණා සහගත මනුෂ්‍යයා ම යි මේ ඔක්කොම අර්බුද හදාගන්නේ. කෙනෙකුට මේ තෘෂ්ණාව නැති වුණා ද එයාට ඒ අර්බුදය නෑ.

මේ ජීවිතය ඔබේ නෙවෙයි…

සංයුත්ත නිකායේ හරි ලස්සන දේශනයක් සඳහන් වෙනවා. ඒකෙ දී බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන්ගෙන් අහනවා,

“මහණෙනි, මිනිස්සු මේ ජේතවනාරාමයට ඇවිල්ලා දර කපාගෙන යනවා. තණකොළ කපාගෙන යනවා. ගස් කොළං කපාගෙන යනවා. මහණෙනි, එතකොට ඔබට ‘මේ අපිව කපනවා… අපේ අතපය කඩනවා… අපිව ගෙනියනවා…’ කියලා හැඟීමක් ඇතිවෙනව ද?”

“භාග්‍යවතුන් වහන්ස, අපට එහෙම හැඟීමක් ඇතිවෙන්නේ නෑ.”

“ඇයි එහෙම හිතෙන්නේ නැත්තේ?”

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අපට ඒ පිළිබඳ ව ‘මම ය… මගේ ය…’ කියලා ගත්තු දෘෂ්ටියක් නෑ.”

“අන්න ඒ විදිහට මේ ජීවිතය ගැනත් සලකන්න.”

බුදුරජාණන් වහන්සේ දෙන මේ උපදේශ හරිම වටිනවා. ඒ ශාස්තෘත්වය, ඒ මාර්ගෝපදේශකත්‍වය හරි අද්භූතයි. ආශ්චර්යයි. උන්වහන්සේ හැම තිස්සේම පුහු බලාපොරොත්තුවක ශ්‍රාවකයා රැඳෙව්වේ නැහැ. ‘මෙතැන නෙවෙයිනේ අතන…’ කියලා නොපෙනෙන ලෝකයක් පෙන්නුවේ නෑ.

අපි පොඩි කාලේ අහලා තියෙනවා ගම්වල යකුන්ව රවට්ටනවාලු. පැරණි ගම්වල තියෙනවා ‘බාලගිරි’ කියලා යකෙක් එනවලු චූටි ළමයිව හූරන්න. එතකොට ගෙවල්වල කරනවා කියන්නේ “අද නෙවෙයි හෙට…” කියලා බෝඞ් එකක් ගහන එක. ඔන්න යකා එනවා ‘අද නෙවෙයි හෙට…’ යකා එනවා හෙට. ආයෙමත් තියෙන්නේ ‘අද නෙවෙයි හෙට…’ මේ වගේ තමයි සමහර ආගම්වලින් විස්තර කරන බලාපොරොත්තු. හරියට, බාලගිරි යකුන්ට දෙන පණිවිඩය වගේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනයේ ඒක නෑ.

උත්තම තිසරණයට හානි කර ගන්න එපා…!

බුදුරජාණන් වහන්සේගේ ධර්මය, (ඒහිපස්සික) ඇවිත් බලන්න, අත්දකින්න කියන්න පුළුවන්. (ඕපනයික) තමා තුළට පමුණුවා ගත යුතුයි. (පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී) බුද්ධිමත් කෙනා තම තම නැණ පමණින් ප්‍රත්‍යක්ෂ කර ගනී. මේ ඔක්කොම මනුස්සයාට තියෙන අත්දැකීම්. මෙතැන තමයි වටිනාකම තියෙන්නේ. මේක ලෝකයේ වෙන කිසි එකක නෑ. අනෙක් හැම එකකම තියෙන්නේ නොපෙනෙන ලෝකයක් පෙන්වනවා, ‘මෙතැන නෙවෙයි විසඳුම අතන…’ කියලා. නමුත් කවුරුවත් එතැනට යන්නේ නෑ. මොකද, එහෙම එකක් නෑ. බලද්දී අර බාලගිරිට වුණු දේ ම යි වෙන්නේ. එහෙම තමයි අපේ විශ්වාස තියෙන්නේ.

මේ නිසා වැදගත් වෙන්නේ තිසරණය ම යි. මේ අසුර ඇදහිල්ලෙන් අපේ තිසරණයට හානි වෙනවා. අපේ රටේ හරියට පුද පූජාවල් තියාගෙන අසුරයෝ අදහනවනේ. ඊ ළඟට චීනෙන් එන ඒ ආභරණ, ලාෆින් බුද්ධා මේ ඔක්කොම තිසරණය කිලිටි වෙන දේවල්. ලාභය පස්සේ ගිහිල්ලා පුදුම විදිහට තිසරණය කිලිටි කර ගන්නවා. ලැබෙන දේ අනිත්‍ය බව දන්නේ නෑ. අපට මොනවා ලැබුණත් අපි ඒ ලැබුණු දේ අරගෙන යන්නේ නෑනේ.

අපට තියෙනවා කියමුකෝ, සමාජ තත්ත්වයක්… උපාධි… අපට දරුවෝ ඉන්නවා කියමු. ඒ වගේ ම අපට ගෙවල් දොරවල් තියෙනවා කියමු. මේ ඔක්කෝම තියෙන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනසේ තියෙන සම්බන්ධයත් එක්ක විතරනේ. යම් දවසක ඇඳට වැටුණු ගමන් අර එකකවත් වටිනාකමක් නෑ. ඊට පස්සේ අපි මැරුණු ගමන් මේ එකක්වත් අපට සම්බන්ධ වෙන්නේ නෑ. සම්බන්ධ වෙන්නේ අපි කරපු ක්‍රියාවෙන් ලත් ඵලය විතරයි. ඕකනේ යථාර්ථය. ඕක ඉදිරියේ අපි අසුරයෝ අදහන්න පටන් ගන්න ඕන ද? අසුරයන් ව අදහගෙන, පුද පූජා පවත්වාගෙන හිටපුවාම මනුස්සයෝ මරණින් මත්තේ අසුර ලෝකයටයි යන්නේ. ඒකට හේතුව තිසරණය නැති කර ගැනීම.

සිත නාමය යි… කය රූපය යි ද…?

නාමරූප ගැන කතා කිරීමේ දී සමහර තැන්වල විස්තර වෙන්නේ ‘සිත නාමය යි… කය රූපය යි…’ කියලයි. බුද්ධ දේශනාවේ නාමරූප විග්‍රහ කරන්නේ එහෙම නෙවෙයි. වේදනා, සඤ්ඤා, චේතනා, ඵස්ස, මනසිකාර කියන පහ තමයි නාම කියන්නේ. ඒවාට ‘නාම’ කියලා කියන්නේ අරමුණට අනුව නැමී පවතින නිසා. ‘රූප’ කියන්නේ සතර මහා භූතයන්ගෙන් හටගත්තු එකක්. වේදනා, සඤ්ඤා, චේතනා, ඵස්ස, මනසිකාර කියලා ගත්තොත් මේ ඔක්කොම තියෙන්නේ ආයතනවලින්. ආයතන ගැන විදර්ශනා කරන්නේ නැතුව එයා නාමරූප විදර්ශනා කරන්න ගියොත් ඒ කෙනාට විදර්ශනා හැටියට තියෙන්නේ දෘෂ්ටියක්.

එහෙම නොයන තාක් කල් එයාට ආර්ය න්‍යාය වැටහෙන්නේ නෑ. ආර්ය න්‍යාය වැටහෙන්නේ නැති තාක් කල් සෝවාන් මාර්ගයට එන්න බෑ. ශ්‍රද්ධානුසාරී වෙන්නත් බෑ. ධම්මානුසාරී වෙන්නත් බෑ. සෝතාපන්න වෙන්නත් බෑ. ඉස්සර වෙලාම වෙන්න තියෙන්නේ ශ්‍රද්ධානුසාරී වෙන එකනේ. ශ්‍රද්ධානුසාරී කෙනා ශ්‍රද්ධානුසාරී වුණා ම හරී යහපත් මනුස්සයෙක්. එයා බොහෝම නිහතමානියි. එයා බුදුරජාණන් වහන්සේගේ ඤාණය ඉදිරියේ හිස නමනවා. ‘ආ… ඕවා කොහොමද…? සූත්‍ර කෑලි දාගෙන එන්න එපා!’ කියලා කියන්නේ නෑ.

ඉස්සර මට මතකයි, සමහර ධර්මධරයි කියන උදවියත් එක්ක කතා කරන කොට අපට එහෙමයි කියන්නේ. ‘ඔය සූත්‍ර කෑලි කියාගෙන එන්න එපා! ඔයාගේ අත්දැකීම කියන්න’ කියලා අනෙක් කෙනා ව අපහාසයට ලක් කරනවා. ඒ අය ශ්‍රද්ධානුසාරීවත් නෑ. පුහු මාන්නයකින් ඉන්නවා. එහෙම ඉඳලා මොකට ද?

‘නමෝ බුද්ධාය’ සජීව සදහම් කතිකාවත ඇසුරින්,
– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

e: සංගීතයෙහි ස්වරයක්

English – Sinhala

The post ශූන්‍යතාවය Emptiness appeared first on MAHAMEGHA.

ධර්මය පුරුදු කිරීමේදී අමාරුවේ නොවැටීමට නම්….

$
0
0
ළායතන විභංග සූත්‍රයේ සඳහන් වෙන්නේ “මහණෙනි, ආයතන හයක් තියෙනවා. ඒ තමයි ඇස, කන, නාසය, දිව, කය, මනස. මේ ආයතන හය හොඳට විග්‍රහ කරමින් නුවණින් විමසන්න. ඊ ළඟට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු හොඳට නුවණින් විග්‍රහ කරමින් විමසන්න. චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය හොඳට නුවණින් විමසන්න. ඊ ළඟට ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය හොඳට නුවණින් විමසන්න. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම, කනේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම, නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම, දිවේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම, කයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම, මනසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම හොඳට විමසන්න. ඒ වගේ ම චේතනා ගැනත් හොඳට විමසන්න.”

යම් කෙනෙක් මේ විදිහට විමසනවා නම් එයා නාමරූප තමයි විමසලා තියෙන්නේ. එහෙම නැතුව නාමරූප පරිච්ඡේද කියලා ‘මේක නාමය… මේක රූපය…’ කියලා අත්දැකීමක් හැටියට වෙන්කරලා බලන්න බෑ. එහෙම බලන්න ගියොත් බලන්නේ මානසිකව මවා ගත්ත එකක් මිසක් ඇත්තක් නෙවෙයි. මානසිකව ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් මැවුණු එකක් තමයි බලාගන්න වෙන්නේ. මොකෙන් බලාගන්න ගියත් ස්පර්ශය නැතුව කර ගන්න විදිහක් නෑනේ. වෙන් කරනවා නම් කරන්න වෙන්නේ මනෝමය වශයෙන්නේ. ඒක හැබැහින් වෙන් කරන්න බෑ. ඒක වෙන් කරන්නේ ප්‍රඥාවෙන්. ගොඩාක් අය මේ ප්‍රඥාව කියන එක පටලවාගෙන තියෙන්නේ. ප්‍රඥාවත් පටලවාගෙන, විඤ්ඤාණයත් පටලවාගෙන.

මේ දේවල් බලන්නේ අපේ මේ පෙනෙන ඇසින් නෙවෙයි. ප්‍රඥා ඇසින්. ප්‍රඥා ඇස කියලා කියන්නේ තමන් බුද්ධ දේශනා අනුසාරයෙන් නුවණින් විග්‍රහ කරලා බැලීම. එහෙම බලන්නේ ඒකකයක් වශයෙන් තියෙද්දී ම යි. වාහනයක් තියෙනවා කියමු. වාහනයේ කෑලි ටික වෙන වෙනම අධ්‍යයනය කරලා තිබුණා නම් වාහනය තියෙද්දී පවා එයාට හිතාගන්න පුළුවන් ‘මෙතැන තමයි ඇන්ජිම තියෙන්නේ…. මෙතැන තමයි ටයර් තියෙන්නේ… මෙතැන තමයි මේවා මේවා තියෙන්නේ…’ කියලා. එයාට ඒ විදිහට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේ එකක් මේ විග්‍රහය.

කලකිරෙන්නේ දුක ගැන ම යි…

ඒ විග්‍රහය තුළ එයා කලකිරෙන්න ඕන දුක ගැනයි. පටිච්ච සමුප්පාදයෙන් හැදුණු නිර්මාණයක් මේ තියෙන්නේ. මේ නිර්මාණය තුළ ඇස, කන, නාසය, දිව, කය, මනස වෙන් කර කර බලනවනේ. එහෙම නැතුව ඇහැ අතට අරගෙන බලන්නේ නෑනේ. ‘ඇහැ මෙතැන තියෙන එකක්…’ කියලා අපි නුවණින් විමසනවා. ඒ වගේම ඇහෙන් දකින රූපය හොයාගෙන ගිහිල්ලා බලන්නේ නෑනේ.

නමුත් සමහර සිද්ධි දිහා බලපුවාම තේරෙනවා, ‘මේ රූපය ඇතිවෙලා, නැතිවෙන යන එකක්’ කියලා. කනත් එහෙමයි. අපි කන ගලවලා අතට අරගෙන බලන්නේ නෑනේ. අපේ කන අපි කණ්ණාඩියෙන් දැක්කා මිසක් සැබැවින් දැක්කේ නෑනේ. නුවණින් විමසනවා කියන්නේ ඒකයි.

නැත්නම් වෙන්නේ මේකයි. ඔන්න දවසක් ලොකු හාමුදුරුවෝ හිස බාන වෙලාවේ පොඩි නමට කියලා තියෙනවා “බලාගෙන පොඩි නම ඔතැන කන තියෙනවා” කියලා. පොඩිනම එකපාරට ම කන කපලා “මේක ද ලොකු හාමුදුරුවනේ?” කියලා ඇහුවලු. අන්තිමට අපටත් බලන්න වෙන්නේ ඒ විදිහට. නාමරූප කවදාවත් ඒ විදිහට බලන්න බෑ. හරි විදිහට බලනවා නම් එයාට අහුවෙන්නෙම එක්කෝ ඇහැ. එක්කෝ ඇහැට පෙනෙන රූපය. එක්කෝ ස්පර්ශය. එක්කෝ විඳීම. එක්කෝ හඳුනා ගැනීම. එක්කෝ චේතනාව. මෙයින් බැහැර වූ මොකක්ද නාම කියලා ගන්න තියෙන්නේ? මොකක්ද එයාට අහුවෙන්නේ? එහෙම අහුවෙන්න බෑනේ. අහුවෙන්න දෙයක් නෑනේ.

රූප කියලා විග්‍රහ කරන කොට බලන්න තියෙන්නේ සතර මහා ධාතුත්, එයින් හටගත්ත දෙයත්. එහෙම නැතුව ‘හිත නාමයයි, කය රූපයයි’ කියලා වෙන් කරන්න බැහැ. එහෙම වෙන් කරනවා නම් ගන්න තියෙන්නේ එක්කෝ සඤ්ඤාවක්. එක්කෝ චේතනාවක්. එහෙම නැතුව එකක් ගන්න බෑ. එතකොට අපට තේරුම් ගත හැකියි, ඒ අයට පටලවා ගන්නවා හැරෙන්න වෙන එකක් කරන්න බෑ. අන්න ඒකයි බුද්ධ දේශනාවල් ම අධ්‍යයනය කිරීමේ තියෙන වාසිය.

නිහතමානී වී සත්පුරුෂ භූමියට පැමිණෙමු…

මේ දේශනා බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකයේ මනුස්සයන්ට දේශනා කරපු ඒවනේ. ඉතින් ඉස්සර වෙලා නිහතමානී වෙලා මේවා ඉගෙන ගන්න එපැයි. මේකට බේත් සීට්ටු වගේ කිය කිය ගරහලා හරියන්නේ නෑනේ. මේක හොඳට ඉගෙන ගෙන විග්‍රහ කරලා බලද්දී තේරෙනවා, මේක හරියට ඉගෙන ගත්තොත් සත්පුරුෂයෙක් වෙන්න පුළුවන්. මේ ධර්ම මාර්ගය සත්පුරුෂ භූමියනේ. අපට ඒ සත්පුරුෂභූමියට එන්න පුළුවන්. සත්පුරුෂ භූමියක් තුළ ඉඳලා එයාට කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා.

පංච භයවේර සූත්‍රයෙන් අදහස් කළෙත් ඒකනේ. මේ පංච භයවේර සූත්‍රයේ හරි වැදගත්කමක් තියෙනවා. ගොඩාක් අය කැමති වෙලා තියෙන්නේ ‘තමන් ඉන්නේ කොහෙද? දැන් මම ශ්‍රද්ධානුසාරී ද? දැන් මම ධම්මානුසාරී ද? දැන් මම සෝතාපන්න ද?’ කියලා ඔය වගේ කල්පනා කරමින් ඉන්න. නමුත් අපි ඒක එහෙම නොගත යුතුයි.

සමහර අය අපට ඇවිල්ලා කියනවා “ස්වාමීන් වහන්ස, මම සෝවාන් වුණා…” කියලා. මට මේ ළඟ දී එක උපාසක කෙනෙක් ඇවිල්ලා එහෙම කිව්වා. මම කිව්වා “ඔයා ඔය අදහස ගන්න එපා! ඔයා සෝවාන් වුණා කියලා ඔයාමනේ තීරණය කළේ. ඔයාගේ ජීවිතයේ වරදින දේවල් දිහා බැලුවාම මේ තීරණය වරදින්න පුළුවන් කියලා ඔයා හිතන්න. මේක වරදින්නේ නෑ කියලා හිතන්න එපා. සමහර විට කාලයක් යද්දී ඔයාට තේරෙයි ‘නෑ… මේක මම ගත්තු දෘෂ්ටියක්’ කියලා. එක්කෝ ‘මම මේ අත්දැකීමකට රැවටිලා’ කියලා ඔයාට ම තේරෙයි. මොකද සාමාන්‍යයෙන් ඒක එහෙම තමයි.

නමුත් ඔයා සද්ද නැතුව හිටියොත්, කාටවත් කියන්නේ නැතුව හිටියොත් ඔයාට ඒක ප්‍රශ්නයක් නෑ ඒක. කාලයාගේ ඇවෑමෙන් ඔයාට ම ඒක නිවැරදි වෙනවා. ඔයාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැකය පහළ වුණොත්, ධර්මය කෙරෙහි සැකය පහළ වුණොත්, ඔයාට ම තේරුම් ගන්න පුළුවන්, ‘ආ… මම සෝවාන් වෙලා නෑනේ. මට සැකය තියෙනවානේ…’ කියලා. ඒ වගේ ම සිල්පද කැඩුණොත් ඔයාට තේරුම් ගන්න පුළුවන්, ‘මම සෝවාන් වෙලා නෑ…’ කියලා. ඔයා සෝවාන් කිය කියා ගිහිල්ලා සිල්පද කැඩුණොත් ඔයා කියයි ‘සෝවාන් එක්කෙනාට සිල්පද කැඩෙනවා’ කියලා. එතකොට ප්‍රශ්න දෙකකට මැදිහත් වෙනවා. එකක් ඔයා සෝවාන් කියලා කියපු වැරැද්ද. අනෙක සෝවාන් කෙනාට සිල්පද කැඩුණට මොකුත් ප්‍රශ්නයක් නෑ කියන වැරැද්ද. ඊට පස්සේ මිනිස්සු ධර්මයට ගරහනවා ‘අන්න අරයා සෝවාන් වුණාලු…’ කියලා. එහෙම කියලා ධර්මයටත් ගරහනවා. පුද්ගලයටත් ගරහනවා. ඊට වඩා හොඳයි නේ ද ඒක නොකියා ඉන්න එක.

රැවටීමට අවස්ථාව ඕනතරම්…

බලන්න, ඒ උපදේශය කොච්චර වටිනව ද කියලා. ධර්මය අවබෝධ කරන්න අපි ආස නම් ඒ කෙනා හැම තිස්සේම විමසන එක අත්නොහැර ඉන්න ඕන. කෙනෙක් කාලයක් සිහියෙන් ඉන්නවා නම්, සිතත් සමාධි වෙන ස්වභාවයෙන් යුක්ත නම්, කාලයක් යනකොට රැවටෙන්න පුළුවන් ‘මම මෙතෙක් කාලයක් සීලයේ හිටියා… මට මොකුත් ප්‍රශ්නයක් නෑ…’ කියලා. හැබැයි එයා දන්නේ නෑ, තමන්ගේ තියෙන සංස්කාරවල ස්වභාවය. එයා කාලයක් යනකොට තමන් පිළිබඳ අධිතක්සේරුවකට එනවා ‘තමන් පිරිහෙන්නේ නෑ…’ කියලා. නමුත් තමන් දන්නේම නෑ, සමහර විට තමන්ගේ ශ්‍රද්ධාව නැතිවෙලා. තමන් දන්නෙම නෑ, ධර්මය කෙරෙහි සැක උපදිනවා. නමුත් එයා තමන් පිරිහෙන්නේ නෑ කියලා දෘෂ්ටියකින් ඉන්නවානේ. ඊට පස්සේ එයා කියනවා ‘මගේ උඩු හිතයි ඒ පිරිහෙන්නේ… යටි හිත නෙවෙයි…’ කියලා.

මේ විදිහට මිනිස්සු හරියට රැවටෙනවා. හිතා ගන්න බෑ රැවටෙන විදිහ. හැබැයි, රැවටෙන්නේ ම ධර්මය පිළිබඳ අවංක ව ම හොයන එක්කෙනා ම යි. ධර්මය පිළිබඳ හොයපු නැති, විග්‍රහ කරපු නැති කෙනෙකුට කිසි අවුලක් නෑ. එයාට තියෙන්නේ තියෙන දෙයක් කාලා බීලා අනුන්ට මොනවා හරි කිය කියා ඉන්නනේ. පැටලෙන්නේ, වළවල වැටෙන්නේ, මේ ඔක්කොම වෙන්නේ හොයන එක්කෙනාට. ධර්ම මාර්ගයේ යන කෙනාට තමයි මුළා වීම්, පැටලිලි ඔක්කොම ඇතිවෙන්නේ. ධර්ම මාර්ගයේ යන්නේ නැති කෙනෙකුට මොකුත් ප්‍රශ්නයක් නෑ. මොකද එයා ඒ මාතෘකාව තුළ නෑනේ.

ඕනෑම තැනක එහෙමයි. වතුරේ පීනන්න පටන් ගත්ත කෙනානේ වතුරේ ගිලෙන්නේ, වතුර පෙවෙන්නේ ඔක්කොම වෙන්නේ. ගොඩ ඉන්න කෙනාට මොකුත් ප්‍රශ්නයක් නෑ. මේකත් ඒ වගේ. ධර්ම මාර්ගයේ යන්න හදන කෙනාට තමයි ඔක්කොම අත්දැකීම් එන්නේ. හැබැයි එයාට ප්‍රඥාව තියෙන්න ඕන මේක හඳුනාගන්න. එයා අවංක ව ම නිවැරදි වෙනවා නම් එයාට ආයෙමත් අවස්ථාවක් තියෙනවා. ගොඩක් අය වරද්ද ගන්නේ දෘෂ්ටියකින්. ඒ වගේ ම තවත් සමහර අය චිත්ත සමාධියක් ඇතිවුණාම ඒකට රැවටෙනවා. මොකද සමාධිය කියන්නේ ප්‍රඥාව නෙවෙයිනේ. ප්‍රඥාව කියන්නේ වෙනින් එකක්. සමාධියක් ඇති වූ පමණින් ප්‍රඥාව ඇතිවෙන්නේ නෑ. ගොඩාක් අය සමාධිය සාර වශයෙන් ගන්නේ වැරදීමකින්. ප්‍රඥාවක් හැටියට සලකනවා. නමුත් සමාධිය කියන්නේ ප්‍රඥාව නෙවෙයි.

සම්මා සමාධිය තුළ ප්‍රඥාවට ඉඩ තියෙනවා…

සම්මා සමාධියකුත් තියෙනවා. මිථ්‍යා සමාධියකුත් තියෙනවා. දෙකට ම යන්න පුළුවන්. මිථ්‍යා සමාධිය තුළ පංච නීවරණයන් තුළ සිත එකඟ කරගෙන ඉන්න අය ඉන්නවා. නමුත් ඒක මිථ්‍යා සමාධිය. පංචනීවරණ බැහැර කරගෙන හිත එකඟ කරගන්න අය ඉන්නවා. ඒක සම්මා සමාධිය. පංච නීවරණයන්ගෙන් බැහැර කරගෙන සම්මා සමාධියට එන්න සතර සතිපට්ඨානය පාවිච්චි කරන්න ඕන. සතර සතිපට්ඨානය තුළ තමයි එයාට ඒක කරන්න පුළුවන්. සතර සතිපට්ඨානය තුළ මාර්ගයක් ඇති කර ගත්තොත් එතැන ඉඳලා එයාට මාර්ගය විවෘත වෙනවා. ප්‍රඥාවට ඉඩ තියෙනවා. ඒකයි වටින්නේ. සම්මා සමාධිය තුළ ප්‍රඥාවට ඉඩ තියෙනවා. මිථ්‍යා සමාධිය තුළ ප්‍රඥාවට ඉඩක් නෑ. ඉඩ ඇහිරිලා තියෙන්නේ. ඒ නිසා සමාධිය කියන්නේ ප්‍රඥාව නෙවෙයි.

ගොඩක් අයට වරදින්නේ, සමාධියක් වඩන කොට ඒ සමාධිය තුළ එක එක දේවල් වෙනවා. එයා දන්නේ නෑනේ, ‘මොකක්ද මේ වුණේ?’ කියලා. කයත් නොදැනී ගියා. හිතත් නොදැනී ගියා. ඔන්න එකපාරට ම ගැස්සිලා වගේ ඇහැරුණා. මෙයා හිතනවා ‘මම මග ඵල ලැබුවා තමයි…’ කියලා. තමන් ම තනිවම තීරණයකට එනවා. ඇවිල්ලා එයා කියනවා “මේ මගේ අත්දැකීම… මම මග ඵල ලැබුවා. මට මේක ප්‍රත්‍යක්‍ෂයි” කියලා. එයා ඒක කියවගෙන යනවා.

එක ම පිළිසරණ ධර්මය පමණයි…

ඉතින් මේ කාලයේ අපට බුදුරජාණන් වහන්සේත් නෑ. රහතන් වහන්සේලත් නෑ. මාර්ග ඵලලාභීන් ලෝකයේ හිටියත් කියන්නෙත් නෑනේ. ඒ නිසා අපට එක ම පිළිසරණ ධර්මය විතරයි. ධර්මය පිළිසරණ කරගෙන හරියට ගියොත් ඒක එයාට විශාල යහපතක් වෙනවා. ඒකයි වැදගත්කම තියෙන්නේ. සමාධියක් ඇති වුණා කියලා ඒකට රැවටෙන්න හොඳ නෑ. ප්‍රඥාව තමයි වැදගත් ම දේ. ප්‍රඥාවෙන් තමයි මේක විමසගන්න තියෙන්නේ.

ඒකයි පටිච්ච සමුප්පාදය එහෙම ඉගෙන ගැනීමේ වැදගත්කම තියෙන්නේ. පටිච්ච සමුප්පාදය හොඳට ඉගෙනගෙන, ආර්ය න්‍යාය හොඳට ප්‍රගුණ කරගෙන, ඒ ආර්ය න්‍යාය තුළ පටිච්ච සමුප්පාදය හටගන්නා ආකාරය, නැතිවෙන ආකාරය හොඳට විග්‍රහ කර ගත්තොත් ඒකේ ප්‍රතිඵලය තමයි එයාගේ සිත බුදුරජාණන් වහන්සේ කෙරෙහි ස්ථිරව බැස ගන්නවා. ඒකයි ප්‍රතිඵලය. ධර්මය කෙරෙහි හිත බැස ගන්නවා. සංඝයා කෙරෙහි ශ්‍රද්ධාවේ බැස ගන්නවා. ආර්යකාන්ත සීලයේ පිහිටනවා. මේකයි ප්‍රතිඵලය. ඒ ප්‍රතිඵලය එන්නේ නැතුව සෝවාන් වුණා කියනවා නම් ඒක නිකන් මිථ්‍යා අදහසක් විතරයි.

සාදු…! සාදු…! සාදු…!

The post ධර්මය පුරුදු කිරීමේදී අමාරුවේ නොවැටීමට නම්…. appeared first on MAHAMEGHA.

බුදු බව පැතීම ධර්මානුකූල ද…?

$
0
0

නමෝ බුද්ධාය දහම් කතිකාවත

බුදුරජාණන් වහන්සේගේ මූලික ඉලක්කයට පරිබාහිර දෙයක ශ්‍රාවක ජනයා විය යුතු අය පැටලී වාසය කිරීම ශාසනය අනතුරේ වැටීමක්. ‘නෙත්තිප්ප්‍රකරණය’ කියන ප්‍රකරණ ග්‍රන්ථයේ එක සිද්ධියක් සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ මාර්ගයේ ගමනක් වඩිද්දී එක්තරා මනුස්සයෙක් උන්වහන්සේට මල් කළඹක් ගෙනත් පූජා කරනවා. පූජා කරලා ඊට පස්සේ ඒ මනුස්සයා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේට සිනහ පහළ වෙනවා. සිනහ පහළ කරනවා කියන්නේ අපි වගේ සිනාවෙන එක නෙවෙයි. උන්වහන්සේ මඳ සිනහවක් පහළ කරද්දී උන්වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේලාගෙන් සුදු පාට රශ්මියක් විහිදිලා හිස වටා කැරකිලා නොපෙනී යනවා. ඉතින් පිටිපස්සෙන් වඩින ආනන්ද ස්වාමීන් වහන්සේ අර රශ්මි මාලාව නිසා උන්වහන්සේ සිනහ පහළ කළා කියලා දැනගන්නවා.

එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා “භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සිනහ පහළ කළේ ඇයි?” කියලා.

“ආනන්ද දුටුවා ද මේ දැන් මල් කලඹක් තථාගතයන් වහන්සේට පූජා කරලා ගිය කෙනා?”

“දැක්කා ස්වාමිනී.”

“මේ කෙනා මේ මල් කළඹ නමින් ම ‘වටංසක’ කියන නමින් පසේබුදු වෙනවා.” (මල් කළඹට පාළියෙන් කියන්නේ වටංසක කියලා)

එතකොට මේක අපේ පුද්ගලික තේරීමකට සිද්ධ වෙන එකක් නෙවෙයි. අපි ගත්තොත්, බුදුරජාණන් වහන්සේගේ දේශනා දහඅටදහසක් පමණ තියෙනවා. වර්තමාන ලෝකයේ ගත්තොත්, බුදු බව පතන අය කෙළවරක් නෑ. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනා දහඅටදාහ තුළ ම බුදු බව පතන අය මුණගැහිලා නැහැනේ. එක්කෝ බුදුරජාණන් වහන්සේ “අසවල් කෙනා බුදු බව පතනවා…” කියා කියලා තියෙන්න ඕන නෙ.

ශාසනය අන්තර්දහනය වෙනවා කියන්නේ ඒකයි. මහායානයෙන් වුණෙත් ඒකනේ. බුදු බව පතන අදහස් ඇවිල්ලා ‘අපි පාරමී පුරන්න ඕන… අපි මනුස්සයන්ට උදව් කරන්න මේක කරන්න ඕන…’ කියලා මේකට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන අප්‍රමාදයට තියෙන තැන නැතුව යනවා. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කළා “මහණෙනි, සියලු ම සත්වයන්ගේ පා සටහන් හස්තිරාජයාගේ පා සටහන ඇතුළට දාන්න පුළුවන්. ඒ වගේ තථාගතයන් වහන්සේගේ සමස්ත ධර්මය එක වචනයක් යටතට දාන්න පුළුවන්. ඒ තමයි ‘අප්‍රමාදය’.” බුදු බව පැතීම නමැති ප්‍රමාදී සංකල්පය සමාජය තුළට ආවාම අප්‍රමාදය යටතට දාන්න පුළුවන් ඒ ධර්මය සම්පූර්ණයෙන් සමාජයෙන් ඈත්වෙලා යනවා.

සම්පූර්ණයෙන් මහායාන සංකල්පයක්…

බුදුරජාණන් වහන්සේ හැම තිස්සේ ම ශ්‍රාවකයින්ට මරණසතිය වඩන්න කිව්වා. අප්‍රමාදය වඩන්න කිව්වා. ඊට සම්පූර්ණයෙන් ම ප්‍රතිවිරුද්ධ දෙයක් තමයි මේ බුදු බව පැතීමේ සංකල්පයත් එක්ක තියෙන්නේ. ඒ සංකල්ප ආවට පස්සේ කොච්චර දෘෂ්ටිගතික වෙනවා ද කියන්නේ සමහරු තමන් බුදුවෙන කොට අසවල් කෙනා සුජාතා වෙන්න ඕන… අසවල් එක්කෙනා යශෝදරා වෙන්න ඕන… අසවල් එක්කෙනා අනාථපිණ්ඩික වෙන්න ඕන… කියලා දායකයොත් තෝරනවා. මේක විහිළුවක්. එතකොට ඒ වගේ විහිළුවලට බඳුන් වෙනවා කියලා කියන්නේ ඒක තමයි ශාසන අනතුර.

මේක සම්පූර්ණයෙන් ම මහායාන සංකල්පයක්. ඒකෙන් තමයි ගෞතම බුද්ධ ශාසනය අතුරුදහන් වුණේ. සැබෑ ලෙස ම බුදු සසුන අනතුරේ කිව යුත්තේ ඕකටයි. අපේ රටේ බුදු සසුන අනතුරේ කියලා කෑ ගහන්නේ කාට හරි බණින්න ඕන වුණාමනේ. ප්‍රායෝගික ජීවිතය තුළ ශාසනය නැහැනේ. ඒ කියන්නේ ප්‍රායෝගික ජීවිතය තුළ ශාසනය තිබුණා නම් මේ වෙනකොට හැම තැන ම මාර්ගඵලලාභීන් ඉන්න ඕන නෙ. සීල, සමාධි, ප්‍රඥා වඩන අය ඉන්න ඕන නෙ. සිල්වතුන් ඉන්න ඕන නෙ. සමාධිය වඩන අය ඉන්න ඕන නෙ. ඊ ළඟට ධ්‍යාන භාවනා කරන පිරිස ඉන්න ඕන නෙ. ඉන්නවා, නමුත් අල්පයි. එහෙම නම් අද බොහෝ දෙනාගේ ප්‍රායෝගික ජීවිතය තුළ ශාසනික වැඩපිළිවෙළක් නෑ. අපි බොරු කියලා වැඩක් නෑ. එතකොට බුද්ධ ශාසනය අනතුරට පත්වෙනවා කියන්නේ ඕක. මොකක්ද අනතුරට පත් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ මූලික අදහසට ප්‍රතිවිරුද්ධ දේවල් ශ්‍රාවක පිරිස අතර ව්‍යවහාරයට පැමිණීම.

මේ ධර්මය මනාකොට දේශනා කරපු එකක්…

‘පරිනිබ්බාණ සූත්‍රයේ දී’ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා “(නත්ථානන්ද තථාගතස්ස ධම්මේසු ආචරියමුට්ඨි) ආනන්ද තථාගතයන් වහන්සේගේ ධර්මය තුළ ආචාර්ය මුෂ්ටි නෑ.” ඒ කියන්නේ ගුරුවරයා වශයෙන් විශේෂ එකක් ළඟ හංගාගෙන, ඊ ළඟ එක්කෙනාට හොරෙන් දෙන එකක් තථාගතයන් වහන්සේගේ ධර්මයේ නෑ කියනවා. ඊ ළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “මහණෙනි, මම මෙතෙක් කල් ඔබට කියා දුන් ධර්මය කුමක් ද? සතර සතිපට්ඨානය, සතර සම්‍යක්පධාන වීර්යය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. මහණෙනි, මේ ධර්මය මනාකොට ඉගෙන ගන්න. මනාකොට ප්‍රගුණ කරන්න. මනාකොට සජ්ඣායනා කරන්න. මනාකොට දරා ගන්න. මේක තමයි මා විසින් දේශනා කරන ලද ධර්මය.” ඒ කියන්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම.

මේ විදිහට පැහැදිලි ලෙස ධර්මය තියෙද්දී දෙවෙනි ධර්ම සංගායනාවේදී වෙන් වෙලා ගියපු කාණ්ඩයේ අය හා තුන්වෙනි ධර්ම සංගායනාවේදිත් අයින් වෙලා ගියපු කාණ්ඩය කියන මේගොල්ලෝ රහතන් වහන්සේලාගේ සංගායනාවලට විරුද්ධව ඒ කාලයේ ම සම්පූර්ණයෙන් ම මතයක් ගොඩනැගුවා ‘අරහත්වය පිරිහෙන එකක්’ කියලා. ඒකේ ප්‍රතිඵල තමයි ඔය. ඒ අය ‘අරහත්වය පිරිහෙන එකක් ය… ඒ අරහත්වය තුළ පොදු ආකල්පයක් නැත…’ කියලා භාග්‍යවතුන් වහන්සේගේ විසඳුමටයි ගැරහුවේ. අරහත්වය කියන එක මේ එක එක්කෙනා දීපු එකක් නෙවෙයි. අරහත්වය කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකයට දීපු විසඳුම. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ඒහිභික්ෂු පැවිද්ද ලබා දීපු තැන්වල හරි ලස්සනට දේශනා කරනවා “මහණෙනි, මේ ධර්මය මනාකොට දේශනා කරපු දෙයක්. මහණෙනි, මේ ධර්මයේ හැසිරිලා දුක් කෙළවර කරන්න” කියලා. එතකොට දුක් කෙළවර කිරීම තමයි අරහත්වය කියන්නේ.

නමුත් පසුකාලීන ව දුක් කෙළවර කිරීමක් පිණිස තියෙන ධර්මයට, මාර්ග ඵලලාභීන්ගේ ලෝකයට අපහාස කරන්න ගත්තා. අදටත් ඒක තියෙනවා. මීට අවුරුදු කිහිපයකට කලින් දිල්ලිවල අන්තර්ජාතික බෞද්ධ සම්මේලනයක් තිබිලා තියෙනවා. ඒකෙ දී මහායාන භික්ෂූන් වහන්සේලා සම්පූර්ණයෙන්ම රහතන් වහන්සේලාට බැණ්නා. ‘රහතන් වහන්සේලාගේ දැනුම අසම්පූර්ණයි… අසම්පූර්ණ නිසා සද්ධම්මපුණ්ඩරීක සූත්‍රය, තථාගතගුයිහ සූත්‍රය වගේ දේශනා ඇතුළත් කළේ නෑ…’ කියලා. නමුත් ඒ දේශනා මහායානිකයන් ගොතපු ප්‍රබන්ධ. නමුත් ඒ අය රහතන් වහන්සේලාගේ දැනුම අසම්පූර්ණ නිසා මේක වුණා කියලා රහතන් වහන්සේලා ව ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ ‘තථාගත ධර්මය තුළ මාර්ග ඵලලාභීන්ගේ අවබෝධය නැතිවෙලා යන එකක්… ඒක ස්ථිර එකක් නෙවෙයි” කියලා සංඝයා විසින් ම මාර්ගය ප්‍රතිපදාව පිළිබඳ ව සැක ඉපැද්දෙව්වා.

බොහෝ දෙනාට අයහපත පිණිස පවතින දෙයක්…

බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කරනවා, මට මතක හැටියට ඒක තියෙන්නේ ‘පාසාදික’ කියන සූත්‍රයේ. ඒකේ සඳහන් වෙනවා, නිගණ්ඨනාතපුත්‍ර අභාවයට පත් වූ වෙලාවේ නිගණ්ඨ ශ්‍රාවක පිරිස බෙදිලා යනවා. ඒ කියන්නේ කණ්ඩායම් දෙකකට බෙදිලා වාද විවාද කර ගන්නවා. ඉතින් මේක දැනගෙන මහා චුන්ද තෙරුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා “මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා… අපි මේක භාග්‍යවතුන් වහන්සේට දැනුම් දෙමු” කියලා. ඉතින් මේ විස්තරය බුදුරජාණන් වහන්සේට දැනුම් දීපු වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාළා “මහණෙනි, විනය කරුණක් මුල්කරගෙන යම්කිසි වාදයක් හටගත්තොත් ඒක එච්චර බරපතළ නෑ. හැබැයි, මාර්ගය ප්‍රතිපදාව මුල්කරගෙන වාදයක් හටගත්තොත් ඒක බොහෝ අයට අහිත පිණිස, දුක් පිණිස පවතිනවා.”

එතකොට මාර්ගය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් ධර්මයේ හැසිරෙන කෙනා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේයි ගමන් කරන්න ඕන. නමුත් පසුකාලීන ව ‘මහායානය’ කියලා ප්‍රතිපදාවෙන් බැහැර වූ දෙයක් ඉපැද්දෙව්වා. ඒ මහායානය ඉපැද්දුවාට පස්සේ පාරමීධර්ම ඉස්සරහට අරගෙන අප්‍රමාදී බව පස්සට දැම්මා. මම ප්‍රසිද්ධියේ කිව්වා “ඔය පතන කවුරුවත් බුදු වෙන්නේ නෑ” කියලා. මොකද හේතුව, ඒ කිසිවෙකුගේ බෝසත්වරයෙකුගේ ලක්ෂණ නෑ. බෝසත්වරයෙක් ඉන්නවා නම් සීලයට ප්‍රශංසා කරන්න ඕන. සීලයට ගරහන්නේ නෑ. සමාධියට ප්‍රශංසා කරන්න ඕන. සමාධියට ගරහන්නේ නෑ. කවුරු හරි කෙනෙක් මේ ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරන්න මහන්සි වෙනවා නම් ඒකට ප්‍රශංසා කරන්න ඕන. ඒකට ගරහන්නේ නෑ. ඊ ළඟට සත්‍යයට ප්‍රශංසා කරන්න ඕන. සත්‍යයට ගරහන්නේ නෑ. එහෙම නැතුව මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා හමුවේ ගහ මරා ගන්න ලෝකයේ මේක විහිළු කතාවක්.

සාමාන්‍යයෙන් කෙනෙක් බුදු බව පතනවා නම් එයා ඒ දේ කටින් කීම තුළ ම හානියක් වෙනවා. සිද්ධ වෙන හානිය තමයි, අන් සියලු දෙනා ප්‍රමාදයට පත්වෙනවා. ‘අසවල් කෙනා… අසවල් මහත්මයා… අසවල් නෝනා… නැත්නම් අසවල් ස්වාමීන් වහන්සේ… බුදු බව පතනවා. ඒ නිසා අපිත් බුදු බව පතමු’ කියලා අන් අයත් ප්‍රමාදයට පත්වෙනවා. මං අහලා තියෙනවා සමහර ස්වාමීන් වහන්සේලා ප්‍රසිද්ධියේ ම කියනවානේ ‘ඔබ සියලු දෙනාම බුදු බව පතන්න’ කියලා. එතකොට මේක බුද්ධ දේශනාව නෙවෙයි. ඒක තමයි ශාසනයේ අනතුර කියන්නේ. එහෙම වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වලංගුභාවය එහෙම්ම ම නැතුව යනවා.

එදා කවුරුවත් බුදු බව පැතුවේ නෑ…

අපි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ ධර්මය දේශනා කළ රටාව ගත්තොත් මිහිඳු මහරහතන් වහන්සේ ඉස්සර වෙලාම දේශනා කළේ ‘චූලහත්ථිපදෝපම’ සූත්‍රයනේ. ඒකෙන් දේශනා කරන්නේ ශාස්තෘන් වහන්සේ ව සොයාගත්ත ආකාරය. ශ්‍රද්ධාවට පැමිණෙන ආකාරය. ඊට පස්සේ දෙවිවරුන්ට වෙනම දේශනාවක් කළා. ඒ තමයි ‘සමචිත්තපරියාය සූත්‍ර දේශනාව.’ ඊට පස්සේ පොදු ජනයාට ‘විමානවත්ථු, පේතවත්ථු’ දේශනා කළා. පේත වත්ථුවෙන් අකුසල කර්මයයි, අකුසල කර්මයෙන් ඇතිවෙන භයානක ප්‍රතිඵලයි පෙන්වා දුන්නා. විමාන වත්ථුවෙන් පුණ්‍ය කර්මයයි, පුණ්‍ය කර්මයෙන් ලැබෙන ප්‍රතිලාභයි පෙන්වා දුන්නා. ඒ විදිහට විමානවත්ථු, පේතවත්ථු විස්තර කරලා මේ දීර්ඝ සසර පිළිබඳ ව ඉතා විස්තරාත්මක ව විග්‍රහ වන ‘සච්ච සංයුත්තය, අනමතග්ග සංයුත්තය’ වැනි දේශනා තමයි දේශනා කළේ. ‘අනමතග්ග’ කියන්නේ කෙළවරක් නැති සසර පිළිබඳව විස්තරය. ‘සච්ච සංයුත්තයෙන්’ ඒකට විසඳුම චතුරාර්ය සත්‍යය අවබෝධය යි කියලා චතුරාර්ය සත්‍යය විස්තර කළා.

ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ටික ටික ආර්ය සත්‍ය අවබෝධයට උදව් වන ආකාරයට ‘ඛජ්ජනීය සූත්‍රය, සච්ච විභංග සූත්‍රය, ධම්මචක්කප්පවත්තන සූත්‍රය, ඵේණපිණ්ඩූපම සූත්‍රය’ වගේ මෙකල කිසිසේත් ම ධර්ම දේශනාවලට ආපු නැති සූත්‍ර එදා ශ්‍රාවක ජනයාට දේශනා කළා. ශ්‍රාවක ජනයා කොතරම් මේකට ඇදිලා ආව ද කියන්නේ අන්තඃපුර කාන්තාවෝ සියලු දෙනාම තීරණය කළා ‘අපි පැවිදි වෙනවා’ කියලා. අරිට්ඨ ඇමති ඇතුළු සියලු දෙනාම තීරණය කළා ‘අපි පැවිදි වෙනවා’ කියලා. ඉතින් ඒක කොච්චර සාර්ථක ද කියන්නේ මාර්ග ඵලලාභීන් බිහි වුණා. රහතන් වහන්සේලා බිහි වුණා. ඒ කවුරුවත් බුදු බව පැතුවේ නෑ.

නුවණින් විමසීමෙන් ප්‍රඥාව ලැබේ…

මේ බුදු බව පතනවා කියලා පාරමී පුරනවා නම් එහෙම නම් අපට හොඳ සීලවන්ත පිරිස් දකින්න ලැබෙන්න ඕන. ඒ කියන්නේ සීල පාරමී. ඊ ළඟට දාන පාරමී. තමා සතු දේවල් අන් අයට දිදී යන අය දකින්න ලැබෙන්න ඕන. (දානං සීලං ච නෙක්ඛම්මං) නෛෂ්ක්‍රම්‍යය දකින්න තියෙන්න ඕන. ඊ ළඟට (පඤ්ඤා විරියේන පඤ්චමං) ප්‍රඥාව දකින්න තියෙන්න ඕන.

දවසක් ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, “(කථංසු ලභතේ පඤ්ඤං) ප්‍රඥාව ලැබෙන්නේ කොහොමද?” කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා “(සද්දහානෝ අරහතං ධම්මං නිබ්බානපත්තියා, සුස්සූසා ලභතේ පඤ්ඤං අප්පමත්තෝ විචක්ඛණෝ) නිවන් අවබෝධ වන රහතුන්ගේ ධර්මය ශ්‍රවණය කරන කෙනා අප්‍රමාදීව නුවණින් විමසීමෙන් ප්‍රඥාව ලැබේ.” එහෙම නැතුව වෙන විදිහකින් ප්‍රඥාව ලැබෙන්නෙ නෑ. කෙනෙකුට පාරමී පුරන්න ඕන නම් ඒක පුරන්න තියෙන්නේ කොහොමද? අපි මේක සිංහලෙන් තෝරනවා කියලා මේකට බැණ බැණ, සිංහලෙන් පිරිතක් කිව්වොත් ඒකටත් බැණ බැණ, මහමෙව්නාවෙන් ධර්මය විකෘති කරනවා කියලා පට්ටපල් බොරු කිය කිය කොහොමද පාරමී පුරන්නේ? ඒ නිසා මම ප්‍රසිද්ධියේ කියනවා “ඒ කවුරුවත් බුදු වෙන්නේ නෑ” කියලා. මම තහවුරු කර කර කියනවා “බුදු වෙන්නේ නෑ” කියලා. ඇයි ඒ බුදු වෙන්නේ නැත්තේ? ඒක ප්‍රායෝගික නෑ. මේක නිකන් ම සංකල්පයක්. එතැනට යන්න බෑ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post බුදු බව පැතීම ධර්මානුකූල ද…? appeared first on MAHAMEGHA.

මෑත භාගයේ සිදු වූ බෝසත් උපත…

$
0
0

මම පෞද්ගලිකව පිළිගන්නවා මෑත භාගයේ පහළ වූ එක බෝසත් කෙනෙක් ගැන. ඒ තමයි ‘භීම්රාවෝ අම්බෙඞ්කාර්.’ ඉන්දියාවේ පහළ වූ භීම්රාවෝ අම්බෙඞ්කාර් තමයි බාබාසාහේබ් කියලා කියන්නේ. මම කියන්නේ එයා තමයි මෑත ඉතිහාසයේ පහළ වූ බෝසතාණන් වහන්සේ. ඉතාම දිළිඳු පවුලක ඉපදිලා, බ්‍රාහ්මණ කුලීනයන්ගෙන් බැට කකා ධර්මය නගාසිටුවන්න අප්‍රමාණ කැපවීමක් කළා. එතුමාගේ චරිත කතාව කියවද්දී මට මාතංග ජාතකය මතක් වෙනවා. නමුත් මේ රටේ කවුරුවත් එතුමා ගැන දන්නේ නෑ. ආත්මවාදී චින්තනය තුළ සිටි, අන්තවාදී අදහස් දැරූ, දැඩි බ්‍රාහ්මණ මත දැරූ මහත්මා ගාන්ධිව තමයි දන්නේ. අම්බෙඞ්කාර්ව දන්නේ නෑ.

අම්බෙඞ්කාර්තුමා ඉතාම දුක සේ ජීවත් වෙලා ඊට පස්සේ එතුමාගේ පුණ්‍ය බලයේ මහිමයෙන් බල සම්පන්න උගතෙක් වෙලා ඊට පස්සේ එතුමා ඉන්දියාවේ ව්‍යවස්ථා සම්පාදක අමාත්‍ය ධූරය ලබාගෙන, ඊට පස්සේ එතුමා ඉන්දියාවේ ජාතික කොඩියට ධර්ම චක්‍රය ඇතුළත් කරලා රාජ්‍ය ලාංඡනයට අසෝක ලාංඡනය ඇතුළත් කරලා ආගමක් අදහන්නේ නැතුව හිටියා. ඊට පස්සේ ක්‍රිස්තියානි අය ඇවිල්ලා කිව්වා ‘අපේ කුල භේදයක් නෑ… අපි ළගට එන්න’ කියලා. ‘බෑ…’ කිව්වා. මුස්ලිම් අය ඇවිල්ලා ‘අපේ කුල භේදයක් නෑ… අපි ළඟට එන්න’ කිව්වා. බෞද්ධ අය කවුරුවත් හිටියේ නෑ මේක විග්‍රහ කරලා දෙන්න. ඇයි මෙයා හීන කුලේනේ. මෙයාට ඇත්ත කියලා දෙන්න කවුරුවත් නෑ. මෙයා තනිවම විමසලා විමසලා බුද්ධ ධර්මය හොඳට අධ්‍යයනය කරලා අන්තිමට තීරණය කළා ‘මම බුදුරජාණන් වහන්සේව සරණ යනවා’ කියලා.

ඒ දවස්වල කුෂිනගර්වල ‘චන්ද්‍රමුරි’ කියලා වයසක බුරුම ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේ හම්බ වෙලා තමයි මෙයා ඉස්සර වෙලාම බුද්ධ ධර්මය වැළඳ ගත්තේ. ඊට පස්සේ නාත්පූර්වල ලක්ෂ පහක ජනකායක් බුද්ධාගම වැළඳ ගත්තා. පස්සේ කාලයේදී මේකට යම් යම් දේශපාලන ප්‍රශ්න අර්බුද ඇවිදිල්ලා මූලික සංකල්පයට හානි පැමිණුනා. නමුත් එතුමාගේ මරණාසන්න මොහොතේ එතුමා ලස්සන වචනයක් කිව්වා. මම නම් මේ කාලයේ භික්ෂූන් වහන්සේ නමක්වත් මරණාසන්න මොහොතේ එහෙම කියනවා ඇඳිලා නෑ. එයා කිව්වා ‘තථාගත ධර්මය යම් තැනක ඇද්ද, එතැන මාගේ උපත වේවා!’ කියලා. ඒ නිසා සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය මං හිතන්නේ නේපාලයේදී රැස්වෙලා ‘බෝධිසත්ව’ කියන ටයිටල් එක එයාට පූජා කළා. ඇත්තෙන්ම එතුමා එයට සුදුසුයි. මං හිතන්නේ මෑත ඉතිහාසයේ ලෝකය තුළ බෝධිසත්ව කියන සම්මානයෙන් පිදුම් ලැබුවේ එතුමා විතරයි. අනිත් ඔක්කොම තම තමන් විසින් තම තමන් පිළිබඳව ආරෝපණය කර ගත්තු එකක් තමයි ‘මම බෝධිසත්ව… මම බුදු බව පතනවා…’ කියලා කියවගෙන යන්නේ. නමුත් එතුමාගේ කටින් ‘මම බුදු බව පතනවා’ කියලා එක වචනයක් පිට කරලා නෑ.

ගෙවී ගිය සසරේ නොඉපදුණු තැනක් නැති තරම්…

බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත්තොත්, උන්වහන්සේගේ ජීවිතය තුළ උන්වහන්සේ විවරණ ලැබුවානේ. ඒ විදිහට යම් කෙනෙක් විවරණ ලැබුවා නම් ආයෙමත් පතන්න දෙයක් නෑනේ. උන්වහන්සේ සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට කලින්නේ විවරණ ලැබුවේ. සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට කලින් දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලැබුවේ. ඊට පස්සේ තිරිසන් ආත්මවල කොච්චර ඉපදිලාද? නිරයට ගියපු කතාවක් නම් විස්තර වෙන්නේ නෑ. තිරිසන් ලෝකයට නම් ගිහිල්ලා තියෙනවා. හැබැයි මට බුද්ධ දේශනාවේ එක තැනක හම්බ වෙලා තියෙනවා “මහණෙනි, තථාගතයන් වහන්සේ මෙතෙක් ආපු සසර තුළ නොඉපදුණු ආත්මයක් නැතිතරම්’ කියලා. මේ සසර ගමන එච්චර දීර්ඝ සසරක් කියනවා. උන්වහන්සේ ජාතක කථා වලින් විස්තර කරලා පෙන්නුවේ මේ කර්මානුරූප බලපෑම පෙන්වන්නයි. ඒ වගේම සසර පුරුදු, කර්මානුරූප බලපෑම් පෙන්වලා මේවා කෙරෙහි කලකිරිලා අප්‍රමාදී වීම පිණිසයි ජාතක කතා විස්තර කරන්නේ.
කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ අපේ භාග්‍යවතුන් වහන්සේ ‘ජෝතිපාල’ කියලා තරුණයෙක් වෙලා උපන්නනේ. එතකොට ‘ඝටීකාර’ කියලා කුඹල්කරුවෙක් තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ඇප උපස්ථාන කළේ. එතකොට මේ ජෝතිපාල බ්‍රාහ්මණ වංශික. ඝටීකාර කුඹල්කරුවෙක්. එතකොට ඝටීකාරගේ යාළුවා තමයි මේ ජෝතිපාල. දවසක් ඝටීකාර ජෝතිපාල මානවකට කියනවා, “අනේ යහළුව, අපි අපගේ ශාස්තෘන් වහන්සේ වන කාශ්‍යප බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න යමු.” “අනේ, මට මේ මුඩුමහණෝ දැකලා වැඩක් නෑ” කියනවා. බලන්න, මේ පාරමීධර්ම පුරලා පුරලා පුරලා කිට්ටුවටම ඇවිල්ලානේ. ‘අනේ, මට මේ මුඩුමහණෝ දැකලා වැඩක් නෑ’ කියනවා.

දවසක් ඝටීකාර ‘දැන් එහෙම නම් මං කොහොමද මෙයාව මේකට පොළඹවන්නේ?’ කියලා කල්පනා කරලා නාන්න ගියා. ඒ කාලයේ කොණ්ඩෙ වවනවානේ. ගඟේ බැහැලා නාද්දී කොණ්ඩෙන් ඇල්ලුවා. අල්ලලා ඇහුවා ‘එනවාද? නැද්ද? භාග්‍යවතුන් වහන්සේව බලන්න යන්න.’ එතකොට මෙයා කල්පනා කළා ‘ඒකාන්තයෙන්ම මේක ආශ්චර්ය දෙයක්. විස්මයජනක දෙයක්. මේ හීනකුලීන කෙනෙක් කුලවන්ත මගේ කොණ්ඩෙන් ඇල්ලුවා. එහෙම නම් මේකේ මොකක් හරි විශේෂ දෙයක් තියෙනවා’ කියලා. “එහෙම නම් මිත්‍රයා යමු” කියලා ගියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දුටු පමණින් පැහැදුණා. ඒ කියන්නේ විවරණ ලැබූ බෝසතාණන් වහන්සේගේ චරිතයේ අභ්‍යන්තරය හැදි හැදී යනවානේ.

ඉතින් ඝටීකාර එක්ක ගියානේ. ගියාම ජෝතිපාල මානවක බොහොම පැහැදුණා. පැහැදිලා ඝටීකාර ගෙන් අහනවා “මෙච්චර නිර්මල ධර්මයක් දන්න ඔබ ඇයි පැවිදි වුණේ නැත්තේ?” කියලා. “අනේ මිත්‍රය, මම කොහොමද පැවිදි වෙන්නේ, මගේ දෙමව්පියෝ දෙන්නාගේම දෑස් අන්ධයි. මම තමයි ඒ අයට උපස්ථාන කරගෙන ඉන්නේ. ඒ නිසා මට ඒක කරගන්න බෑ.” නමුත් ඝටීකාර ඒ වෙනකොට අනාගාමී ශ්‍රාවකයෙක්. එතකොට ජෝතිපාල ඒ බුද්ධ ශාසනයේ මහණ වෙනවා. මහණ වෙන්නේ පාරමී පුරන්න බලාගෙන නෙවෙයි, මාර්ගය වඩන්න බලාගෙනයි. ඉතින් මාර්ගය වඩන්න බලාගෙන මහණ වෙනකොට කවුරුවත් පරීක්ෂා කරන්න නෑ ‘දැන් ඔයාගේ මෙච්චර වැඩෙනවා…’ කියලා.

මහායානික මිථ්‍යා දෘෂ්ටි…

මේවා මහායානිකයෝ මිථ්‍යා දෘෂ්ටිවලට පාවිච්චි කළා. කොහොමද පාවිච්චි කළේ? ‘මේ භවයේ යන අයට ‘බෝධිචිත්ත’ කියලා එකක් තියෙනවා කිව්වා ඒකට කියනවා කිව්වා, ‘බෝධිසත්ව බීජය’ කියලා. මේ අමු බොරු. ඒ කියන්නේ නිකන් බොරු නෙවෙයි මේවා. මහප්‍රාණ බොරු. ඒක දලයිලාමා ආදී ඔක්කොම කියාගෙන යන එකක්. නමුත් ඒක කිසිම බුද්ධ දේශනාවක නැති එකක්. අනික කම්ම විපාක අචින්ත්‍යයි. අපට ඒක විග්‍රහ කරන්න බෑ. ඒ වගේම ‘චිත්ත විෂය අචින්ත්‍යයි… බුද්ධ විෂය අචින්ත්‍යයි…’ කියලයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ. ඒවා විග්‍රහ කර කර ඒවා පස්සේ යන්න එපා කියලා උන්වහන්සේ අනුකම්පාවෙන් අපට පෙන්වලා තියෙනවා.

බුරුම භාවනාවල සංකල්පයක් ඇවිල්ලා තියෙනවා, භාවනා කරගෙන කරගෙන යන කොට ‘දනිමි… දනිමි… කියලා අවස්ථාවක් එනවා. එතැන තමයි සංඛාර උපේක්ඛාව’ කියලා. පුදුම දෘෂ්ටි තියෙන්නේ. ඔතැන තමයි කියනවා සංඛාර උපේක්ෂාව. පාරමීධර්ම පුරන බෝධිසත්වයා සංඛාර උපේක්ඛාවෙන් එහාට යන්නේ නෑ කියනවා. විපස්සනාවේ සංඛාර උපේක්ඛාවට ඇවිල්ලා ‘දනිමි… දනිමි…’ කියලා මෙනෙහි කරන කොට එතැනින් එහාට යන්නේ නෑ කියනවා. මම බුද්ධ දේශනා ඔක්කොම කියවලා බැලුවා බුද්ධ දේශනාවක එහෙම එක්ක තියෙනවාද කියලා. කිසිම බුද්ධ දේශනාවක එහෙම එකක් නෑ. අටුවාවකවත් නෑ. කොච්චර විදර්ශනා වැඩුවත් එයා මාර්ගඵල ලබන්නේ නැහැලු. මෙහෙම එකක් බුද්ධ දේශනාවක නෑ.

පිළිසරණ තියෙන්නේ බුද්ධ දේශනාවේමයි…

ඉතින් අපි සරණ ගියේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙම එකක් නෑ. අනික බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාන මොහොතේ ආනන්ද චෛත්‍ය ස්ථානය ගාවදී සතරමහාපදේශ වදාළා. සතර මහාපදේශවල පෙන්වා දෙනවා “මහණෙනි, යම් භික්ෂුවක් වේවා, සඟ පිරිසක් වේවා, ව්‍යක්ත විනීත විශාරද බහුශ්‍රැත ධර්මධර ධර්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්ත කෙනෙක් වේවා, ‘මෙයයි ධර්මය… මෙයයි විනය… මෙයයි ශාස්තෘ ශාසනය…’ කියලා කිව්වොත් ඒක අහන්න. ප්‍රතික්ෂේප කරන්නත් එපා! පිළිගන්නත් එපා! සූත්‍රයේ බහා බලන්න. විනයෙහි ලා සසඳන්න. සැසඳෙන්නේ නැත්නම් ‘ඒකාන්තයෙන්ම ඒක තථාගත වචනයක් නෙවෙයි…’ කියලා ඒක අයින් කරන්න” කියලා. මම ඒක පිළිගත්තා. පිළිඅරගෙන ඒ දරණ මත බුද්ධ දේශනාත් එක්ක ගලපා බලනවා. බලනකොට ගැලපෙන්නේ නෑ. ඒක අයින් කරනවා.

එතකොට අපට පිළිසරණ තියෙන්නේ බුද්ධ දේශනාවේමයි. බුද්ධ දේශනාවේමයි ආරක්ෂාව තියෙන්නේ. දැන් ඒ වගේ සංඛාර උපේක්ෂාව තුළ ‘දනිමි… දනිමි…’ කියලා මෙනෙහි කර කර ඉඳලා මේක අත්හැරපු අය කොච්චර ඉන්නවාද? ‘හා… මට මාර්ගය වැඩෙන්නේ නෑ… මට පාරමී පිරිලා නෑ… මම මේ පාරමී පුරාගෙන වෙන ගමනක් යන කෙනෙක්… ඒ නිසා මට මේ ශ්‍රාවක යානය වැඩක් නෑ… මම ශ්‍රාවක යානය අත්හරිනවා’ කියන අය ඕනතරම් ඉන්නවා. යාන කියන කතා අරගෙන මෙහෙම කරලා මේ අවුලෙන් අවුලට පත්වෙලා තියෙන්නේ. අද මාර්ගය හා ප්‍රතිපදාව අවුලෙන් අවුලට පත්වෙලා තියෙන්නේ. අද බුරුමයෙන් ආපු මත ගොඩාක් ඒ තියෙන්නේ. ඒ දේවල් බුද්ධ දේශනාවක් නෙවෙයි.

මට මතකයි, බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක නම් සාරිපුත්තයන් වහන්සේ සම්බන්ධයෙන් ‘පාරමීප්පත්තෝ’ කියන වචනය පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ ගුණධර්මයන්ගෙන් පිරුණු කියන එකනේ. අපට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යෑම, ධර්මය සරණ යෑම, ශ්‍රාවක සංඝයා සරණ යෑමනේ. බුදු බව පතන කෙනා වර්තමානයේ තියෙන සරණ අත්හරිනවා.

එයා කල්පනා කරන්නේ ‘මම බුදු වෙනවා’ කියලයි. නමුත් මේ විදිහට ‘මම බුදු වෙනවා’ කියලා කිව්වට අපට පේනවා, සමහර අයගේ ජීවිතේ තුළ යන්න තියෙන්නේ නිරයේ. කතා කරන කොට බුදුවෙනවයි කියනවා. නමුත් සමහර අයගේ ජීවිතේ ගත්තොත් යන්න තියෙන්නේ පෙරේත ලෝකයේ. සමහර අයගේ ජීවිතේ ගත්තොත් යන්න තියෙන්නේ අසුර ලෝකයේ.

විවරණ ලැබූ කෙනාගේ ලක්ෂණය…

‘විවරණ’ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් අනාගතය සම්බන්ධයෙන් දේශනා කරන අනාවැකියක්. එතකොට ඒ වගේ අනාවැකියක් යම්කිසි කෙනෙකුට ලැබිලා තියෙනවා නම් ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් මිසක් අපැහැදීමක් ඇතිවෙන්න විදිහක් නෑ. අනිත් එක තමයි, අපි ගත්තොත් විවරණ ලැබුණු කෙනෙක් මේ කාලයේ කොහේ හරි ඉන්නවා කියමු. ඒ කෙනා ගිහි කෙනෙක් හරි පැවිදි කෙනෙක් හරි වශයෙන් ඉන්නවා කියමු. එතකොට එයා මේ ධර්මය ඇහුවා නම් එයාට තියෙන්න ඕන මනුෂ්‍යයා කෙරෙහි අනුකම්පාවක්. ‘මම බුදු බව පතන්න හදන්නේ මේ සත්වයන් සසරෙන් එතෙර කරවන්නයි…. එහෙම නම් සසරෙන් එතෙර කරවන්නා වූ ධර්මයක් දැන් තියෙනවා’ කියලා එහෙම නම් එයා කළ යුත්තේ සසරෙන් එතෙර කරන්නා වූ ධර්මයම කියලා සත්වයාව සසරෙන් එතෙර කරවන්න උනන්දු කිරීමයි. එතැනින් එහාට එයා කිව්වොත් එහෙම ‘නෑ… බුදු බව පතන්න. මමත් බුදු බව පතනවා’ කියලා ඒක ඉතින් තමා විසින් තමා පිළිබඳ පණවා ගන්න එකක්.

සාමාන්‍යයෙන් දැන් නම් ඔය මිථ්‍යා දෘෂ්ටික දෙවිවරු එක එක විදිහට පැහැදිලා බොරු කියනවා. ඒ වගේම භූතයෝ මිනිස්සුන්ට වැහිලා අමු බොරු කියනවා. ඒ අය මනුෂ්‍ය ලෝකයෙත් බොරු කිය කිය ඉඳලා තමයි භූතයො වෙලා එහෙම කරන්නේ. දැන් බුදු බව පතන්නේ සත්වයා සසරෙන් එතෙර කරවන්න නම් සත්වයා කෙරෙහි පතල මහා කරුණාවකින් නම් එයා කරන්න ඕන, මනුෂ්‍යයාව සසරින් එතෙර කරන්නා වූ ධර්මය කීමයි. නමුත් අපේ රටේ අතීතයේ වැඩහිටිය බොහෝ හාමුදුරුවරුන්ගෙන් (තායිලන්තෙත් එහෙමයි) ඇහුවොත් කියන්නේ බුදුබව පතනවා කියලයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකයෙක් වෙන කෙනෙක් බෙහෙතකට හොයාගන්න නෑ. අද තියෙන්නේ එහෙම තත්වයක්.

සංඛාර උපෙක්ඛා කියන්නේ බුරුම මතයක්…

ඒක ආවේ බුරුමයෙන්. බුරුම භාවනා ක්‍රමයට කියන්නෙත් විපස්සනා කියලනේ. ශුෂ්ක නම් ‘ශුෂ්ක විපස්සනා’ කියල ඒගොල්ලොම ඒකම විග්‍රහ කරගෙන, ඒගොල්ලොම ක්‍රමයත් හොයාගෙන ඒගොල්ලොම කියාගෙන යන එකක්නේ. එතකොට ඒගොල්ලන්ගේ ඒ කීම සනාථ කරගන්න ඒගොල්ලෝ එක එක අවස්ථාවල, සමහර සූත්‍ර කොටසුත් දානවා. සමහර විට අපි ගත්තොත්, කෙනෙක් ඔන්න ධර්මය මෙනෙහි කර කර ඉන්නවා. ධර්මය ධර්මය කියලා මෙනෙහි කර කර ඉන්නවා. එයාට මොකුත් නොදැනී යන්නේ නෑ. ඒ නොදැනී යාමනේ ඵලය කියලා ඒගොල්ලෝ විස්තර කරන්නේ ඒ බුරුම කට්ටිය. ඊට පස්සේ එයාගෙන් අහනවා, එයාගේ මොකුත් ප්‍රාර්ථනාවක් තියෙනවද?’ කියලා. ඉතින් එයා කියනවා ‘මම මෙහෙම බුදුබව පැතුවා’ කියලා. එතකොට කියනවා ‘ඒක තමයි වෙලා තියෙන්නේ. ඔයා දැන් ඔතනින් නවතිනවා’ කියලා.

මේ තියෙන්නේ ධර්ම කතාව නෙවෙයිනේ. ධර්ම කතාව කියලා තියෙන්නේ දස කතාව. දස කතා කියන්නේ ‘අප්පිච්ච කතා, සන්තුට්ඨි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාණදස්සන කතා. මේකට තමයි දස කතාව කියන්නේ. මේ දස කතා තියෙන්නේ බුද්ධ දේශනාවේ. එතකොට බුද්ධ දේශනාවේ තියෙන කතා ටික නැතුව තමන්ගේ කතා දාන්න ගියොත් ඔය ප්‍රශ්න ඇතිවීම වළක්වන්න බෑ. ඊට පස්සේ එයාම තීරණය කරනවා ‘එහෙම නම් මම බුදු බව ලබලා තියෙන්නේ’ කියලා.

අර්බුදය ශ්‍රාවකයා බුදුවෙන්න හදන එකයි…

උන්වහන්සේගේ අත්දැකීම උන්වහන්සේ කිසිම දේශනාවක ප්‍රකාශ කරලා නැහැ. “මහණෙනි, මට පාරමීධර්ම සම්පූර්ණ වන තුරු මම දුක් වින්දා. ඊට පස්සේ මම ආර්ය අෂ්ටාංගික මාර්ගය හොයා ගත්තා” කියලා කිසිම බුද්ධ දේශනාවක් නෑ. ඒක අපේ විග්‍රහයක්. අපි මේක තවදුරටත් විස්තර කර ගනිමු. බුදුරජාණන් වහන්සේ අත්දැකීම් ලබපු ආකාරය ගැන අපට වාදයක් නෑනේ. ‘බුදුකෙනෙක් පාරමී පුරන්න ඕන…’ කියන කාරණයට වාදයක් නැහැ. ඒ කියන්නේ බුදුකෙනෙක් පාරමී පිරිය යුතුයි. අර්බුදය තියෙන්නේ ශ්‍රාවකයන්ටනේ. ශ්‍රාවකයා බුදුවෙන්න කල්පනා කරන එකනේ අර්බුදය. බුදුකෙනෙකුට පාරමී පිරීම පිළිබඳව කිසි වාදයක් නෑ. බුද්ධත්වය පිණිස පාරමී පුරාගෙන ආපු ගමනක් පැහැදිලිවම ජාතක කතාවල තියෙනවා. හැබැයි ඒ ජාතක කතාවල තියෙන කරුණුයි, සූත්‍ර දේශනාවල කරුණුයි ගත්තාම ඒවා එකකට එකක් ගැළපෙනවා. යම් යම් සංසිද්ධි මුල්කරගෙන තමයි උන්වහන්සේ පෙර ජීවිතයක කතාවක් දේශනා කරන්නේ.

බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පිළිබඳ හොඳම විග්‍රහය බලාගන්න. උන්වහන්සේට මහාපුරුෂ ලක්ෂණ තිස්දෙක ඇතිවෙලා තියෙන්නේ උන්වහන්සේ සසරේ පුරන ලද පුණ්‍ය ධර්මයන්ගේ විපාක හැටියට. ඒක දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ තියෙනවා. එතකොට අපට පැහැදිලිව පේනවා, බුදුකෙනෙකුට පාරමී පුරන්න ඕන. නමුත් අපට ඒ ගැන බුද්ධ වචනයක් හම්බවෙලා නෑ. ඕන කෙනෙක් කියවලා බලන්න මජ්ඣිම නිකායේ තියෙන අරියපරියේසන සූත්‍රය. එහි උන්වහන්සේ ‘කිං කුසල ගවේසී කිං සච්ච ගවේසී’ කියලා හොයාගෙන ගිය ආකාරය තියෙනවා. ඉන් පස්සේ උන්වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හොයාගත්ත ආකාරය පෙන්වා තියෙනවා. ඒ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කළා කියල තියෙනවා මිසක් මම පාරමී සම්පූර්ණ වෙනකම් දුක් වින්දා කියන කතාව නැහැ.

‘නමෝ බුද්ධාය’ සජීව සදහම් කතිකාවත ඇසුරින්,
– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post මෑත භාගයේ සිදු වූ බෝසත් උපත… appeared first on MAHAMEGHA.

ධර්මයේ ස්වාමියා බුදුරජාණන් වහන්සේයි

$
0
0

බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා සත් සති ගතකරලා අවසන් වුනාට පස්සේ උන්වහන්සේට මේ විදිහේ සිතුවිල්ලක් ඇතිවුනා. (කිච්ඡේන මේ අධිගතං – හලං’දානි පකාසිතුං – රාගදෝසපරේතේහි – නායං ධම්මෝ සුසම්බුධෝ.) මම ඉතා දුකසේ යි මේ ධර්මය අවබෝධ කළේ. මම මේක කියලා වැඩක් නෑ. රාගයෙන් ද්වේෂයෙන් පෙළෙන සත්වයන්ට මේක අවබෝධ කිරීම ලෙහෙසි දෙයක් නෙවෙයි” කියලා. මේ අදහස දැකලා තමයි සහම්පතී බ්‍රහ්මයා ඇවිල්ලා ආරාධනා කළේ “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ධර්මය දේශනා කරන සේක්වා! මේ ලෝකයේ කෙලෙස් අඩු අය ඉන්නවා. ඒගොල්ලෝ මේ ධර්මය අවබෝධ කරනවා” කියලා.

ඊට පස්සේ ආයෙමත් සහම්පතී බ්‍රහ්මරාජයා කියනවා “භාග්‍යවතුන් වහන්ස, ප්‍රඥාවෙන් කළ ප්‍රාසාදයට නැගී මේ දුක් විඳින ජනයා දෙස බලන සේක්වා!” කියලා. ඉතින් උන්වහන්සේ බුදු ඇසින් ලෝකය දෙස බැලුවා. බුදුඇස කියන්නේ උන්වහන්සේට පහළවෙන සුවිශේෂී ඤාණ දෙකකට. ඒ කියන්නේ ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණයත්, ආසයානුසය ඤාණයත්. මේ ඤාණ දෙකෙන් උන්වහන්සේ ලෝකය දෙස බලද්දී උන්වහන්සේට පෙනුණා මේ ලෝකය හරියට නෙලුම් විලක් වගේ. මේ නෙලුම් විලේ මෝරපු නැති නෙලුම් මල් තියෙනවා. මෝරපු නෙලුම් පොහොට්ටු තියෙනවා. පිපුණු ඒවා තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේ මේ ස්වභාවය තේරුම් ගත්තා. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා ‘කාටද මම මේ ධර්මය දේශනා කරන්නේ?’ කියලා. උන්වහන්සේ එකපාරට කල්පනා කළා, ‘හරිම ප්‍රඥාවන්ත කෙනෙක් හිටියා, ආලාර කාලාම.’ බැලින්නම් එයා සතියකට කලින් මැරිලා. ඊළඟට හමුවන ප්‍රඥාවන්ත කෙනා උද්දක රාමපුත්ත. එයත් ඊයේ රෑ මැරිලා. ඊට පස්සේ කල්පනා කළා, ‘දැන් එහෙම නම් පස්වග භික්ෂූන් වහන්සේලාට ධර්මය දේශනා කරන්න ඕන’ කියලා.

මේ සිද්ධි හරි ලස්සනයි. අපි මේවා දැනගන්න ඕන. ඊට පස්සේ උන්වහන්සේ පස්වග භික්ෂූන් වහන්සේලා හොයාගෙන බරණැසට වඩින කොට ඒ පස්වග භික්ෂූන් වහන්සේලා උන්වහන්සේව පිළිගන්න ලෑස්ති වුණේ නෑ. ඉතින් උන්වහන්සේට තිබ්බනේ කෙලින්ම රැස්කරලා කියන්න, ‘ඔබවහන්සේලාගේ පාරමී සම්පූර්ණයි. දැන් සූදානම් වෙන්න’ කියලා. එහෙම එකක් නෑ. එතැනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරි ලස්සන වචන. “(අමතමධිගතං භික්ඛවේ) මහණෙනි, මම අමෘතය සාක්ෂාත් කළා. (ඕදහථ භික්ඛවේ සෝතං. අහං ධම්මං දේසිස්සාමි) මහණෙනි, සවන් යොමන්න. මම ධර්මය කියන්නම්.” කියලා.

අමෘතයට සවන් දෙන්න…

ඒත් එක එල්ලේම ඒ පස්වග භික්ෂූන් වහන්සේලා ධර්මය අහන්ට සූදානම් වුණේ නෑ. එහෙම නම් බුදුරජාණන් වහන්සේ කියන්න එපායැ “මහණෙනි, මම බුදු ඇසින් බලද්දී පේනවා, ඔය පස්නම බුදු කෙනෙකුගෙන් මගඵල ලබන්න පෙරුම් පුරාගෙන ඇවිත් ඉන්නේ. දැන් හරි සූදානම් වෙන්න” කියලා. එහෙම එකක් නෑ.

ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “මහණෙනි, මම මෙහෙම ධර්මය අවබෝධ කළා කියලා මෙතෙක් කල් මම ඔබට මෙවැනි ප්‍රකාශයක් කරලා තියෙනවද?” “එහෙම ප්‍රකාශයක් නම් කරලා නෑ” කියනවා. “මහණෙනි, මං දැන් මේ කියන්නේ ඒකයි. මම අමෘතය සාක්ෂාත් කළා. සවන් දෙන්න.” ඊට පස්සේ තමයි පස්වග භික්ෂූන් වහන්සේලාට අදහසක් ආවේ, ‘එහෙම නම් උන්වහන්සේට මේ කියන කාරණය සාක්ෂාත් කිරීමක් වෙලා’ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ බාහිර පෙනුමෙන්වත් මොකුත් තිබුණේ නෑ. එතකොට ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ “(ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන න සේවිතබ්බා) මහණෙනි, අන්ත දෙකක් තියෙනවා. කාමසුඛල්ලිකානුයෝගයයි, අත්තකිලමථානුයෝගයයි. ඒ අන්ත දෙක පැවිද්දෙක් විසින් සේවනය නොකළ යුතුයි.” ඊට පස්සේ උන්වහන්සේ ඒ අන්ත දෙක විස්තර කළා. විස්තර කරලා උන්වහන්සේ දේශනා කරනවා,
(ඒතේ තේ භික්ඛවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා) මහණෙනි, ඒ අන්ත දෙකට නොපැමිණ මේ මධ්‍යම ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ අවබෝධ කළා. මේ මධ්‍යම ප්‍රතිපදාව (චක්ඛුකරණී) දහම් ඇස ඇතිකරලා දෙනවා. (ඤාණකරණී) නුවණ ඇතිකරලා දෙනවා. (උපසමාය) පංච නීවරණ සංසිඳවලා, කෙලෙස් සංසිඳවලා දෙනවා. (අභිඤ්ඤාය) විශිෂ්ඨ ඤාණය උපද්දලා දෙනවා. (සම්බෝධාය) චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙනවා. (නිබ්බාණාය සංවත්තති) නිවන් අවබෝධ කිරීම පිණිස පවතිනවා.” මේ විදිහට උන්වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අසිරිමත් වර්ණනාවක් කරනවා.

ඉතින් මේ කියන්නේ කොච්චර සත්‍යයක් ද? මේ විදිහට විග්‍රහ කරලා ඊට පස්සේ චතුරාර්ය සත්‍යය විග්‍රහ කරනවා. ඒ චතුරාර්ය සත්‍යය කොණ්ඩඤ්ඤයන් වහන්සේට අවබෝධ වෙනවා. වැටහෙන්නේ “(යං කිඤ්චි සමුදය ධම්මං – සබ්බං තං නිරෝධ ධම්මං) හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ යමක් ඇද්ද, ඒ හේතු නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධ වේ” කියලයි.

ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේක දැකලා වදාරණවා, (අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ, අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ) “කොණ්ඩඤ්ඤ, ඔබ අවබෝධ කළා… කොණ්ඩඤ්ඤ, ඔබ අවබෝධ කළා…” එතකොට අපට පැහැදිලිව පේනවා, බුදුරජාණන් වහන්සේගේ අදහස ඉෂ්ට වුණා. ඊට පස්සේ අනත්ත ලක්ඛණ සූත්‍රය දේශනා කරලා රහතන් වහන්සේලා බිහිවුනාට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා “මහණෙනි, මුල, මැද, අග පිරිසිදු, අර්ථ සහිත, ව්‍යඤ්ජන සහිත, පැහැදිලි, පිරිපුන් ධර්මය කියාගෙන යන්න” එතකොට බලන්න, පාරමී කතාවක් නෑ. ඒ වෙනකොට අහලා තිබුණේ චතුරාර්ය සත්‍යය යි, ආර්ය අෂ්ටාංගික මාර්ගය යි විතරයි. “මේක කියාගෙන යන්න. අවබෝධ කරන අය පහළ වෙයි.” එහෙමයි කියන්නේ.

සියලු සුභාෂිත බුදුරජාණන් වහන්සේගෙයි…

බලන්න, බුද්ධ දේශනාවේ හැම තැන ම දේශනා කරන්නේ “මහණෙනි, හොඳට අහන්න. කියා දෙන්නම්” කියලයි. උන්වහන්සේ හැම තැන ම දේශනා කරන්නේ එහෙමයි. හොඳ ලස්සන දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේ සඳහන් වෙනවා, එක්තරා අවස්ථාවක එක රහතන් වහන්සේ නමක් ධර්ම දේශනාවක් කරනවා. ඒ රහතන් වහන්සේගේ නම ‘උත්තර.’ ඒ ධර්ම දේශනාවේ විස්තර වෙන්නේ ‘අනිත්‍ය දේ අනිත්‍ය වෙන්න එපා කියලා ලෝකයේ කාටවත් ලබන්න බෑ. දුක් දේ දුක් වෙන්න එපා කියලා ලබන්න බෑ. ක්ෂය වෙන දේ ක්ෂය වෙන්න එපා කියලා ලබන්න බෑ. දිරන දේ දිරන්න එපා කියලා ලබන්න බෑ. මැරෙන දේ මැරෙන්න එපා කියලා ලබන්න බෑ. කර්මය විපාක දෙන්න එපා කියලා ලබන්න බෑ’ කියලයි. උන්වහන්සේ මේ විදිහට භික්ෂූන් වහන්සේලාට විස්තර කරගෙන ගියා.

ශක්‍ර දේවේන්ද්‍රයා මේ උත්තර රහතන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා අහනවා “ස්වාමීනී, උත්තරයන් වහන්ස. දැන් ඔබවහන්සේ ඔය දේශනා කළේ ඔබවහන්සේ අවබෝධ කළ එකක් ද? ඔබවහන්සේගේ අවබෝධයක් ද? නැති නම් වෙන එකක් ද?” කියලා. මේ කාලයේ වගේ නම් කෙලින් ම කියයිනේ, ‘මම අවබෝධ කරලයි මේ කියන්නේ’ කියලා. නමුත් ඒ රහතන් වහන්සේ දේශනා කරනවා, “සක්දෙවිඳුනි, ලෝකයේ යම්තාක් සුභාෂිත ඇද්ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේගේ ය.” දැක්කද අවබෝධ කළ කෙනාගේ ලක්ෂණය?

උන්වහන්සේ ඒ සඳහා උපමාවක් කියනවා “ශක්‍ර දේවේන්ද්‍රය, යම්කිසි තැනක තියෙනවා ධාන්‍ය කන්දක්. මිනිස්සු මේ ධාන්‍ය කන්දෙන් තම තමන්ගේ ශක්ති ප්‍රමාණයට මලු, පැසි, භාජන අරගෙන ගිහිල්ලා ධාන්‍ය අරගෙන එනවා. එතකොට අනිත් අය අහනවා, ‘කොහෙන්ද උඹ මේවා අරන් එන්නේ?’ කියලා. ‘අන්න අතන ධාන්‍යය කන්දක් තියෙනවා. අපි ඒකෙන් තමයි අරගෙන එන්නේ’ කියලා. සක් දෙවිඳුනි, ඒ වගේ මේ ධර්මයත් භාග්‍යවතුන් වහන්සේගේ. අපි ශ්‍රාවකයෝ. අපි කරන්නේ ඒ ධර්මයෙන් කොටස් උපුට උපුටා පැවසීම විතරයි.” නමුත් අද ශ්‍රාවකයෝ ධර්මයේ කොටස් උපුටා දක්වන්නේ නැත්තේ මොකද? තමන්ගේ දෘෂ්ටියට මේක විරුද්ධයි. මොකද, තමන් එක්කො බුදුබව පතනවා. මේක කියන්නේ නෑ. එක්කො තමන් වෙන එකක් පතනවා. එතකොටත් මේක කියන්නේ නෑ. තමන්ගේ මතයට ගැලපෙන එකක් එන විදිහට කියනවා.

මගඵලලාභීන් අතර වෙනස්කම්…

සෝතාපන්න ඵලය ගැන බුදුරජාණන් වහන්සේගේ විග්‍රහ කිහිපයක්ම අපට හම්බ වෙලා තියෙනවා. සමහර දේශනාවල “මහණෙනි, ධ්‍යාන වඩන්න. ධ්‍යාන වැඩීම තුළ ඔබට මේ මේ ඵල අත්පත් කරගන්න පුළුවන්” කියලා සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් කියන ඵල හතර විස්තර කරනවා. ඒ ඵල හතර විස්තර කරන්නේ, සමාධියක් තුළින් කරගන්න ඕන කියලයි. සමහර දේශනාවල මෙහෙම තියෙනවා. එයාට ඉන්ද්‍රිය ධර්ම පිහිටනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම පිහිටනවා. ඒකේ තියෙන්නේ සෝතාපන්න වුණු එක්කෙනා ගැන තියෙන්නේ.

සෝතාපන්න කෙනා (සීලේසු පරිපූරකාරී හෝති) සෝතාපන්න වූ එක්කෙනා සීලය පිළිබඳ හොඳ පරිපූර්ණත්වයට පත්වෙලා තියෙනවා. (සමාධිස්මිං මත්තසෝකාරී හෝති) සමාධිය පමණට කරයි. (පඤ්ඤාය මත්තසෝකාරී හෝති) ප්‍රඥාව පමණට කරයි.

සමහර කෙනෙකුට අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. නමුත් එයා ඒක සමබර කර ගන්නවා. ඔය වගේ එක සිද්ධියක් තියෙනවා. ඒ තමයි පුරාණ, ඉසිදත්ත සිද්ධිය. ඒ දෙන්නා ම සකදාගාමී කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. නමුත් එයින් එක්කෙනෙක් වාසය කළේ බ්‍රහ්මචාරීව. අනෙක් කෙනා එහෙම වාසය කළේ නෑ. ඉතින් දවසක් මිගසාලා කියලා කාන්තාවක් ආනන්ද ස්වාමීන් වහන්සේත් සමඟ කියනවා, “මගේ පියා බ්‍රහ්මචාරීවයි හිටියේ. එයත් සකදාගාමී කිව්වා. අනෙක් කෙනා බ්‍රහ්මචාරීව වාසය කළේ නෑ. එයත් සකදාගාමීලු. කොහොමද ඒක වෙන්නේ?”

මේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “ආනන්දය, ඔහුගේ සීලය පැත්ත සම්පූර්ණව තිබුණා නම්, ඔහු ගිය තැන කාටවත් හොයන්න බෑ. අනිත් කෙනාගේ ප්‍රඥාව පැත්ත සම්පූර්ණව තිබුණා නම් ඔහු ගිය තැන කාටවත් හොයන්න බෑ” කියලා. එතකොට එක්කෙනෙක් සීලයෙන් පොඞ්ඩක් දුර්වල වෙලා, ප්‍රඥාවෙන් වැඩිවෙලා හිටියා. අනික් එක්කෙනාගේ සීලය සම්පූර්ණ වෙලා තිබුණා. ප්‍රඥාව අඩුවෙලා හිටියා. ඉතින් මේ වගේ ඒක පුද්ගල විෂමතාව මත පවතින්නේ. අනික ඒක විග්‍රහ කරගන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි. ‘තථාගතෝ වා තථාගතසදිසෝ වා’ කියලනේ තියෙන්නේ. ඒ කියන්නේ මාර්ගඵල ලැබූ අය ගැන විස්තර කරන්න පුළුවන්, තථාගතයන් වහන්සේට හෝ තථාගතයන් වහන්සේ වැනි කෙනෙකුට. තථාගතයන් වහන්සේ වැනි කෙනෙක් කියන්නේ තවත් තථාගතයන් වහන්සේ නමක් ම යි. ශ්‍රාවක කාටවත් මේක කරන්න බෑ. ඒ නිසා අපි නිහතමානී වෙන්න ඕන.

අපි ගත්තොත්, ඉන්දියාවේදී මට හරියට සමාධි වඩන සාධුවරු මුණගැහිලා තියෙනවා. නමුත් මිථ්‍යා දෘෂ්ටිකයි. එතකොට සමාධිය තුළින් එයාගේ දෘෂ්ටිය පරිපූර්ණත්වයට පත්වෙලා නෑ. නමුත් අවබෝධ වුණා කියන මතයේ ඉන්න අය හමුවෙලා තියෙනවා. ඒගොල්ලෝ තුළ තියෙන්න පුළුවන් මිථ්‍යා සමාධියක්. නමුත් මේ හැම එකක් ම අවිද්‍යාවක්. අවිද්‍යාව ප්‍රත්‍යයෙනුයි ඔක්කොම තියෙන්නේ. එහෙම නැතුව විද්‍යාව මුල්කර ගත් එකක් නොවෙයි.

‘නමෝ බුද්ධාය’ සජීව සදහම් කතිකාවත ඇසුරින්,
– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post ධර්මයේ ස්වාමියා බුදුරජාණන් වහන්සේයි appeared first on MAHAMEGHA.

Viewing all 101 articles
Browse latest View live